brand logo

නැති බැරිකමින් මට්ටු වී ටයර් සමග ඔට්ටුවී ඉරණමට වෙට්ටු දැමූ ශූරයා

28 January 2019

ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළිං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි. මේ චිංගිස් අයිත්මාතව්ගේ ‘ගුරුගීතය’ නම් කෘතියේ එන ප්‍රකට වැකි පෙළකි. ජීවිතයේ කෙතරම් කටුක කාලයන් ගෙවා දැමීමට සිදුවුවත් කෙදිනක හෝ යහපත් කාලයක් උදාවනු ඇතැයි බලාපොරොත්තුවක් තබාගත හැකිය. එකී වසන්තය යමෙකුගේ දිවියට උදාවූ කල්හි පෙර විඳි අමිහිරි දුක් කම්කටොලු මිහිරි මතකයන් බවට පත්වේ. ගිහාන් පුෂ්පකුමාර යනු එලෙස අතොරක් නැතිව විඳි දුෂ්කරතා හමුවේ නොසැලෙමින් ඒවා ජීවන ශක්තියක් කර ගනිමින් ජීවිතයට වසන්තය කැන්දාගත් ක්‍රීඩකයෙකි. මේ ඔහුගේ කතාවයි. හෙට්ට්ආරච්චිගේ දොන් ගිහාන් පුෂ්පකුමාර මුල්ලේරියාවේ මාලිගාගොඩැල්ලේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. හෙතෙම අධ්‍යාපනයේ මූලික අඩිතාලම දමා ගනුයේ අඹතලේ ටිකිරි කුමාර විද්‍යාලයෙනි. පියාගේ වීර්යයෙන් සිය වැඩිමල් සහෝදරයා සහ බාල නැගෙනිය සමගින් හරි හරියට අකුරු උගනිමින් සිටි ගිහාන්ගේ පවුලට හෙනහුරා පාත් වූයේ සිය පියා හදිසි අනතුරකට ලක්වීමත් සමගය. අනතුරෙන් ගිහාන්ගේ පියාට වූ හානිය සුළුපටු නැතිය. ඇස් දෙකකින් ලෝකය දෙස බැලීමට උපතින්ම වරම් ගෙනා ඔහුට එතැන් පටන් සිදු වූයේ එක් ඇසක අාධාරයෙන් සිය වැඩපළ කර ගැනීමටය. දෙයියනේ කියා තුන් වේල අඩු නැතිව, පාඩුවේ වැඩුනු ගිහාන්ගේ පවුලට පාත් වූ හෙනගෙඩියක්වන් මෙම අනතුරින් සිදු වූ හානිය වචන වලට පෙරළිය නොහැකි තරමින් ශෝචනීය විය. එතැන් පටන් ගිහාන්ගේ නිවෙස දරිද්‍රතාවයෙන් වෙලාගන්නට විය. පියාගේ සවිය හරිහැටි අහිමි මේ පවුලේ බර මවගේ සහ වැඩිමල් සහෝදරයාගේ උර මත පැටවිණි. යම්තම් ගිහාන් දහය වසර දක්වා උස්මහත් වෙද්දී නිසි වයසට පැමිණ සිටි වැඩිමහල් සහෝදරයාද විවාහ දිවියට පත් වන්නේය. ඒත් සමග ගිහාන්ට සිය ජීවිතයේ යම් තීරණයකට පැමිණියේය. ඒ පෙර සේ වැඩපළ කරගත නොහැකි තාත්තාට වාරුවක් වෙමින්, අධ්‍යාපනයේ නියැළී සිටි සිය නැගෙනියට ඉදිරියට යාමට තල්ලුවක් දෙමින්, අනේක දුක් විඳිමින් තම පවුල නඩත්තු කරමින් සිටි මවට ආර්ථිකමය වශයෙන් හයියක් වීම උදෙසා රැකියාවක් කිරීමටය. ඔහු එම තීරණය ගනු ලැබූයේ ඕනෑම පුද්ගලයකුට අනාගතයේදී නිසැකයෙන්ම ආභරණයක්වන අධ්‍යාපනය උකසට තබාය. එබැවින් මවගේ දැඩි විරෝධය මධ්‍යයේ පාසල නිමවී සහ සති අන්ත දිනයන්හිදී ගිහාන් නිවස ආසන්නයේ පිහිටි චන්දන කඳනාරච්චිගේ ටයර් සාප්පුවෙහි අත් උදව්කරුවෙකු ලෙස සේවයෙහි නියුතු වන්නේ යම්තාක් දුරට ආර්ථිකමය ශක්තියක නිවසට ගෙන ඒමේ අරමුණ ඇතිවය. චන්දන කඳනාරච්චි යනු එවකට ගුවන් හමුදා පාපැදි සවාරියන්හි කප් ගැසූ පාපැදි ශූරයෙකි. ‘ඒ කාලේ මං වැඩ දන්නේ නැති නිසා මගේ අතේ වියදමට චන්දන අයියගෙන් යම් මුදලක් ලැබුණා. ඒ මුදලුත් අනවශ්‍ය දේවල්වලට වියදම් කරන්නේ නැතිව ගෙදරටම වියදම් කරා’ යැයි ගිහාන් පවසයි. කල්ගතවෙත්ම අපොස සා. පෙළ විභාගයට පෙනී සිටි ගිහාන්ට ඉන් සමත් වීමට අවස්ථාව වූයේ විෂයන් පහක් පමණි. එවකට උසස් පෙළ හැදැරීමට තරම් එම ප්‍රථිපලය ප්‍රමාණවත් නොවූ බැවින් ඔහුට ටයර් සාප්පුවේම රැකියාව උරුමවන ස්වභාවයක් දිස් විණි. ‘මට පාස් වෙන්න පුළුවන් වුණේ විෂයන් පහක් විතරයි. ඊට පස්සේ මම හැමදාම ටයර් සාප්පුවේ වැඩට ගියා. ඒ දවස්වල මට දවසේ පඩිය විදිහට රුපියල් 350 ක් ලැබුණා.’ කල්යත්ම ටයර් සාප්පුවේ සෑම වැඩක්ම පාහේ හොඳ හැටි දැන සිටි මේ කොලු ගැටයා ප්‍රධාන ගෝලයා මෙන්ම සාප්පුවේ ප්‍රධාන විශ්වාසවන්තයා බවටද පත්විය. ඒ අයුරින් ප්‍රධාන ගෝලයා දක්වා උසස් වන්නට ඔහු මොන තරම් කැප කිරීම් කර ඇතිද යත් ලොරි රථ වල ටයර් ගැලවීමට ගොස් ඒවායේ රිම් කකුල මතට වැටී නියපොතු ගැලවී ගිය වාර ගණන ඔහුට මතක නැත. ‘කොල්ලෝ උඹ මේකෙම ලැගගෙන ඉඳලා හරියන්නේ නැහැ.’ යනුවෙන් සාප්පුවේ හිමිකරු චන්දන අයියා නිතරම ගිහාන්ට කියන්නේය. ඔය අතරවාරයේදී චන්දන ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගත්තේය. එනිසා ඔහු සිය පාපැදි ධාවනයටද තිත තැබීමට තීරණය කර තිබිණි. දිනක් පාපැදියේ පුහුණුවීම් අවසන්ව පැමිණෙන චන්දන, ‘ගිහාන් බයිසිකල් පදින්න කැමතිද?’ යනුවෙන් විමසීය. ඒ ගැන දෙවරක් නොහිතූ ගිහාන් එක පයින්ම කැමැත්ත ප්‍රකාශකර තිබිණි. තමන්ගේ ස්ටෑන්ඩර්ඩ් පාපැදියේ පටන් පාපැදි ධාවනය සඳහා භාවිතා කළ සියලුම ආම්පන්න චන්දන විසින් ගිහාන් වෙත ලබා දෙන්නේ ඒ අනුවය. සිය හාම්පුතා වූ චන්දන එකල පාපැදි පුහුණුවීම් කරන ආකාරය දැකීමේදී බයිසිකල් පදින්න ආසාවක් හිතේ පැලපදියම් වී තිබුණත්, ඒවාට වියදම් කරන්න සල්ලි කොයින්දැයි සිතමින් පාපැදි සිහිනයෙන් විටින් විට ගිහාන් අවදි වූ බව ගිහාන් පවසයි. චන්දන කඳනාරච්චිගේ ගුරුහරුකම් මධ්‍යයේ පාපැදි තරග ක්‍ෂේත්‍රයේ මුල්පොත කියවූ ගිහාන් ඒ අයුරින් ටයර් සාප්පුවේ සේවය කරමින් වසර හයක් තිස්සේ සිය දක්ෂතා මුවහත් කරගනිමින් සිටියේය. ‘ටයර් සාප්පුවේම වැඩ කරලා මගේ පඩියත් රුපියල් 1000 ක් වෙනකම් වැඩි වෙලා තිබුණා. මගේ දක්ෂතා හොඳටම හොඳ වෙනකම් චන්දන අයියා කිව්වා ක්‍රීඩා සමාජයකට සම්බන්ධ නොවී දිගටම පුහුණුවීම් කරමු කියලා. ඒ අතරේ රේස් දෙක තුනක් පදින්නත් මට අවස්ථාව ලැබුණා. දවසක් චන්දන අයියා මගෙන් ඇහුවා යුද හමුදාවට රේස් පදින්න කැමතිද කියලා? මාත් කැමති වුණා. ඒ වෙනකොට මගේ දක්ෂතාවය හොඳ මට්ටමක තියෙනවා කියලා චන්දන අයියාට තේරිලා තිබුණේ. ඒ නිසා තමයි මට ඒ විදිහේ යෝජනාවක් ඔහු ගෙනාවේ’ ගිහාන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය එහෙමත් නැතිනම් මුලින් කී වසන්ත කාලය එළැඹීමට දොරටු විවර වූයේ ඒ පරිදිය. මේ අයුරින් වයස අවුරුදු 23 ක් වනවිට ගිහාන්ට ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා බලකාය යටතේ පාපැදි සංචිතයට ඇතුළත් වීමට පාර කැපිණි. ඒ අනුව ඔහුගේ නව ගමනේ ආරම්භයට දැවැන්ත සවියක් වෙමින් ගමේ උදවිය සහ චන්දන එක්ව දෙලක්ෂ හැටදාහක් වටිනා රේසිං වර්ගයේ පාපැදියක් ඔහුට හිමිකර දෙනුයේ ගිහාන්ගේ බලාපොරොත්තු තව තවත් ඉහළ නංවමිනි. එතැන් පටන් වසර පහක් යුද හමුදාව වෙනුවෙන් පාපැදිය හසුරුවමින් තරග රාශියකට සහභාගිවන ගිහාන් සිය ක්‍රීඩා දිවියේ මෙතෙක් සුවිශේෂීම මොහොත සටහන් කරමින් මෙරට අංක එකේ පාපැදි සවාරිය වන එස්.එල්.ටී. පාපැදි සවාරියේ ඉකුත් වසරේ සමස්ත ශූරයා බවට වූයේය. එම ජයග්‍රහණය ලබා ගැනීමේදී කණ්ඩායමේ නායක ගයාන් කුමාර, තුෂාන් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ලද සහය පිළිබඳව හෙතෙම සිහිපත් කරනුයේ ඔවුන්ට සිය තුති පුද කරමින්ය. ඊට අමතරව ඔහු සහභාගි වී තිබෙන ජාත්‍යන්තර තරගාවලි අතර ඉකුත් දකුණු ආසියානු පාපැදි තරගයේ අට වැනියා වීම. 2014 වසරේ සිංගප්පුරුවේ පැවැති පාපැදි රිලේ තරගයකට සහභාගි වී ලැබූ අත්දැකීම් සුවිශේෂී වෙයි. වර්තමානයේ ගිහාන්ට හිමි පාපැදිය රුපියල් ලක්ෂ හයහමාරක් පමණ වටිනාකමකින් යුත් එකකි. එය ඔහුගේ දක්ෂතා අගයමින් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ලද දායාදයකි. ගිහාන්ගේ අනාගත බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකාවට දකුණු ආසියාතික, ආසියාතික මට්ටමේ ජයග්‍රහණ ගෙනදීමටය. ඒ වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන ඔහු සතියකට දෙවතාවක් දරා ගැනීමේ ශක්තිය ප්‍රගුණ කිරීම උදෙසා කිලෝමීටර් 150 ට වැඩි දුරක් පාපැදිය ධාවනය කරනු ලබන අතර විවේක දිනයන් හැරුණු විට සෙසු දිනයන්හිදී කිලෝමීටර් සියයකට ආසන්න දුරක් පාපැදියෙන් පුහුණුවීම් කරනු ලබයි. ‘චන්දන කඳනාරච්චි අයියට සහ ශ්‍රී ලංකා යුද හමුදාවට පිංසිද්ධ වෙන්න මං අද හොඳ තත්ත්වයක ඉන්නවා. මට දැන් හොඳ පිළිගැනීමක් තියෙනවා. මගේ පවුලේ උදවිය මම ඉන්න තත්ත්වය ගැන සතුටු වෙනවා. මගේ නැගෙනියට හොඳින් උගන්වගන්න මට පුළුවන් වුණා. ජීවිතේම පාපැදිය වුණ නිසා මම වෙනත් අයහපත් දේට යොමු වුණේ නැහැ. මේ හැමදෙයක්ම මට ලැබුණේ පාපැදිය මගින් නිවැරදි මාර්ගය මට පෙන්වූ නිසයි.’ ගිහාන් විසින් ජීවිතයේ කටුක කාලය කෙමෙන් කෙමෙන් පසුකරමින් සිටියි. ජීවිතයේ කඩා වැටීම් ඉදිරියේ නොබියව මුහුණ දුන් ඔහු අද සිය ජීවිතය දෙස ආපසු හැරී බලද්දී සතුටින් ඉපිලී යන්නේය. එබැවින් මුලින් විඳි දුකේ ‘රස’ ගිහාන් විසින් මිහිරිව විඳිමින් සිටියි. ඒ අනුව සටහන පටන්ගත් මොහොතේ කියා පෑ ‘වසන්ත’ කාලය මේ වනවිට ගිහාන් ඉදිරියේ හිටගෙන සිටියි. ගයාශාන් විතානආරච්චි
 

More News..