brand logo

නැති බැරිකම් මතින් පනිමින් ඇමෙරිකානු ශූරතාවට ඉව අල්ලන උස පැනීමේ ශූරයා

06 March 2021

දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩා වාර්තා පොතට මෑතදී තවත් ශ්‍රී ලංකා වාර්තාවක් එක් කරන්නට විදෙස් ගතව පුහුණුවීම්හි නිරත ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්ට හැකිවිණි. අද වනවිට ඇමරිකාවේ ටෙක්සාස්හි සරසවි සිසුන් අතර ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙසද හැඳින්වෙන මොහු හෙට්ටි තන්ත්‍රිගේ උෂාන් තිවංක පෙරේරාය. 1998 වසරේ ජනවාරි මස 22 වැනිදා මෙලොව එළිය දකින උෂාන්, කුඩා කල සිටම ක්‍රීඩාව කෙරෙහි ඇල්මක් දැක්වූයේය. ඒ නිසාම ඔහුගේ පාසල් මට්ටමේ දක්ෂතා ගැන අමුතුවෙන් අටුවා ටීකා තබන්නට අවශ්‍ය නොවේ. මීගමුව මාරිස්ටෙලාවේ මලල ක්‍රීඩා ශූරයා ලෙසින් සිය පාසල් ගමනට ආයුබෝවන් කියන උෂාන් ජාතික මට්ටමේ ශූරතාවට ඉලක්ක ගන්නේ හිටපු උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාරගේ සමුගැනීමෙන් වූ පුරප්පාඩුවට කදිම සාධාරණයක් ඉටු කරමිනි. සාමාන්‍යයෙන් යුගයෙන් යුගයට බිහිවන කෙටිදුර ධාවකයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ලාංකේය මලල ක්‍රීඩාවේ උස පැනීමටද ජාත්‍යන්තර පදක්කම් අතළොස්සක් හිමිව තිබීම සතුටකි. ශ්‍රී ලංකාව දිනූ පළමු ආසියාතික රන් පදක්කම ලෙසින් නාගලිංගම් එදිරිවිරසිංගම් විසින් 1958 වසරේදී දිනූ රන් පදක්කමත්, මංජුල කුමාර දිනූ ආසියානු රන් පදක්කම් ද්විත්වයටත් පසුව ශ්‍රී ලාංකික උස පැනීමේ ක්‍රීඩකයකු වාර්තා කළ ඉහළම දස්කම දක්වන්නට උෂාන් මේ වනවිට සමත්ව සිටී. මීටර 2.24කට මංජුල කුමාර විසින් තබා තිබූ ගෘහස්ත උස පැනීමේ වාර්තාව බිඳ හෙළීමෙන් ලද ජවයත් සමගින් උෂාන් තවත් තානාන්තර රැසකගේම හිමිකම ලබන්නට සමත්විය. නමුත් දෙවසරක් පසුපසට හැරී බලන කළ උෂාන්ට එය එතරම් සුන්දර අතීතයක් නොවේ. 2019 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට හිමිවූ මෝටර් රථය විකිණීමෙන් සහ තවත් මුදලක් එයට එක් කර ගනිමින් සිය උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවේ සැන් ටැන් පාසල වෙත උෂාන් සංක්‍රමණය විය. මධ්‍යම පාන්තික පවුලක එකම දරුවා ලෙසින් උපත ලද උෂාන්ට එම සංක්‍රමණය දරුණු ලෙස සිය මුදල් පසුම්බියට දැනෙන්නට විය. නමුත් ශ්‍රී ලංකා යුද හමුදාවට පින් සිදුවෙන්නට ඔහුගේ වැටුප මසකට වරක් උෂාන් වෙත ලැබිණි. ඇරිසෝනා ප්‍රාන්තයෙහිදී පැවැති මලල ක්‍රීඩා ශූරතාවකදී උස පැනීමේ ඉසව්වෙන් උෂාන් පෙන්වූ දස්කම් දුටු ක්‍රීඩා නිලධාරියෙකු හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයෙහි ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයට උසස්වීමක් ලැබිණි. එය උෂාන්ගේ හැරවුම් ලක්ෂය විය. ඇමරිකානු උස පැනීමේ වාර්තාලාභී චාර්ල්ස් ඔස්ටින්ගේ පුහුණුකරු වූ රොක් ලයිට්ව උෂාන්ට මුණ ගැසෙන්නේ ටෙක්සාස් සරසවියේදීය. එම පුහුණුකාරීත්වය යටතේ යාන්තමට වසරක් ගතවන විටම උෂාන් ටෙක්සාස් සරසවියේ ජනප්‍රියම මලල ක්‍රීඩකයා බවට පත්විය. ගෘහස්ත මලල ක්‍රීඩා තරගවාරය අරඹමින් ඔහු තරග ඉසව් දෙකකට සහභාගී වූ අතර එම පිමි සියල්ලම ටෙක්සාස් සරසවියේ වාර්තා පොත් අතරට එක් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. උෂාන්ගේ පුහුණුකරු වූ රොක් ලයිට් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකේය මාධ්‍යයක් අමතමින් ‘අරුණ’ වෙත උෂාන් ගැන අදහස් දැක්වූයේ මෙලෙසිනි. ‘උෂාන් කියන්නේ ඇත්තටම අද වෙද්දී බලාපොරොත්තුවක්. අපේ විශ්ව විද්‍යාලය නියෝජනය කරන්නට ජාතික ශූරතාවට යන 5 දෙනාගෙන් කෙනෙක් තමයි උෂාන්. ඔහුගේ රිද්මය සහ ක්‍රීඩා විලාසය මට විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම හරි ඉක්මනින් උෂාන් එයාගේ දක්ෂතා වර්ධනය කර ගත්තා. ඒ නිසා අපි එයා ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.’ ඇමරිකානු විශ්වවිද්‍යාල ශූරතාවට ඇත්තේ තවත් සතියක කාලයකි. මේ වනවිට උෂාන් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 3 වැන්නාය. එම ලැයිස්තුවේ ඉහළින් සිටින්නේ ඇමරිකාවේ ‘මිස්ටර් ජම්පර්’ ලෙසින් විරුදාවලි ලත් ජුවොන් හැරිසන්ය. ඔහු පසුගියදා දුර පැනීමේ ඉසව්වෙන්ද සිය හොඳම දක්ෂතාව වාර්තා කරමින් දුර පැනීමේ ශ්‍රේණිගත කිරීමේද අංක 1 රැඳී සිටියි. උෂාන්ට මීටර 0.01කින් ඉදිරියෙන් සිටින අර්නි සියර්ස් සටහනේ දෙවැන්නා ලෙසින් උෂාන්ගේ අනෙක් ප්‍රතිවාදියාය. ඉන්දීය උස පැනීමේ වාර්තාව හිමි තෙජස්වර් ශංකර් සහ උෂාන් එකම දක්ෂතාව (මීටර් 2.25) වාර්තා කරමින් තෙවැනි ස්ථානයේ සිටියි. මේ සියල්ලම සමගින් උෂාන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි මුල් 20 දෙනා අතරටද පැමිණ තිබේ. ඒ අනුව උෂාන් ආසියානු ශ්‍රේණිගත කිරීමේ පළමුවැන්නා බවටද පත්ව තිබේ. මේ සියලු අභියෝග මතින් උෂාන් තවත් අභියෝග ගොන්නකටද මුහුණදෙමින් සිටී. මේ වනවිට අධික හිමපතනයෙන් පීඩාවට පත්වූ ඇමරිකානුවන්ගේ වේදනාව උෂාන්ටද අභියෝගයකි. සිය විශ්වවිද්‍යාලයෙන් උෂාන්ට සය මසකටම හිමි වන්නේ ඩොලර් 2000කටත් අඩු මුදලකි. එනම් මසකට ඩොලර් 300ක පමණ මුදලකි. එරට වියදම් අනුව බලන විට මේ මුදලින් ඒවා සපුරා ගැනීමද තරගයකි. නමුත් සියල්ල එසේවද්දී උෂාන් රට වෙනුවෙන් ඉලක්කයට මාන බලමින් සිටීමම සොම්නසකි. චතුර රණසිංහ
 

More News..