brand logo

නැට්ට විකාගැනීමට සැලැස්වීම

15 June 2019

යහපාලන ආණ්ඩුව මේ රටේ වර්ණභේදවාදය දුරිංභූත කොට ප්‍රජාතන්ත්‍රවාදයද, සමානාත්මතාවද ඇති කිරීමට සමත්යැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති කළ ප්‍රබලයෝ කිහිප දෙනෙක් ආණ්ඩුවේ පළමු දින සියය ගෙවෙද්දීම ජීවිතයෙන් සමු ගත්හ. කෙනෙකුන් මළවුන් අතරට එක් වූවිට එයට සිනාසීම සදාචාර සම්පන්න නොවූවත්, ආණ්ඩුවේ දින සියයේ අත්දැකීම ලබා සිටි ජනතාව ඒ මරණ හමුවේ රහසින් මිමිණුවේ පාපය පඩිසන් දුන්නා යනුවෙනි. දින සියයට ගෙවුණ තැනේ සිටම ජනතාව ආණ්ඩුවට සාප කළහ. වතාවක් ආණ්ඩුවට සාප කරන්නට පොල් ගසන්නට යද්දී කතරගම දේවාලයද වසා තිබිණ. සාප කිරීම් කොතරම් දුරදිග ගොස් ඇත්තේද යත් යහපාලන ආණ්ඩුව බිහි කිරීමට කැපවූ උගතෙකු, වියතකු ලෙස සැලකෙන හා සැක කෙරෙන මහාචාර්ය සරත් විජේසූරිය ‘මේ ආණ්ඩුව ගෙනාවට මටම සාප වේවායි’ ප්‍රාර්ථනා කර ගත්තේය. පසුදා ජනතාව කළේ ‘එසේම වේවා’යි කියා මුහුණු පොතේ පෝස්ට් දැමීමය. මේ සාප කිරීම්වලින්, වෛර කිරීම්වලින් ඵලක් වෙන්නේ නැති නිසදෝ දැන් ජනතාව කරන්නේ ආණ්ඩුවට සිනාසීමය. රටේ නායකයන්ගේ පින්තූර හරහා මැරියං කියා ලියූ ජනතාව දැන් ‘‘මගේ හිතේ තියෙන ආතල් නම් කෝටියයි මම තාම තොපිට එයින් දුන්නේ භාගයයි’’ කියා ලියති. ලේ කෝප නොවී ආතතියෙන් තොරව මෙබඳු ආණ්ඩුවක් සමග පයුරු පාසානයට, ගනුදෙනුවට කර ගන්නට තියෙන හොඳම මාර්ගය ජනතාව තෝරාගෙන ඇත්තේය. මේ වෛරයේ, කෝපයේ උච්ච අවස්ථාවට ඇවිත් වෙනත් කරන්නට දෙයක් නැති තැනදී මිනිසා මුහුණ දෙන මනෝභාවයකි. ආණ්ඩුවද තමන්ට හිනාවෙන්නට හිනාවෙන්නට එ්කම කරන්නේය. සළු පාලියේ එන සළු යකාමෙනි. සළු යකාටත් වඩා ආණ්ඩුව ළං වෙන්නේ පහතරට කෝලම් නැටුම්වල එන බහුබූතයාටය. සළු යකාට චරිතයක් ඇතත් බහුබූතයාට එබඳු චරිතයක් නැත. කරන දේට හිනාවෙන විට ඌ තව තවත් ඒ දේම කරයි. කවටයා හා විනෝද වන්නා අතර තිබෙන සබඳතාව එයයි. කැලෑ විනාශයෙන් රට බේරා ගන්නට පසුගිය බ්‍රහස්පතින්දා වඩු මඩු තහනම් කළ ජනාධිපති තමාට එරෙහි තේරීම් කරක සභාවක් පත් කළ බැවින් කැබිනට්ටුව කැඳවන්නේ නැති බව ප්‍රකාශ කළේය. මේ කාරණයේ එල්ලීගෙන ආණ්ඩුව ජනාධිපතිවරයා පට්ට ගැසුවේය. පට්ටා ගසා කොට්ටා මසා හිස ඔබා සැතපෙන්නට යන විට ජනාධිපතිවරයා යළි කැබිනෙට්ටුව කැඳවන්නට තීරණය කළේය. ආණ්ඩුව මේ තේරීම් කාරක සභාව පත් කළේ රිෂාඩ් බද්උදීන් පාර්ලිමේන්තුවෙන් නෙරපීමට විශ්වාසභංගයක් ගෙන ආ වෙලේය. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන ආ විට ක්‍රිස්තියානි මන්ත්‍රීවරු ආණ්ඩුවට එරෙහිව ඡන්දය දීමේදී ඇති වන මුහුණ පාන්නට වන අවුල ලෙහීමටය. එහෙත් ඒ සියල්ලටම පෙරාතුව ආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමැතිවරු සිය ධුරවලින් ඉවත් වූයේ ආණ්ඩුවට පවන්රොදක් සලමිනි. ඒ හිස් වු ඇමැති ධුරවලට ආණ්ඩුව තෝරා යැවූ නම් ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා ඊට වැඩබලන ඇමැතිවරු පත් කරමින් තවත් කුණාටුවක් හදා ගත්තේය. දැන් ආණ්ඩුව කරන්නේ ජනාධිපතිට එසේ කරන්නට බැරි බව කියා ජනාධිපතිවරයා තවත් වළක දැමීමය. තමාත් සමග තරහට දෙකට නැවී තමාගේම නැට්ට විකන සත්ත්වයකුගේ තත්ත්වයට ප්‍රතිවාදියා පත් කිරීමට ආණ්ඩුව සමත්ව සිටී. මේ ආකාරයට ආණ්ඩුවක් ගෙන ගිය හැකිද? ‘‘අද දේශපාලනඥයන් ගැන ජනතාව කලකිරී සිටිනවා. මේ 225 දෙනාම ගෙදර යැවිය යුතු යැයි සමහරුන් කියනවා. ඒකත් මේ අවස්ථාවේ හොඳ නැහැ. එතකොට ඒ වෙනුවෙන් ඇති කරන්නේ කුමක්ද? ජනතාව දේශපාලනඥයන් ගැන කලකිරී ඇති බව අප පළමුව පිළිගත යුතුයි.’’ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පසුගියදා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ කීවේය. අග්‍රාමාත්‍යවරයා රටේ තත්ත්වය තේරුම් ගෙන තිබියදී මහ මැතිවරණයකට යන්නේ නැත්තේ ඇයි? ඒ එකම හේතුවක් නිසාය. ඉදිරි මාස කිහිපය තුළ ඇමැතිකම් දැරීමට තියෙන අවස්ථාව අහිමිවීමත්, ඉන් ලැබෙන ප්‍රතිලාභ වරප්‍රසාද අහිමිවීමත් නිසාය. ආණ්ඩුවේ සමහර ආයතන බංකොළොත් වෙන විට ආයතනයේ සේවකයන්ට ඉදිරියේ දී ගෙවන්නට තිබෙන වැටුප් ද සමග වන්දි ගෙවා සේවයෙන් ඉවත් කෙරෙයි. එයින් පාඩුව අවම කරගෙන ආයතනය රැක ගනී. ඒ ක්‍රමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොගැළපේද? පාර්ලිමේන්තු එන්නට තියෙන ඉදිරි කාලයටම අදාළ වැටුපත්, තරුණ මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුපත් ලබා දී පාර්ලිමේන්තුව විසිරුවා හැරියත් ජනතාවට ලාභය. ආණ්ඩුව කරන දේවල්වල හැටියට මේවාත් ඒ තරම් වැඩ නොවේ.
 

More News..