brand logo

නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ

13 January 2021

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පැහැදිළි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක්වීමට තමා ඉඩ නොතබන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත. පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබූ බවත් විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබාගැනීමේ එකඟතාවට පැමිණීමට හැකිවූ බව එහිදී ජනාධිපතිතුමා පෙන්වා දී ඇත. පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබූ බවද තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ. නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, ආදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ජනාධිපතිවරයා සඳහන් කරයි. ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ජනාධිපතිවරයා පැහැදිළි කර ඇත. ඒ අනුව, නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වෙයි. 9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන්ය. ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ. ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි ද සමිති ප්‍රධානීන්ට දන්වා ඇත. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුනි. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ද පෙන්වා දී තිබේ. පසුගිය රජය මත්තල ගුවන් තොටුපොළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසීය. වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහූ සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
 

More News..