brand logo

නැගෙනහිර පර්යන්තයේ 51%ක් වරායට 49%ක් 'අදානි'ට

14 January 2021

ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන්නේ වරාය වෘත්තීය සමිති කළ ඉල්ලීමකට අනුව නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට පසුගිය රජය සකස් කර තිබූ ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු සියයට 51ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක" රටේ ස්වෛරීභාවය" ආදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයිද ජනාධිපතිවරයා සඳහන් කළ බව එහි සඳහන් වෙයි. එම නිවේදනයේ තවදුරටත් මෙසේද දක්වා තිබේ. ‘‘ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ අදානි සමාගමට හා වෙනත් පාර්ශ්වයන්ට කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුමයි ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නැයි කී ජනාධිපතිවරයා සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන්නේය. මේ අතර නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බව වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න කළුතරගේ පැවැසීය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළ පරිදි වරාය නැගෙනහිර පර්යන්තයේ අයිතියෙන් සියයට 49ක් ඉන්දියාවේ අදානී සමූහයට පැවරීමට එකඟ නොවන බවද කළුතරගේ මහතා පැවසීය. කෙසේ වුවද වරාය නැගෙනහිර පර්යන්තය පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ කමිටුවට මේ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට අවස්ථාවක් ලබාදුන් බවද ඔහු සඳහන් කළේය. මෙම සාකච්ඡාවට සහභාගි වූ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිතියේ එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම කියා සිටියේ වරාය නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් ඉන්දියාවට පැවරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ වි‍ශේෂඥ කමිටුව සහ වරාය වෘත්තීය සමිති සාකච්ඡා කර එළැඹෙන අවසන් නිගමන වාර්තාවත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන තෙක් නැගෙනහිර පර්යන්තය පිළිබඳ කැබිනට් පත්‍රිකාවේ සඳහන් ක්‍රියාවලිය අත්හිටුවීමට ජනපති නියෝග කළ බවයි. එසේම මෙම විශේෂඥ කමිටුව සමග සාකච්ඡා කිරීමට වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නියෝග කළ බවද ඔහු පවසයි. ඉන්දියාවේ අදානී සමූහයට නැගෙනහිර පර්යන්තය පැවරීමේදී කිසිදු වරාය සේවකයෙක් ඉවත් නොකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූ බව ද පැවසේ. මෙම සාකච්ඡාවට ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.
 

More News..