brand logo

නාවික හමුදා නැව්වලට නම් ලැබුණු හැටි

25 February 2019

විටෙක හිසට උඩින් ගලායන දියරැළිය. තවත් විටෙක සැඩ සුළංය. දිය රැළි, සැඩසුළං, ගල්පර, මීදුම් බාධක පරයා ගමනාන්තයට ළඟාවීම නෞකාවක වගකීමය. නෞකාවක් නිර්මාණය වන්නේද එවන් බාධක ජයගෙන ගමනාන්තයට ළඟාවීමටය. එවන් වගකීමක් කරමත පැවරුණ අභිමානවත් හමුදාවක් අපටද ඇත්තේය. ඔවුනට ඇත්තේ සුළුපටු රාජකාරියක්ද නොවන්නේය. දිවයින පුරාම වූ මුහුදු කලාපය අංශක තුන්සිය හැටක්ම ආවරණය කරමින් මුර සංචාරයේ නිරත ඔවුනට ලංකාව මෙන් හත් ගුණයක් විශාල ආර්ථික කලාපයක් රැකගැනීමේ වගකීම පැවරී ඇත්තේය. අද වන විට සිදුරළ, සයුර, සාගර, සමුදුර, වැනි ගැඹුරු මුහුද නිරීක්ෂණය කළ හැකි නෞකා, වේග ප්‍රහාරක මුර යාත්‍රා, මිසයිල ප්‍රහාරක නෞකා වේග ප්‍රහාරක යාත්‍රාවලින් සමන්විත නාවික හමුදාවක් බවට පරිවර්තනය වන්නේද එදාමෙදා තුර හැට නව වසරක් ආ ගමනේදීය. රාජකීය නාවික හමුදා කිරීටය යටතේ පාලනය වූ ශ්‍රී ලංකා මුහුදු තීරය රකින්නට අපටම මුලින්ම ලැබුණේ ‘විජය’ නෞකාවය. විජය බ්‍රිතාන්‍ය මූල්‍ය ආධාර ඇතිව මෙරටට ලබා ගත් පළමු යුද නෞකාව වන්නේය. මෙරටට 1949දී බ්‍රිතාන්‍යයේදී ලද MS Flying Fish නමැති පළමු යුද නෞකාවට විජය ලෙස නම තැබෙන්නේ පළමු අගමැතිවරයා ලෙස ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් පවත්වීමත් සමගය. මේවා රාජනියන් වහන්සේගේ නෞකා ලෙස එවකට හැඳින්විය. විජයගේ ආගමනයෙන් ඔපවත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එදා හැඳින්වූයේ එක් නැවක් ඇති නාවික හමුදාව ලෙසය. බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා ගත් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස නාමය වෙනස් වන්නේද බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ පාලනයෙන් මිදී යාමත් සමගය. රෝයල් සිලෝන් නේවි වෙනුවට ශ්‍රී ලංකා නේවි නාමය ලැබෙන්නේ 1972 හඳුන්වා දුන් නව ව්‍යවස්ථාවෙනි. පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ජාවාරම් මැඬලීම, අනවසර සංක්‍රමණ නැවැත්වීමේ මෙහෙයුම් ඇතුළුව සමුද්‍රිය ක්‍රියාකාරකම් ඇරඹෙන්නේ විජයගේ පැමිණීමෙන්ය. එච්.එම්.එස්. කෙන්යා නමැති නැගෙනහිර ඉන්දීය නාවික බළඇණියට අයත් ධජ නෞකාවකින් වැඩම කළ බෞද්ධ ධාතූන් වහන්සේලාත් ආරක්ෂාවට බුරුමය බලා යාමේ අවස්ථාවද විජය නෞකාවට හිමිවූයේය. යුද නැව් මෙන්ම තෝරාගත් වෙනත් යාත්‍රා අධිකාරියට එක් කිරීම (Commisswioning) ලොව පුරා නාවික හමුදාවල කෙරෙන සම්ප්‍රදායකි. අධිකාරියට පත්කරන නැවකට ගොඩවන විටත් නැවෙන් බසින විටත් ත්‍රිවිධ හමුදාවටම අයත් සියලු දෙනා නැවට ආචාර කළ යුතුය. ඒ ආකාරය ශ්‍රී ලංකාවේ පළමු වරට අධිකාරියට පත් වූ නෞකාව ‘විජය’ ය. මුහුදේ ආධිපත්‍යය පෙන්වූ විජය නෞකාව ඉතිහාසගත වන්නේ තවත් කාරණා රැසක්ම නිසාය. ජාතියට උත්තමාචාර පුද කරන්නට කාලතුවක්කු ආචාර වෙඩි මුර විසි එකක් එල්ල කරන්නේද විජය නෞකාව සතු කාලතුවක්කු ආධාරයෙනි. රාජකීය නාවික හමුදාවෙන් ලද දෙවැනි නෞකාවද අධිකාරියට පත්කරන්නේ විජය II ලෙසය. විජය නෞකාවල ආගමනයෙන් පසුව කොටියා, හංසයා, ලිහිණියා, මුර සංචාරක යාත්‍රා සහ සේරුවා, දියකාවා, තාරාවා, කොරවක්කා යන කෙටි දුර මුර සංචාරක යාත්‍රාද නාවික හමුදාවට එක්වන්නේ අභිමානවත් ලෙසින්ය. මින් පසුව චීන සමූහාණ්ඩුවෙන් සුරයා හා වීරයා දක්ෂයා, රණකාමී, බලවතා, ජගතා රක්ෂක යන වේග ප්‍රහාරක යාත්‍රාද ලැබෙන්නේය. ඉන්පසුව රුසියාවෙන් ත්‍යාගයක් වශයෙන් ලද නවීනතම නෞකාව සමුද්‍රදේවි නමින් අධිකාරියට පත්විය. නාවික හමුදාවේ නෞකා මෙන්ම කඳවුරුද අධිකාරියට පත්කෙරෙන්නේ අපගේ ඉතිහාසයේ සඳහන් රජවරුන්, වීරවරයන්, මෙන්ම යෝධයින්ගේ නමින්ය. ගැමුණු, එළාර, තිස්ස, ලංකා, විජයබා, ගජබා, කංචදේව, ගෝඨයිම්බර, අග්බෝ, රංගල, වේළුසුමන වැනි මේ නම්වලින් කඳවුරුද ඒ අතර වන්නේය. 1951 වන විට පරාක්‍රම, මහාසේන, ගජබාහු නෞකාද අපගේ රජවරුන්ගේ නාමය ඉතිහාසගත කරන්නට එක්වූ ඒවා වූ‍යේය. මේ අයුරින් නෞකා මෙරටට ගෙනවිත් අධිකාරියට පත්කිරීමේදී එවකට සිටි රජවරුන්ගෙන් පසුව පාලකයින්ගේ නම්වල අකුරු සිහිපත් වන්නට නම් තබන්නට ආරම්භ වෙන්නේ බණ්ඩාරනායක පාලන කාලයේ සිටය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේ මෙරටට චීනයෙන් ලද වේග ප්‍රහාරක මුර නෞකාවලට නම තැබුවේ බණ්ඩාරනායක මහතා මුල් අකුරු හතරට ගැළපෙන පරිදිය. මහජන චීන සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකා රජයට මුලින්ම පරිත්‍යාග කළ වේග ප්‍රහාරක යාත්‍රා (Fast Gun Boats) ගණයට අයත් නෞකා දෙකට සූරයා හා වීරයා ලෙසින් නම් තබන්නේ එස්.ඩබ්ලිව්. අකුරු දෙකට ගැළපෙන්නටය. ඒ 1972 දීය. එවකට නාවික හමුදාපති ධුරය හොබවන්නේ රියර් අද්මිරාල් ඩී.වී. හන්ටර්ය. රාජකීය ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්වන්නේ ඔහුගේ කාලයේ දීය. එතෙක් කල් රාජිනියන් වහන්සේගේ නෞකා (HMS Ceylon Ship) යනුවෙන් හැඳින්වූ නෞකා ශ්‍රී ලංකා නාවික නෞකා ලෙස වෙනස් විය. 1972 දී ලද වේග ප්‍රහාරක යාත්‍රා, දෙක සූරයා හා වීරයා ලෙස අධිකාරියට පත්කෙරෙද්දී මීළඟ වේග ප්‍රහාරක යාත්‍රා දෙක ලැබෙන්නේ 1923දීය. එයද බණ්ඩාරනායක පාලන සමය වූයෙන් නාවික හමුදාපතිවරයා බණ්ඩාරනායක මහතාගේ මුල් නමින් කියවෙන මීළඟ අකුරු දෙක වන ආර්.ඩී. යන්න සිහිපත් කරන්නට ඒ නැව් රණකාමී හා දක්ෂයා යන නම්වලින් අධිකාරියට පත් කළේය. එවකට රජය පාලනය කළ බණ්ඩාරනයක මහතා වෙනුවෙන් සූරයා, වීරයා, රණකාමී, දක්ෂයා නමින් නෞකා අධිකාරියට ලබන්නේ එලෙසින්ය. ඊළඟට නාවික හමුදාවට චීනයෙන් වේග ප්‍රහාරක යාත්‍රා මිලදී ගන්නේ 1980 වසරේදීය. එවකට පැවැතියේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වෙනුවෙන් ඒ මහතාගේ මුල් අකුරු දෙක යොදාගෙන එම නෞකා දෙකද අධිකාරියට පත් කරනු ලැබීය. ඒ ජගතා හා රක්ෂක නමින්ය. එවකට නාවික හමුදාපති ධුරය හොබවන්නේ රියර් අද්මිරාල් ඒ.ඩබ්ලිව්.එච්. පෙරේරාය. ඉන්පසුවත් පැමිණ නෞකා අධිකාරියට පත් කිරීමේදී එවකට සිටි නාවික හමුදාපතිවරුන් තමන්ගේ සිතැඟි පරිදි හා පාලකයන්ගේ හිත් දිනා ගැනීමට නැව්වලට විවිධ නම් තබා අධිකාරියට පත් කෙරුවෝය. ඒ අනුව නාවික හමුදාවට එක්වන සමුද්‍ර දේවි, ජයසාගාර, සාගරවර්ධන, යන නෞකාවල නම් තැබීමද එම පාලන සමයෙහි සිටි නාවික හමුදාපතිවරුන්ගේ සිතැඟි පරිදි සිදුවන්නේය. එල්.ටී.ටී.ඊ. යට එරෙහිව ඇරඹෙන ඊළාම් යුද්ධයේදී නාවික හමුදාවට සිය මුර සංචාරක යාත්‍රා ප්‍රමාණය වර්ධනය කරන්නට සිදුවිය. ඒ ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව කේන්ද්‍ර කරගෙන සිදුවන අවි ආයුධ ප්‍රවාහනය හා ත්‍රස්ත ක්‍රියා නවත්වන්නටය. ඒ අනුව ගැඹුරු මුහුදු නිරීක්ෂණය කළ හැකි නෞකා ගන්නට මුල පුරන්නේ වයිස් අද්මිරාල් සිසිල් තිසේරා නාවික හමුදාපති ධුරය හොබවද්දීය. ඉන්දු - ලංකා රජයන් අතර ඇති කරගත් එකඟත්වයක් මත දස වසරක් ගෙවී යන පරිදි මිලදීගත් ගැඹුරු මුහුද නිරීක්ෂණය කළ හැකි නෞකාවට ‘සයුර’ ලෙස නම තබන්නේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිසිල් තිසේරාය. ඉන්දීය නාවික හමුදාවේ භාවිතයට ගෙන තිබියදී මෙම නෞකාව අධිකාරියට පත් කර තිබුණේ ‘සර්යු’ නමින්ය. ඉන්දියාවේ ප්‍රධාන ගංගාවක් සිහිපත් වන්නට ‘සර්යු’ නම ඒ නැවට තබා තිබුණි. මෙම නැව මිලදී ගන්නට සාකච්ඡා සඳහා සිසිල් තිසේරා මහතා ඉන්දියාවට ගිය මොහොතේ එරට උසස් නාවික නිලධාරීන් නැවට තබන නම විමසා ඇත. ඒත් නැවට නමක් තැබීමේ සැලසුමක් හෝ සූදානමක් ඔහු ළඟ තිබී නැත. ඉන්දීය නාවික හමුදාවෙන් හොඳ හිත තබා ගන්නටත් සමග සර්යු නෞකාවට එතැනදීම සයුර නම තබන්නේ මහසයුර යන්න ඇඟවෙන්නටය. ඉන්පසුව ඔහුගේ පාලන කාලයේදී මෙරටට මිලදීගත් ෆ්‍රේබියල් මිසයිල පහසුකම් සහිත ඊශ්‍රායල් නෞකා දෙකට අප ඉතිහාසයේ නම් කියවෙන නන්දිමිත්‍ර, සුරනිමල යන යෝධයන්ගේ නම් තබා අධිකාරියට පත් කර තිබුණේය. මේ අයුරින් එදා මෙදා තුර ශ්‍රී ලංකා නාවික හමුදා එක්වූ නෞකාවල ඉතිහාසයේ පසුබිම් කතා රැසක්ම ඇත. මෙහිදී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබෝට් විසින් පරිත්‍යාග කළ නෞකා දෙක මිහිකත හා රත්නදීප ලෙසින් නම් කරන්නේ එවකට හිටපු නාවික හමුදාපතිවරයා විසින්ය. මහින්ද රාජපක්ෂ මහතාගේ නම සිහිවන්නට එම්.ආර්. යන අකුරු දෙක වෙනුවෙන් මිහිකත හා රත්නදීප නම් තබා අධිකාරියට පත් කර තිබුණේය. රටටම බැඳි රන් වැට සුරකින්නට බැඳී සිටින ශ්‍රී ලංකා හමුදාවට අද වන විට සිදුරළ, සයුරල, සාගර, සමුදුර වැනි ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාද එක්ව ඇත්තේය. එදා මෙදාතුර නාවික හමුදාවේ ප්‍රෞඩත්වය විදහා දැක්වූ නෞකා සමූහය, අදටත් විවිධ නම්වලින් වැජඹෙන්නේය. දිනෙන් දින ශක්තිමත් වූ නාවික හමුදාවේ ඈත මුහුදේ මෙහෙයුම් සඳහා හැකියාව ඇති (Blue Water Capabilitity) නාවික හමුදාවක් බවට මේ වනවිට පත්ව හමාරය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..