brand logo

නාවික හමුදාවට ඉගිලෙන්න බැරි ඇයි?

26 January 2019

මත්ද්‍රව්‍යට එරෙහිව අරඹා ඇති සටන කිසිසේතම අත් නොහරින බව ජනාධිපතිවරයා පසුගිය දිනෙක යළි අවධාරණය කළේය. කියූ ආකාරයටම වැඩ කටයුතු සිදු වන්නේ නම් එය කුඩු මුදලාලිලාත්, ඔවුන්ගේ බිරින්දෑවරුත් හැර බහුතරය සතුටට පත් වන අන්දමේ ප්‍රකාශයකි. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ උග්‍ර මත්ද්‍රව්‍ය විරෝධියකු වන පිලිපීන ජනාධිපතිවරයා හමුවී යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවය. ශ්‍රී ලංකාව අද මත්ද්‍රව්‍ය ඉල්ලුමක් ඇති රටක් පමණක් නොව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන මධ්‍යස්ථානයකි. පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරටින් සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණයෙන් ඒ බව සනාථ වේ. මෙලෙස කිලෝග්‍රෑම් දහස් ගණන්, මෙරටට ගෙන එනු ලබන්නේ මුහුදු මාර්ග ඔස්සේය. ආරක්ෂක අංශවලට හසුවී ඇත්තේ එලෙස ගෙන එන මත්ද්‍රව්‍ය තොගවලින් කොටසක් පමණි. ආරක්ෂක අංශවල ඇසට වැලි ගසමින් තව කොතරම් තොග රට තුළට පැමිණ ඇද්ද? එලෙස ගෙනවිත් යළි වෙනත් රටවල් කරා බෙදාහැර ඇද්ද යන්න නිශ්චිතව කිව නොහැක. මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ශ්‍රී ලංකාව ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් ලෙස භාවිත වන්නේ යැයි කීවත් ඇත්ත වශයෙන්ම එවන් මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකා ගොඩබිමට ගෙන එන්නේ එහෙමත් වෙලාවකය. ගනුදෙනු සිදුවන්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළය. මේ නිසා මෙම මත්ද්‍රව්‍ය තොග මෙන්ම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමෙහිලා ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ වගකීමක් පැවරේ. ගැටලුව ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් නාවික හමුදාව සතු නොවීමය. මුහුදේ නිරීක්ෂණ හා මෙහෙයුම් සඳහා මුහුදු යාත්‍රා සේම ගුවන් යාත්‍රාද අත්‍යවශ්‍ය වේ. යුද සමයේ නාවික හමුදාව කොටි නැව් විනාශ කළේ ගුවන් හමුදාවේ සහාය ඇතිවය. එහෙත් දැන් යුද්ධය අවසන් නිසා නාවික ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක නොවේ. අනෙක් අතට මත්ද්‍රව්‍ය මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ ප්‍රහාරක යාත්‍රා භාවිත කිරීම ප්‍රායෝගික නොවේ. මේ නිසා මීට ඇති විසඳුම වන්නේ නාවික හමුදාව යටතේම ‘නාවික ගුවන්’ ඒකකයක් ආරම්භ කිරීමය. නාවික යාත්‍රා මත ගොඩ බැස්සවිය හැකි සැහැල්ලු ගුවන් යානා භාවිත කිරීමය. ඉන්දීය නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක බළකාය මෙවැනි යානා භාවිත කරන අතර ඔවුන් පෝක් සමුද්‍ර සන්ධියේ නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කරන්නේ මෙවැනි යානාය. මෙවැනි සැහැල්ලු ගුවන් යානා භාවිත කිරීමේ ඇති වාසිය වන්නේ නාවික යාත්‍රාවකට වඩා දුරක් මුහුදේ නිරීක්ෂණ කටයුතු කළ හැකි වීමය. සාමාන්‍යයෙන් නාවික යුද බලඇණි දුරදක්නවලින් නිරීක්ෂණය කළ හැකි වන්නේ කිලෝමීටර් 10-15ක් තරම් දුරකි. රේඩාර් පද්ධතිවලින් නිරීක්ෂණය කළ හැක්කේ කිලෝමීටර් 20ක් තරම් දුරකි. නාවික හමුදා යාත්‍රාවලට මුහුදේ ඕනෑම දුරක් යාත්‍රා කළ හැකිවුවද ඒ සඳහා වැයවන මුදල මෙන්ම කාලය විශාලය. එහෙත් සැහැල්ලු ගුවන් යානයකට අඩු වියදමකින් මුහුදේ කිලෝමීටර් 500ක් වටා මුහුදු සීමාවන් දක්වා නිරීක්ෂණය කළ හැකිය. සැහැල්ලු ගුවන්යානා සහිත නාවික ගුවන් ඒකකයක් යන්න නාවික හමුදාවට අලුත් දෙයක් යැයි කිව නොහැක. මන්දයත් එවන් ඒකකයක් ආරම්භ කිරීමට පළමු පියවර තැබෙන්නේ අදින් වසර 18කට පමණ පෙර 2000 වසරේදී වීම නිසාය. වසර 2000 වන විට නාවික හමුදාපතිවරයා වූයේ අද්මිරාල් සිසිල් තිසේරාය. නාවික ගුවන් ඒකකයක් ආරම්භ කිරීම ඔහුගේ අදහසකි. හිටපු නාවික හමුදාපතිවරයා ඒ ගැන කියන්නේ මෙවන් කතාවකි. ‘‘මම නාවික හමුදාපති ලෙස පත්වන විට නාවික හමුදාව ඉතාම පහත් මට්ටමකට වැටිලා තිබුණේ. යුද ශක්තියෙන් වගේම මානසික තත්ත්වයෙන් වැටිලා හිටියේ. මාස දෙක තුනක් ඇතුළත මුළු නාවික හමුදාවම ඔසවා තැබීමට කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවෙන් සයුර නෞකාව මිලදී ගත්තා. ඒ වෙලාවේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මම නාවික හමුදාවට ගුවන් ඒකකයක අවශ්‍යතාව ගැන කිව්වා. ඒකේදී වාද විවාද කරලා හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අනුරුද්ධ රත්වත්තේ මහත්තයා ඒ ගැන එකඟත්වය පළ කළා. ඒ අනුව සයුර නැව මිලදී ගන්නා අවස්ථාවේදීම ‘චිටාක්’ වර්ගයේ සැහැල්ලු නාවික කටයුතු සඳහා ගුවන්යානාවක් මිලදී ගැනීමට සැලසුම් කළා. ගුවන් හමුදාවේ විශ්‍රාම ගිය දක්ෂ ගුවන් නියමුවන් නාවික හමුදාවට බඳවාගෙන පුහුණු කළා. මම 2001 දී විශ්‍රාම ගියා. ඊට පස්සේ මම කරගෙන ආ එම වැඩසටහන නතර කර දැම්මා. ඒකෙන් වුණේ ඉදිරියට සැලසුම් කරලා තිබුණු තවත් නෞකා දෙකක් මිලදී ගැනීම වගේම තවත් හෙලිකොප්ටර් දෙකක් මිලදී ගැනීම නතර වීම. නෞකා දෙක තමයි 2017 දී ඉන්දියාවෙන් මිලදී ගත්තේ. කොහොම හරි 2004 ගංවතුර වෙලාවේ ඉන්දියාවෙන් කුලියට ගත්තෙත් අපි ඊට පෙර නාවික හමුදාවට ගැනීමට ගිය ‘චිටාක්’ වර්ගයේ ගුවන් යානා දෙකක්. ඒ වැඩසටහන ඉදිරියට ගියානම් සිව්වන ඊළාම් යුද්ධයේ මෙහෙයුම්වලදී වඩාත් පහසු වෙනවා. එම ගුවන් යානාවේ නියමුවන් දෙදෙනකු හා වෙඩික්කරුවන් පස් දෙනකුට කිලෝමීටර් පන්සීයක් පමණ දුරක් යන්න පුළුවන්. දැන් මේ වනවිට ඇතිවෙලා තියෙන තත්ත්වය අනුව තවම ප්‍රමාද නැහැ. නාවික හමුදාවට ඉදිරියට යනවනම් මේ වගේ වැඩකට යන්න’’ මේ වනවිට නාවික හමුදාව සතුව කුඩා ගුවන් යානා ප්‍රවාහනය කළ හැකි නාවික යාත්‍රා 5ක් තිබේ. වසර 2000දී ඉන්දියාවෙන් මිලදී ගත් ‘සයුර’ නෞකාව ඉන් පළමු වැන්නය. 2004 වර්ෂයේදී ඇමෙරිකාවෙන් මිලදී ගෙන ඇති ‘සමුදුර’ නෞකාව තවත් එකකි. ‘සාගර’, ‘සයුරළ’ හා ‘සිඳුරළ’ යන නෞකා තුනම ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙනි. මේ අතර මේ වර්ෂයේදී තවත් මෙවැනි නෞකා 5ක් ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා බල ඇණියට එක්වීමට නියමිතය. ඇමෙරිකනු නෞකාවක් වන ‘ෂර්මන්’, චීනයෙන් ‘මොංග්ලින්’ මෙන්ම ජපානයෙන්, රුසියාවෙන් හා ඉන්දියාවෙන් නෞකා තුනක් ඊට ඇතුළත්ය. කෙසේ වෙතත් තවමත් නාවික හමුදාව ගුවන් ඒකකයක් ආරම්භ කරන්නට සූදානම් බවක් දැන ගන්නට නැත. ගුවන් යානා ප්‍රවාහනය කළ හැකි යාත්‍රා මිලදී ගෙන ඇතත් ගුවන් යානා මිලදී නොගැනීම සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයාද 2017 වර්ෂයේ සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබේ. ඉන්දියානු ණය වැඩසටහන (Indian Cridet line) යටතේ 2013 වර්ෂයේදී රුපියල් මිලියන 20,000ක පමණ මිලකට යාත්‍රා දෙකක් මිලදී ගෙන ඇතත් ඒවා සමග ගත යුතු ගුවන් යානා මිලදී ගෙන නොමැති බව විගණකාධිපතිවරයා කරුණක් ලෙස සිය වාර්තාවෙන් ඉස්මතු කර ඇත. හිටපු නාවික හමුදාපති සිසිර තිසේරා පවසන අන්දමට නාවික ගුවන් ඒකකය සඳහා නියමුවන් පුහුණු කර ඇත්තේ ඉන්දියාවේදීය. එකල ගුවන් හමුදාවේ සිටි දක්ෂ ගුවන් නියමුවන් වූ බළගණ නායක රොමේෂ් මෙන්ඩිස් හා වින්ග් කමාන්ඩර් සුනිල් කබ්රාල් එලෙස පුහුණුව ලැබූ දෙදෙනෙකි. ඊට අමතරව ඉංජිනේරුවන් ඇතුළුව අවශ්‍ය කාර්ය මණ්ඩලයේ තවත් පිරිසක්ද ඉන්දියාවට යවා මාස 06ක පුහුණුවක් ලබාදී තිබේ. මෙම ඒකකය සඳහා වැලිසර නාවික කඳවුරේ ඉඩ පහසුකම්ද සලසා තිබී ඇත. මේ පුහුණුවීම් ආදී කටයුතු සඳහාද වැය කළ මුදල් වියදමක් පමණක් වී ඇත්තේ සිසිල් තිසේරාගෙන් පසු පැමිණි නාවික හමුදාපතිවරුන් එම කටයුත්ත නොසලකා හැරීම නිසාය. මේ වන විට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව සැතපුම් 200කි. එම සීමාව තවත් වැඩි කර ගැනීමට රජය මේ වනවිට අදහස් කර ඇත. සැතපුම් 200 සීමාව සැතපුම් 750 දක්වා වැඩි කරන ලෙස වර්ෂ 2000දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ඒ අනුවය. එම ඉල්ලීම ඉටුවී මෙරට මුහුදු සීමාවේ ප්‍රමාණය දැනට වඩා කුමන හෝ ප්‍රමාණයකින් වැඩිවුවහොත් නාවික හමුදාවේ කාර්යභාරය තවත් අභියෝගාත්මක වනු ඇත. නාවික හමුදාවට එම අභියෝගය ජය ගන්නට හැකි වනු ඇතිද? දැන් ඇති ප්‍රශ්නයයි. චමින්ද සේනාරත්න
 

More News..