brand logo

නාවික හමුදාපති විශ්‍රාම යන්න ඔන්න මෙන්න

25 May 2019

වයඹ හා ගම්පහ ප්‍රදේශවල ගැටුම් ඇතිවන අවස්ථාව වන විට රටේ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානීන් බොහෝ දෙනකු පාහේ විශ්‍රාම යාමට ආසන්න හෝ සේවා දිගු ලබා සිටි අය බව වාර්තා වේ. දැනට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනු ලබන ප්‍රධානීන් සියලු දෙනාම විශ්‍රාම යාමට නියමිතව සිටින හෝ සේවා අවශ්‍යතාව මත සේවා දිගු එකක් හෝ දෙකක් ලබා දී සිටින නිලධාරින්ය. එම හේතුවෙන් ඔවුන් ඍජු හා ක්ෂණික තීරණයන්ට නොඑළඹෙන බව ඉහළ ආරක්ෂක අංශ නිලධාරීහු පෙන්වා දෙති. පාස්කු ඉරිදා (අප්‍රේල් 21) මුස්ලිම් අන්තවාදීන් ස්ථාන හතකට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය අමතමින් පැවසුවේ පැය 24 ක් ඇතුළත ආරක්ෂක අංශවල විශාල වෙනසක් සිදුකරන බවයි. පසුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඉල්ලා අස්වීමටත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්යය නිවාඩු යැවීමටත් කටයුතු කරන ලදී. ත්‍රිවිධ හමුදාපතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් එහිදී සඳහන් නොවීය. දැනට පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා පත්කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න එම තනතුරේ තාවකාලිකව සිටින අතර ඔහුගේ සේවයද තවම ස්ථිර වී නැත. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන ද දෙවැනි සේවා දිගුව මත සේවයේ සිටින අතර ඔහුගේ සේවා දිගුව පසුගිය පෙබරවාරි 22 වැනිදායින් අවසන් විය. ඒ අනුව ඔහුට තවත් මාස හයක සේවා දිගුවක් ලබා දී ඇති බවද වාර්තා වේ. එම සේවා දිගුවද අගෝස්තු මාසයෙන් අවසන් වීමට නියමිතය. යුද හමුදාපති මහේෂ් සේනානායක ද දෙවැනි සේවා දිගුවක් මත සිටින අතර එයද අගෝස්තු 26 වැනිදායින් අවසන් වීමට නියමිතය. ගුවන් හමුදාපති කපිල ජයම්පතිද දෙවැනි සේවා දිගුව මත සිටින අතර එය එළඹෙන සැප්තැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතය. නාවික හමුදාපති පියල් ද සිල්වාද සිය වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් එළැඹෙන ජූලි 14 වැනි දිනට සේවා දිගුවක් නොලැබුණහොත් විශ්‍රාම යාමට නියමිතය.
 

More News..