brand logo

නාලක එදිරිසිංහ CIDයට භාරවෙයි

06 January 2021

ඊ.ටී. අයි. සහ ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇත. ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි. ජීවක එදිරිසිංහ හා කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වූ දීපා එදිරිසිංහ යන දෙදෙනා කොළඹ කුරුඳුවත්තේ නිවෙස්වලදීත්, අසංක එදිරිසිංහ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසලකදීත් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඊයේ (05 වැනිදා) සවස 6.30ට පමණය. තවත් අධ්‍යක්ෂවරයකු වූ නාලක එදිරිසිංහ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි. මෙම අධ්‍යක්ෂවරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලි ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (05 වැනිදා) දහවල් දුන් නියෝගයකින් පසුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ඊයේ (05 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන ඇත. රුපියල් බිලියන 13.7ක තැන්පතු අනවසරයෙන් පිළිගැනීම, එම මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඊ.ටී. අයි. සහ ස්වර්ණමහල් යන සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා මෙසේ පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණි. සීමාසහිත ඊ.ටී. අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගම සහ ඊට අනුබද්ධිත සමාගම සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නිර්දේශය අනුව නීතිපතිවරයා මෙම පියවර ගෙන තිබිණි. එයට පෙර එනම් 2020 ඔක්තෝබර් 23 වැනි දිනැති ලිපියක් අනුවද පොලිස්පතිවරයාට මීට අදාළ උපදෙස් ලබාදීමක් සිදුකර තිබිණි. එමෙන්ම සීමාසහිත ඊ.ටී.අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනාවරණය නොකරන ලද ගිණුම් පවත්වා ගනිමින් රුපියල් බිලියන 6.8480 තැන්පතු නීතිවිරෝධී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් සහ සීමාසහිත ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව හා එමගින් නිකුත් කරන ලද බලපත්‍රයක් නොමැතිව නීතියට පටහැනිව මහජනතාවගෙන් මුදල් තැන්පතු රුපියල් බිලියන 7.2ක් ලබාගෙන ඇති බවට ජනාධිපති කොමිෂන් සභා හවුවේ ඉදිරිපත් වූ සාක්ෂි වලින් අනාවරණය වූයේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව සහ නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව මුදල් ව්‍යාපාරයක නිරත වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා පත්‍ර මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න පැවැසුවාය. මෙම සිද්ධියට වගකිව යුතු තැනැත්තන් ලෙස සීමා සහිත ඊ.ටී.අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගමේ හිටපු සභාපතිනිය වූ නැසීගිය සෝමා එදිරිසිංහ සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වූ ජීවක හේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අධ්‍යක්ෂවරුන් සහ ඔවුන් ස්වර්ණමහල් ජුවලර්ස්හී අධ්‍යක්ෂවරුන් වශයෙන්ද අදාළ කාලවලදී කටයුතු කර ඇත.
 

More News..