brand logo

නාරංගල කන්ද රක්ෂිතයක් කිරීමේ යෝජනාව සම්මතයි

05 March 2021

බදුල්ල නාරංගල කන්ද අශ්‍රිත වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර සංරක්ෂණය කලයුතු බවට වන යෝජනාව අද (05) දින සොරණා තොට ප්‍රාදේශීය සභාවේදී සභාසම්මත වී ඇත. සංචාරකයින් පැමිණීම හේතුවෙන් පසුගියදා එහි සිදුවූ මරණය මෙන්ම පාමුල පිහිටි ජල පෝෂක ප්‍රදේශ විනාශයට පත්වීම, කඳු මුදුනේ පොලිතින් ප්ලාස්ටික්, වීදුරු බෝතල් හා ටින් වර්ග ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් අපචාර කටයුතු සිදුවීම, වනාන්තරයේ සත්ත්ව හා ශාක ප්‍රජාවට හානි සිදුවීම හා කඳුමුදුනේ කූඩාරම් ගැසීම හා ගිණිමැළ දැල්වීම හේතුවෙන් කඳුමුදුන පාංශුඛාදනය වැනි දෑ සිදුවීම මෙමගින් වලකා ලීමට හැකි බව ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රී ප්‍රියන්ත විජිත බණ්ඩාර මහතා පෙන්වා දී ඇත. මෙහිදී මෙම වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර වනජීවි දෙපාර්තමේන්තුව යටතට පැවරීම සුදුසු බවට යෝජනා වී ඇති අතර විශේෂ අවසරයක් හා අධීක්ෂණයක් යටතේ පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, පරිසරවේදීන් වැනි පිරිස්වලට අධ්‍යයන කටයුතු සඳහා දියහැකි බවද පෙන්වා දී තිබේ. සභාවේ මන්ත්‍රීවරුන් රැසක් එම යෝජනාවට සහයෝගය පළකර ඇති අතර යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මතව ඇත.යෝජනාව ඉදිරි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත යොමුකරන බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති නදීකා ප්‍රිශාන්ති දිසානායක මහත්මිය සඳහන් කර තිබේ.
 

More News..