brand logo

නායකත්ව අර්බුදය විසඳන එජාප සාකච්ඡාව හෙට

06 January 2020

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (7 වැනිදා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කැඳවා ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එජාප නායකයන්ගේ අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ එ.ජා.ප. පෙරමුණ පක්ෂ නායක රැස්වීම එම නායකයෝ ප්‍රතික්ෂේප කළහ. එම රැස්වීම කැඳවූයේ ඉන් අනතුරුවය. පසුගිය සෙනසුරාදා (4 වැනිදා) මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබූ නමුත් රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ රිෂාඩ් බදුයුදීන් යන පක්ෂ නායකයෝ එජාප නායකත්වය පිළිබඳ තවදුරටත් රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරමින් රැස්වීම වර්ජනය කර තිබිණි. මේ අතර රවි කරුණානායක සහ නවීන් දිසානායක යන අය ද සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට පත්වීම කෙරෙහි දැඩි විරෝධයක් දක්වමින් සිටින අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන නායකයන් තිදෙනාගේ ප්‍රමුඛත්වයෙන් යුතුව නායකත්ව මණ්ඩලයක් හරහා ඉදිරි මහ මැතිවරණයට සූදානම් විය යුතු බවයි. එසේම 2024 වර්ෂය දක්වා එජාප ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල රනිල් වික්‍රමසිංහ විසින් අත්නොහැරිය යුතු බවද එම කණ්ඩායමේ අදහස වී ඇත. නයන තරංග ගමගේ
 

More News..