brand logo

නායකත්වයේ ඔටුන්න මාලිංගගෙන් ගැලවෙන හැඩ

27 January 2020

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට නුදුරේදීම නායකත්වය පමණක් නොව කණ්ඩායමේ ස්ථානය පවා අහිමිවීමේ අවදානමක් පවතින බව 'අරුණ'ට වාර්තා වේ. විශේෂයෙන්ම පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩයාමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග දෙකේදී ලසිත් මාලිංගයට කණ්ඩයාමේ ස්ථානයක් හිමි නොවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි පවසයි. යම් හෙයකින් ඔහුට නායකත්වය අහිමි වුවහොත් කණ්ඩයාමේ ස්ථානයක් ලබාදීම ද ප්‍රශ්නයක් බව තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මීට පෙර පවසා තිබිණී. ඔහු ඒ බව පවසා තිබුණේ ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් අනතුරුවය. ඒ අනුව බොහෝ දුරට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට විස්සයි විස්ස නායකත්වය ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. කෙසේ නමුත් මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ අරමුණෙන් දසුන් ශානක වෙත විස්සයි විස්ස නායකත්වය ලබාදිය යුතු බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඇතැමුන්ගේ මතය වී ඇත. ඒ අනුව නව පුහුණුකරු මිකී ආතර් සමග ද සාකච්ඡා කර ඉදිරි සති දෙක ඇතුළත විස්සයි විස්ස නව නායකයා පත් කිරීම බොහෝදුරට සිදුවන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.
 

More News..