brand logo

නාමල් රාජපක්ෂගේ නඩුවක් ලබන වසර දක්වා කල්යයි

14 October 2019

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ තිබෙන නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (14) නියෝග කළේය. මෙම නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන විශේෂ නඩු විභාගයකට සහභාගි වීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ විභාගය කල් තබන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා කල් දැමීමට නියෝග කළේය. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින්ට එරෙහිව විදේශගත වීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බවත් ඔවුන්ට ඉදිරි දිනවල විදේශගත වීමට අවශ්‍යතාවයක් මතු වුවහොත් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව විනිසුරුවරයා හමුවේ දැනුම්දී සිටියහ. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා යම් විත්තිකරුවකුට විදේශගත වීමට අවශ්‍ය වුවහොත් ඒ බව මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැන්වත් කර විදේශගත වීමට හැකියාවක් තිබෙන බවද පෙන්වා දුන්නේය. ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල්රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු හය දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක , ඉරේශා ද සිල්වා සහ ගවර්ස් කෝපරේට් සමාගම නම් කර තිබේ. මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කරනු ලැබ සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා මේ වන විට අධිකරණය මග හැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යාමටද මහාධිකරණය විසින් තීරණය කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..