brand logo

නාමල් දුන් හඬ පට නාලකගේ කට හඬ සමඟ ගැලපෙයි

23 October 2018

රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124 න් 123 ක ඔවුන්ගේ කටහඬ ඇතුළත් බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා තොරතුරු අනාවරණය කළේය. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ සිදු කළ දුරකතන සංවාදයක් උපුටා දක්වමින්ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කළ අතර අදාළ දුරකතන සංවාදය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාගේ කටහඬ සාම්පල් ලබා ගැනීමට ද පියවර ගත්තේය. රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව මඟින් කටහඩ සාම්ල ලබාගත අතර ඒවා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය. ඒ අනුව හඬපටවල ඇතැම් කොටස් විනාශ වී ඇත්දැයි සෙවීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබීය. මෙරට පවතින තාක්ෂණ ක්‍රමවේද ප්‍රමාණයත් නොවීම හේතුවෙන් මෙම පියවර ගෙ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා දැනුවත් කර ඇති අතර ඔහු සමඟ සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගනු ලැබීය. කෙසේ වෙතත් හඬ පට 124 න් 123ක් නාලක ද සිල්වාගේ හා නාමල් කුමාරගේ බවට අනාවරණය වු බව අද(23) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත දැනුම් දී තිබේ. මීට අමතරව නාලක ද සිල්වා විසින් භාවිතා කරන ලද නිල ලැප්ටොප් පරිගණකයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ෆේස් ගිණුමක් සම්බන්ධයෙන්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අද දිනයේ දී ඒ සම්බන්ධයෙන් වු ලැප්ටොප් පරිගණකය රසපරීක්ෂක වෙත යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. මේ අතර, නාමල් කුමාර විසින් බාර දුන් සීඩී පට දෙකක් රසපරීක්ෂක වෙත යොමු කර ඇති බවත් එහි වාර්තාවක් අධිකරණය වෙත යොමු කරන ලෙසත් දැනුම් දී තිබේ. නාලක ද සිල්වා විසින් දුරකථනයක් හා එයට අදාළව සීඩී තැටියක් ප්‍රශ්න කිරීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් අද සිව්වෙනි දිනටත් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන අතර, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නීතිමය කටයුතු සිදු කරන බව ද අධිකරණය දන්වා තිබේ. ඒ අනුව රැඳවුම් නියෝග මත දිගටම ප්‍රශ්න කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් සඳහන් වෙයි.
 

More News..