brand logo

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම 12 වනදා

10 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම අද (10) දින කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ සිදුවිය. එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින ජොවෙල් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ සභාපති ඒ.එල්. සෙල්වනායගම් මහතා විසින් සාක්ෂි ලබා දුන්නේය. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකරු 2013 වසරේ දිනයක තමන්ට නාමල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවක එම වකවානුවේ පැවැති චෝගම් සම්මන්ත්‍රණයේ කටයුතු වලට සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ කටයුතු වලට රුපියල් මිලියන 50 ක මුදලක් ලබා දෙන ලෙස ඒ මහතා තමා ගෙන් ඉල්ලීමක් කළ බව විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේය. "දිනක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මට හමුවුණා. මා ඔහුව හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හඳුනනවා. එහෙත් මට ඔහු සමග පෞද්ගලිකව හිතවත්කමක් තිබුණේ නැහැ. එසේ හමු වූ අවස්ථාවේදී ඒ කාලයේ තිබුණු චෝගම් වලට සහ තරුණ කටයුතු වලට රුපියල් මිලියන 50ක මුදලක් ලබා දෙන ලෙස නාමල් රාජපක්ෂ මහතා මගෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම කරලා දින කිහිපයකට පසුව නාමල් රාජපක්ෂ මහතා දුරකථනයෙන් කතා කර මගෙන් එම මුදල් ඉල්ලුවා. ඒ අනුව රුපියල් මිලියන 30ක චෙක්පතක් මම ගවර්ස් කෝපරේට් සමාගමට ගිහින් දුන්නා. මේ මුදල මම දුන්නේ හිතේ අමාරුවකින් තමයි. මොකද මම මහන්සිවෙලා හම්බකරපු බදු ගෙව්වට පස්සෙ ලැබුණු මුදල් තමයි මේවා" යනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය. ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය. විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- ඔබගේ ව්‍යාපාරයෙන් වසරකට කොපමණ පිරිවැටුමක් ලැබෙනවද? සාක්ෂිකරු - ස්වාමීනි, වසරකට බිලියන 2 ක් දෙක හමාරක් පමණ. විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- ඔබගේ සමාගමේ කටයුතු විගණනය කරනවද? සාක්ෂිකරු - ඔව්, ස්වාමීනි, විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- ඔබගේ සමාගමේ විගණන කටයුතු සිදුකරන විගනණ සමාගම කුමක්ද? සාක්ෂිකරු - ඒ ගැන කියන්න මම දන්නේ නෑ ස්වාමීනී, විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- තමුන් ඔය සමාගමේ සභාපති බව කිව්වා. එහෙත් සමාගමේ විගණන කටයුතු කරන ආයතනය දන්නේ නැහැ? සාක්ෂිකරු - ස්වාමීනි, ඒක ගිණුම් අංශයෙන් තමයි අහන්න ඕන. විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- තමුන්ට විත්තිකාර නාමල් රාජපක්ෂ සමඟ හිතවත්කමක් තිබෙනවාද? සාක්ෂිකරු - එහෙම හිතවත් කමක් නෑ ස්වාමීනි. උත්සව කීපයක දැක තිබෙනවා. විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා බේ විත්තිකරු තමුන්ගෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ඉල්ලූ බව තමන් මූලික සාක්කිවලින් ප්‍රකාශ කළා. ඒ කුමන ස්ථානයේදී ද ඉල්ලුවේ. සාක්ෂිකරු - මට මේ වෙලාවේ මතක නෑ ස්වාමීනි, විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- එම මුදල් ඉල්ලපු අවස්ථාවේ ලඟ කවුද හිටියේ. සාක්ෂිකරු - කවුරුත් හිටියේ නෑ ස්වාමීනි, විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- රුපියල් මිලියන 30ක මුදලක් විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට ඔප්පු කිරීමට තමුන් ළඟ ලේඛන මොනවා හෝ තිබෙනවා ද? සාක්ෂිකරු -නැත. ස්වාමීනි, විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- මෙම මුදල් ලබාදුන් බව ඔප්පු කරන්න පුළුවන් වෙනත් සාක්ෂියක් ඔබ ලග තිබෙනවාද? සාක්ෂිකරු - නැහැ, ස්වාමීනි, විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - මම තමුන්ට යෝජනා කරනවා විත්තිකාර නාමල් රාජපක්ෂ තමුන්ගෙන් රුපියල් මිලියන 50ක මුදලක් ඉල්ලූ බව කියන කතාවත් තමුන් ඔහුට රුපියල් මිලියන 30ක චෙක්පතක් දුන් බව කියන කතාවත් අමූලික බොරු කියලා ? සාක්ෂිකරු - නැහැ, ස්වාමීනි, මම ඒ චෙක්පත දුන්නා. විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- තමුන් එෆ්. සී.අයි.ඩී යට කටඋත්තර කීයක් දීලා තිබෙනවාද? සාක්ෂිකරු - කටඋත්තර දෙකක් දුන්නා ස්වාමිනි, විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - ඔබ දුන් මුල් කටඋත්තරයේ ඔබ සඳහන් කරල තිබෙනවා මෙම රුපියල් මිලියන 30 ක මුදල ඔබ ලබා දුන්නේ ඔබගේ කලින් බිරිඳ ගේ පියාට කියලා. සාක්ෂිකරු - එහෙම කියලා තියෙනවා තමයි ස්වාමිනි, එහෙත් මම ඒක මගේ දෙවැනි කටඋත්තරයේ නිවැරදි කළා. විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- ඒ කියන්නේ එම කටඋත්තරයේ ඔබ බොරුවක් සඳහන් කළා කියන එක නේද? සාක්ෂිකරු - නැහැ, ස්වාමීනි දෙවන කටඋත්තරයේ මං ඒක හරියට කියලා තියෙනවා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම හෙට (12) දිනට කල් තැබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ගවර්ස් කෝපරේට් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම ,ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක යන අය නම්කර සිටිති. මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..