brand logo

නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

27 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන් ආර්. කන්සල්ටන්සි නැමති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැක කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනකු වෙත අධිකරණය විසින් පණවා තිබූ විදේශ ගමන් තහනම ජූලි මස 23 වන දා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(27) නියෝග කළාය. නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඉකුත් නඩු දිනවලදී විධිමත්ව නොකඩවා අධිකරණය හමුවේ පෙනී සිට ඇති හෙයින් එම කරුණ සැලකිල්ලට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණය මගින් පණවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව මීළඟ නඩු දිනය තෙක් ඉවත් කිරීමට නියෝග කරන බවද මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී සඳහන් කරන ලදී. මෙම පැමිණිල්ල ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතරදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා නඩු ගොනු සියල්ල නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙන බව සඳහන් කළහ. එහෙත් මෙම පැමිණිල්ලේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියහ. ඒ අනුව පැමිණිල්ල නැවත ජුලි මස 23 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළාය. ඊට අමතරව මෙම කරුණ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යොමු කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කරන ලදී. මෙහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු විත්තිකරුවන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වෙත පණවා තිබෙන විදෙස් ගමන් තහනම මීළඟ නඩු දිනය දක්වා තාවකාලික ලෙස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ. එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් සෑම නඩු දිනයකම නොකඩවා විධිමත්ව අධිකරණයේ පෙනී සිට ඇති හෙයින් දැනට ඔවුන් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස නියම කළාය. එම නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමුකර ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.   (අධිකරණ වාර්තාකරු)
 

More News..