brand logo

නාමල්ගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 9 වනදා

12 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් රජය සමයේ ගොනු කරනු ලැබූ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි මස 09 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (12) නියෝග කළේය. මෙම නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකරුවන් දෙදෙනෙකු ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ජුලි මස 09 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය. එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉදිරි දිනවල විදේශ ගත වීමට සූදානම් වන බව දන්වා සිටියේය. තම සේවාදායකයාට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා නොමැති බවත් අධිකරණයේ දැනගැනීම පිණිස මෙම කරුණ ඉදිරිපත් කරන බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ගවර්ස් කෝපරේට් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම ,ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක යන අය නම්කර සිටිති. මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..