brand logo

නාඳුනන තුවක්කුකරුවා සමඟ යන ආණ්ඩුව

12 January 2019

‘‘එක පොහොයෙන් ගෙදර යවන ක්‍රම ඇතුළත් විශේෂ දේශපාලන පන්ති, මෙහෙයවීම රනිල් සර්, ග්‍රාමසේවක නිලධාරීන්ට නිවෙස්වලට පැමිණ නොමිලේ උගනුවනු ලැබේ.’’ මෙසේ ලියා තිබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරේ පස්වැනි වරටත් වැඩ භාරගත් දිනයේ මුහුණු පොතේ පිටුවකය. සැබැවින්ම එය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ උදාන වාක්‍යය උපහාසාත්මක ලෙස ප්‍රකාශ කිරීමක් සේ ගත්තාට කුමන වරදද? සැබැවින්ම ඇද වැටී පණ අදිමින් සිටි එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහගේ මේ ජයග්‍රහණයත් සමග අළු ගසා බසා දමා නැගිට්ට බව රටටම පෙනුණි. මහා පිට්ටනිවලට සෙනග ගෙන්වීම අසීරු නිසා ශාලාවල රැස්වීම් සම්මන්ත්‍රණ පවත්වමින් සිටි එක්සත් ජාතික පක්ෂයට බය නැතිව තම පාක්ෂිකයන්ව ගොල්ෆේස් ඇතුළු විවෘත පිට්ටනිවලට කැඳවන්නට පුළුවන්කම ඇති විණි. ඊට සමානුපාතිකව පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ ධෛර්යය උනන්දුව බිඳ වැටෙන්නට විය. ඔක්තෝබර් 26 වැනි දා මහින්ද වෙනුවෙන් උෙද්‍යා්ගයෙන් රතිඤ්ඤා පත්තු කළ ජනතාවම නොවැම්බර් අවසාන සතිය වන විට මෙසේ කීහ. ‘‘මේ කර ගන්නේ ගොංකමක්’’ පාර්ලිමේන්තුවේ 113ක් නැතිකමද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නීත්‍යනුකූල බලයක් ජනාධිපතිට නැතැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවද මහින්ද, සිරිසේන ඇතුළු පාර්ශ්වවල මහා පසුබෑමකට හේතුව බව පෙනිණි. පාර්ලිමේන්තුවේ 113 මන්ත්‍රී සංඛ්‍යාව පෙන්වීම තුළ මත ජයග්‍රහණයේ ධජය බැඳිණි. එහෙත් ඒ විජයග්‍රහණයේ ධජය බැඳීමට ගත් ලණුවෙන්ම ආණ්ඩුවේ ගෙලට තොණ්ඩුවක් නිර්මාණය වී ඇති බව පෙනෙයි. මේ විජයග්‍රහණය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා කළ කී දෑ ද දුන් පොරොන්දු ද මොනවාදැයි තේරුම් ගත හැක්කේ වර්තමානයේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලන කියන කරන දේ වලිනි. රවී කරුණානායකටත් ලොකු පොරොන්දු බලාපොරොත්තු වශයෙන් දී ඇති බව ඔහු අරුණට දුන් සම්මුඛ සාකච්ඡාවෙන් පෙනේ. ‘‘කුස්සියට දාන්න ඕනෑ කෝකියෙක් මිසක් මෝස්තර කාරයෙක් නොවෙයි. ඒ නිසා මුදල් ඇමැතිකමට ඒ ගැන දන්න කෙනෙක් දැමීමේ වාසිය රටටයි. කියන දේ නොකරන කෙනෙක් නායකයෙක් වෙන්නේ නෑ.’’ සාමූහික වගකීමෙන් බැඳුණු කැබිනට් අමාත්‍යවරයකු මෙසේ කීමෙන් දැනෙන්නේ ඇතුළු ගෙයි තිබෙන ආරවුලය. එසේම පාර්ලිමේන්තුවේ 113 හදා ගැනීමට දුන් පොරොන්දුය. පසුගිය දා සිදු වූ ආණ්ඩු පෙරළියේ හැරවුම් ලක්ෂ්‍යය වූ පාලිත රංගෙ බණ්ඩාරගේ බලාපොරොත්තුද සුළු පටු නොවේ. ඉන් නොනැවතුණ ඩබ්. විජේසිරි මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට අමාත්‍ය තනතුරු බලාපොරොත්තු ඇත්තේ එකසිය දහතුන හදා ගැනීමේ යුගයේය. මේ ආකාරයට තවත් නාඳුනන තුවක්කුකරුවන් කී දෙනෙක් 113 හදා ගැනීමේ කාර්යය නිසා ආණ්ඩුව ඇතුළෙන් බිහිව ඇද්ද? රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ඉදිරියට යන්නට සිදුව ඇත්තේ මේ පිරිසත් සමගය. අයවැය සම්මත කිරීම ඇතුළු තීරණාත්මක දෑ ඉදිරියට ඇත. ඒ හැම තැනකදීම ආණ්ඩුවට පහසු නොවෙන්නේ අත උස්සන්න පණ තියෙන හැම කෙනෙක්ම ආණ්ඩුවෙන් දුන් පොරොන්දු ඉටු කර තම අත ඔසවා ගන්නැයි මතක් කරන නිසාය. ඊළඟට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලපෑමය. ආයතනයකට ලේකම්වරයකු බලධාරියකු සභාපතිවරයකු පත් කළත් ඔහු තරහටම හරහට සිටින බව පසුගිය වකවානුවේ ඔප්පු කර ඇත්තේය. ඊළඟට මේ ආණ්ඩුවේ 113 හදා ගැනීමට තදින් බලපෑවේ දෙමළ සන්ධානයය.. මතක් කළහොත් රනිල් අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වී පැමිණ ජනතාව අමතා ගෝල්ෆේස් පිටියේ කළ පළමු කතාවේදීම තමන්ට ඉදිරියේ කරන්නට වෙන දේ ගැන ඉඟි කළේය. අපි ඒකීය ලංකාවක දේශපාලන විසඳුමක් දෙනවා යයි එදා කීවේ සියයට සියයක්ම සිටින සිංහල ජනතාවකටය. ඡන්ද 113 වෙනුවෙන් දෙමළ සන්ධානයට දුන් පොරොන්දු ඉටු කරන්නට දැන් රනිල් වික්‍රමසිංහට සිදුව ඇත. දකුණේ බහුතර සිංහල ජනතාව මේ මොහොතේ කිසිසේත් ඉල්ලන්නේ නැති පක්ෂයටවත් ඕනෑ නැති දෙයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ ඒ වෙනුවෙනි. ඇමැතිකම් දීම සේම මේ පියවර ආණ්ඩු විරෝධී බලවේග ඒකරාශී කරන්නට හේතුවක් වී ඇත්තේය. දැනටමත් අස්ගිරියේ අනුනාහිමි තම විරෝධය පළ කර ඇති අතර සියලු බෞද්ධ සංවිධාන එක පිලකට ඒමට සූදානම්ය. ආණ්ඩුවේම ඉන්නා ඇතැම් පාර්ශ්වද මේ ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ වීමට සූදානම් නොවනු ඇත. ඒ නිසා දැන් අර්බුදය තිබෙන්නේ ඉන්නා 113 නැති තැනැත්තා ළඟ නොව 113ක් පෙන්වූ තැනැත්තා ළඟය.
 

More News..