brand logo

නාඩගම්කාරයන්ට හසු වූ මන්දෝදරී

08 February 2021

‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයෙහි ජානු ලෙස රඟපෑ සුරූපිනිය ඇයයි. රංගනයට කෝඩුකාරියක වූ මධුෂානි මේ වන විටත් ඔබේ හදවතෙහි කොටස්කාරියක වී ඇතැයි පැවසුවොත් අසත්‍යයක් නොවෙයි. ඉතා අවිහිංසක පෙනුමකට හිමිකාරියක් වී පුංචි තිරයේ දඟකාර චරිතයක් රඟන මෙම යුවතිය ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රයේ අහිංසක පෙම්වතී චරිතයට අපුරු සොයාගැනීමක් ලෙසද හැඳින්විය හැකිය. මධුෂානිගේ පළමු රංගනය මොකක්ද? මගේ පළමු නිර්මාණය ‘රාවණ’. රාවණ ටෙලි නාටයයේ මන්දෝදරී බිසවගේ චරිතය තමයි රංගනයේ පළමු පාඩම. ඒ අවස්ථාව මට ලැබුණේ පරීක්ෂණ කිහිපයකටම ඉදිරිපත් වුණාට පසුව අවසාන මොහොතේයි. හා හා පුරා කියල රංගනයට ඇවිත් මන්දෝදරී බිසව වැනි ඓතිහාසික චරිතයක් ලැබුණාම දැනුණ හැඟීම කුමක්ද? ඒක මට ලොකු අභියෝගයක් වුණා. නමුත් මම හිතනව මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. මන්දෝදරී බිසවට හොඳ ප්‍රතිචාර ලැබුණා. තවම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය පටන් ගත්තා විතරයිනේ. මට තවමත් ප්‍රතිචාර ලැබෙන්නේ මන්දෝදරී චරිතයට. මේ වෙද්දි රාවණ 3 වැනි කතාමාලාවේ රංගනයට සූදානම් වෙනවා. නාඩගම්කාරයෝහි ජානු ගැන මධුෂානිට තියෙන අදහස කුමක්ද? රාවණ ටෙලි නාට්‍යයෙන් පස්සේ මට ලැබුණ චරිතය තමයි නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ජානුගේ චරිතය. ඒක මන්දෝදරී චරිතයටත් වඩා අමාරු චරිතයක්. ජානු කියන්නේ ගැමි පරිසරයක ඉපදිලා, හැදිලා සම්ප්‍රදාය බිඳගෙන යන්න හදන යුවතියක්. ඇගේ අරමුණ නිළියක් වීමයි. ජානු බොහොම හිතුවක්කාර විදිහට තමන්ගේ අරමුණ ජයගන්න උත්සාහ කරන්නියක්. මධුෂානිත් ජානු වගේම නිළියක් වෙන අරමුණ හොයාගෙන ආපු කෙනෙක්ද? ඉස්කොලේ යන කාලේ නිළියක් වෙනවා කියල මට ලොකු අදහසක් තිබුණෙ නැහැ. නිළියක් වෙන්න කියලා මම ලොකුවට ඒ අරමුණ මතම හිටිය කෙනෙකුත් නෙවෙයි. ජානු මට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති මට මේ චරිතය ලොකු අභියෝගයක් විදිහට දැනුණේ. මධුෂානිගේ ඉදිරි සැලසුම් මොනවද? දැන් නම් රංගනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. මේ වෙද්දි තවත් ටෙලි නාට්‍යවලට ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ අතරම නිරූපණ කටයුතුත් කරනවා. මධුෂානිගේ ජීවන තතු මොනවද? අපි පදිංචි වෙලා ඉන්නේ කොට්ටාවේ, පැලැන්වත්තේ. අපේ පවුලේ කවුරුත්ම කලාවට සම්බන්ධ නැහැ. තාත්තා නාවිකයෙක් විදිහට රැකියාව කරලා දැන් විශ්‍රාම අරන් ඉන්නේ. අම්මා ගෘහණියක්. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, අයියයි. මම අධ්‍යාපනය ලැබුවේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන්. භාෂා විෂයයන් තමයි උසස් පෙළට හැදෑරුවේ. මම රංගනයට එනවට ගෙදරින් මුලින් නම් කැමැත්තක් තිබුණේ නැහැ. විශේෂයෙන් තාත්තා තමයි අකැමැති වුණේ. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. අම්මයි, තාත්තයි, අයියයි තුන්දෙනාම උදව් කරනවා. විවේචනවලට වඩා අගය කිරීම් තමයි ගෙදරින් ලැබෙන්නේ. ඕනම චරිතයක් කරන්න පුළුවන් කියල හැඟෙනවද? ඔව්, මම කැමතියි වෙනස් චරිත, මට අභියෝගයක් වෙන චරිත කරන්න. ඒත් ඉතින් යුවතියක් විදිහට මම කරන දේවල් ගැන මම හදාගත්ත සීමාවක් තියෙනවා. ඒ සීමාවල් ගැනත් හිතලා වඩාත් සාර්ථක නිළියක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. රංගන ක්ෂේත්‍රය කියන්නෙ කටකතා කැපිලි කෙටිලි කටකතා වැඩි තැනක්ද? මට තවම එහෙම අසුන්දර අත්දැකීම් නැහැ. දැනට නම් මට රංගනය සුන්දර තැනක්. කොච්චර හොඳට හිටියත් කටකතා හැදෙනවා, ඒවා නවත්වන්න බැහැ. මධුෂානි කියන්නේ මොන වගේ කෙනෙක්ද? මම ගොඩක්ම අහිංසකත් නැහැ, ගොඩක් නපුරුත් නැහැ. මධ්‍යස්ථ විදිහට ඉන්න කෙනෙක්. මධුෂානි පෙම්වතියක්ද? නැහැ, මම පෙම්වතියක් නෙවෙයි. අනාගතයේ මධුෂානිට හමුවෙන පෙම්වතා රඟපාන්න එපා කිව්වොත්... ඒ ගැන තවම මොනවත්ම හිතලා නැහැ. අනාගතය කොහොම වෙයිද කියන්න බැහැ. ඒත් ඉතින් කවදාහරි මම ආදරය කරන කෙනාගෙන් එහෙම ඉල්ලීමක් ආවොත් ඒකට සාධාරණ හේතු තියෙනවා නම් කතාබහ කරලා නිවැරදි තීරණයක් ගන්නවා. ධම්මිකා සුරංජි පතිරණ ඡායාරූපය - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..