brand logo

නළුවෙක් වෙන්න කලින් ගායකයෙක්

14 July 2020

නළුවෙක් වෙන්න කලින් ගායකයෙක් ජීවත් වෙන්න ආසාවක් තියෙන්නේ මේ කලාව නිසා පොඩි අයියා කිව්වේ කලාව හරියන්නේ නැහැ ඉගෙන ඉන්න කියලා චන්ද්‍රසෝම බිංදුහේවා උපන් ගමනේ ලද ආභාසය එකතු කරන් පාසල් වේදිකාවෙන් ලද පන්නරයත් එක්ක වේදිකාවට පැමිණ, ඉන් පසු සිනමාව මෙන්ම පුංචි තිරය හරහා අපට සමීප වන චන්ද්‍රසෝම බිංදුහේවා මහතාගේ ආ ගමන් මගයි අද පිනිපලස පළමු පියවර තුළින් ඔබට සමීප කරන්නේ. මම උපන්නේ අම්බලන්ගොඩ. ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ. මගේ තාත්තගේ නම හේවා හෙන්රි ද සිල්වා. අම්මගේ නම කැත්ලින් කොඩිකාර. මගේ පවුලේ මමත් එක්ක හත් දෙනෙක් හිටියා සහෝදරියෝ පස් දෙනෙක්. මම තමා හත් වෙනියා. අපේ ගමේ උන්නා කෝලම් නැටුම් උගන්වන ගුරුවරයෙක් සහ ඉතා පෞරාණික කෝලම් නැටුම් කණ්ඩායමක්. වෙස් මුහුණු එහෙම හදන රුක්කාවඩු පරම්පරාව කියලා. මමත් ඒකට ගිහින් නැටුම් ඉගෙන ගත්තා. වෙස් මුහුණු කපන්න ඉගෙන ගත්තා. ඒ වගේම අම්බලන්ගොඩ ප්‍රසිද්ධ දීපානි ගුරුන්නාන්සේ ළඟත් ලී කැටයම් කලාව සහ වෙස් මුහුණු කලාව ඉගෙන ගත්තා. පාසල් කාලේ ගැන මතක් කරනවා සඳුදා උදේට තියෙනවනේ පාසල් රැස්වීම. ඔතැනදි මම පාසල් ගීය සහ වෙනයම් ගීත ගායනා කරනවා. දැන් බොහෝ දෙනා මාව රංගනයෙන් දැන ගත්තට මම පාසල් කාලේ දන්නේ ගායනය පැත්තෙන්. එතකොට බන්දුල විතානගේ හිටියෙත් අපේ පාසලේ. ඔහු කළා සුදෝ සුදු කියලා නාට්‍යයක්. ඒ නාට්‍යයෙ පසුබිම් ගායනයට මම එක් වුණා. ඒ එක්කම ගමේ සිදු වුණු බොහෝ කටයුතු වලට මම සම්බන්ධ වුණා. නිමල් ගොඩගේ කියලා කෙනෙක් කළා ඇතෙක් බරට කියලා නාට්‍යයක්. ඒ නාට්‍යයේ පොතේ ගුරාගේ චරිතය කළා. ඊට පස්සේ පද්ම සීලන් සිල්වා කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා ඇවිල්ලා අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලයෙ ගුරුවරයෙක් විදියට කටයුතු කරන කොට නාට්‍යක් කළා රට භාරයි නුඹට පුතේ කියලා. මම නාට්‍යයට සංගීතය සැපෙව්වා. ඉතින් මට ඔහු එහි ප්‍රධාන චරිතය දුන්නා.ඒ හරහා තමා මම දෙබස් කියලා නාට්‍යයක රඟපාන්න පටන් ගත්තේ. ඊට පස්සේ කොළඹට ඇවිල්ලා දිගටම නාට්‍ය වලට සම්බන්ධ වුණා. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කැටයම් උපදේශකවරයෙක් විදියට තමා මම වැඩ කළේ. ඒ කාලය තුළ මට ශිෂ්‍යත්ව පවා ලැබුණා. මට හය මාසයක විශේෂ පුහුණුවක් ලැබුණා ලී කැටයම් ගැන ඉන්දුනීසියාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන පදනමෙන්. ඊට පස්සේ ඉතාලියට ජර්මනියට යන්න ලැබුණා වයලින් සංගීත භාණ්ඩ හදන එක ගැන ඉගෙන ගන්න. ඒ දේවල් මෙහෙ දරුවන්ට ලබා දෙන වැඩපිළිවෙළක් කළා. පහුකාලීනව ඒ දේවල් වැහිලා ගියා. හැබැයි අදටත් මගෙන් ඉගෙන ගත්ත ළමයි කිහිපදෙනෙක් ඒ වයලීන් හදන වැඩ කරගෙන යනවා. මගේ රංගන ජීවිතේ මම මුලින්ම රඟපෑ ටෙලි නිර්මාණය වෙන්නේ නාලන් මෙන්ඩිස් මහතාගේ සඳලුතලේ කියන නාට්‍යයට. ඒ වගේම මගේ රංගන ජීවිතේ විශේෂ චරිතයක් තමා නාලන් මෙන්ඩිස් මහතාගේ දූ දරුවෝ නාටක මාලාවේ මම කරපු භද්‍රපාලගේ චරිතය. ඒ චරිතය පවුලකට ගැලපෙන්නේ නැති එක එක අයගෙන් සල්ලි ඉල්ලගෙන බොන චරිතයක්. ඒ චරිතය දෙද්දීත් නාලන් මට කිව්වේ බිංදු මේ චරිතය කරලා නම් පාරේ යන්න බැරි වෙයි කියලා. හැබැයි ඉතින් මම කැමති විවිධ විවිධ චරිත කරන්න. සිනමාව ගත්තම මම මුලින්ම සම්බන්ධ වුණේ අසෝක හඳගම මහතාගේ චන්න කින්නරී කියන චිත්‍රපටයට. මෙතෙක් ඉතින් චිත්‍රපට 10ක විතර රඟපාලා තියෙනවා. ටෙලි නිර්මාණ ප්‍රමාණය නම් ගැනලා නැහැ. වේදිකාවේ නම් මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යවල සිංහබාහු එකේ යුව රජුගේ චරිතය කළා. දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවතේ ගජමන් නෝනගේ සැමියාගේ චරිතය කළා. කේ. බී. හේරත්ගේ දෝන කතිරිනා නාට්‍යය ඇතුළු කිහිපයකම හිටියා. සුනිල් චන්ද්‍රසිරිගේ දොන් ජුවාන් සහ බුද්ධික දමයන්තගේ සින්දු කිරිල්ලි. මම හිතන්නේ ජීවත් වෙන්න ආසාවක් ඇතිව තියෙන්නේ මේ කලාව නිසා. වයසට යනවා කියලා වත් දැනෙන්නේ නැහැ, දිනෙන් දින අපි යාවත්කාලීන වෙනවා. මම මගේ සම වයසේ අය පමණක් නෙවෙයි ඕනෙම වයස් කාණ්ඩයක කෙනෙක් එක්ක මම කතා බහ කරනවා. මොකද තරුණ පරපුරෙන් මම දෙයක් ඉගෙන ගන්නවා වගේම ඒ අයත් මාව ඇසුරු කිරීමෙන් දෙයක් ඉගෙන ගන්නවා. එකනේ ඉතින් වෙන්න ඕනේ. එහෙම මම ළඟින්ම ඇසුරු කරන නව පරපුරේ කෙනෙක් තමයි මාලක දේවප්‍රිය. මට දියණියන් තුන්දෙනෙක් ඉන්නේ. ඒ අයටත් හොඳට කලා හැකියාවන් තියෙනවා. ගීත ගායනා කරන්න පුළුවන්. මම ඉතින් බල කරන්නේ නැහැ. මම වුණත් මේ ගමන ආවේ තනියම. මට ඉස්සර මට පොඩි අයියා කිව්වේ ඔය කලාව හරියන්නේ නැහැ ඉගෙන ඉන්න කියලා. ඒත් මගේ ඇඟේ තිබ්බේ කලාව. ඉස්සර පාසලේ ගුරුතුමා පාඩම් උගන්වද්දී මම චිත්‍ර ඇඳපු අවස්ථා තියෙනවා. මගේ ආදරණීය බිරිඳ මට හමුවෙන්නෙත් පාසලෙන්. ඇයගේ නම ඩිරානි කාන්ති. මීට වසර තුනකට කලින් පිළිකා රෝගයක් හේතුවෙන් මිය ගියා. මට වඩා පන්ති තුන හතරකට බාලයි. ඇය මුණගැහෙන්නේ අපි පාසලේදී කරපු නාට්‍යයකදී. මම එකේ සංගීත කටයුතු කළා. ඇයත් හිටියා නැටුම් සහ ගායක කණ්ඩායමේ. එතනදී තමා ඇයව තෝරා ගත්තේ. මැරෙනතුරාම අපි ආදරෙන් එකට හිටියා. දැන් පොඩි තනිකමක් පාළුවක් දැනෙනවා. ඒත් ඉතින් මේ තමා ජීවිතේ. අනුෂා රණසිංහ
 

More News..