brand logo

නව රියැදුරු බලපත්‍රයක් හඳුන්වා දීමේදී රුපියල් කෝටි 400ක පාඩුවක්

26 December 2019

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව රියැදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා භාර දුන් සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කර එම සමාගම ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම අත්හිටුවීම සඳහා එය අසාදු ලේඛනගත කිරීමටත්, කාරණයට වගකිව යුතු නිලධාරින් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව පියවර ගැනීමටත් පියවර ගන්නා බව ප්‍රවාහන සේවා, විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර පවසයි. නව රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී රජයට සිදුවූ කෝටි 400 ක පාඩුව පිළිබඳව සොයා බැලීමට ඇමතිවරයා විසින් ස්වාධීන කොමිසමක් පත් කිරීමටද තීරණය කර ඇත. එම දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක් ඇමැතිවරයා සමග පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී එම නිලධාරින් විසින් ප්‍රකාශ කළේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්, ගිවිසුම නිසා රජයට සිදුවී ඇති පාඩුව මුළුමනින්ම මහජනතාවගේ ඇඟේ ගසා ඇති බවය. මීට අදාළ වගකිව යුතු නිලධාරින්ගෙන් කරුණු විමසීමක්ද සිදු කළ අතර කිසියම් මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව මෙන්ම ප්‍රමාදයන් ද සිදුවී ඇති බව එම නිලධාරීහු එහිදී පිළිගත්හ. ඔවුන් පවසන්නේ රටට අහිමි ව ඇති මුදල් රු. කෝටි 175ක් බවයි. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා වන පරිගණක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාළව පුද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දී තිබිණි. දැනට විගණන වාර්තා විසින් පෙන්වා දී ඇති කාරණා අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා වූ කාලයක් සඳහා සැපයුම්කාර සමාගමට රුපියල් මිලියන 7467.65ක් ගෙවා ඇති බවත්, ගිවිසුම අවසන් වූ පසු 2016. මාර්තු මස සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා තවත් රුපියල් මිලියන 1856.65ක් ගෙවා ඇති බවත් සඳහන් කර ඇත. කෙසේ වුවද රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා වන පරිගණක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට දෙපාර්තමේන්තුව විසින් ගෙවා ඇති සමස්ත මුදල රුපියල් මිලියන 5,610,749,042කි. එහෙත් නව රියැදුරු බලපත්‍රය හඳුන්වාදීමේ දී මේ රට තුළ කිසිදු ප්‍රයෝජනයක් නැති ඉලෙක්ට්‍රොනික චිපයක් එයට ඇතුළත් කර ඇති නමුත් එම චිපයෙන් ප්‍රයෝජනයක් ගත හැකි උපාංග කිසිවක් රථවාහන පොලිසියට හෝ හඳුන්වා දී නොමැත. එමෙන්ම රුපියල් 300කට ගත හැති බලපත්‍රයකට මහජනතාවට රු. 1300ක් වැනි වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති අතර ඉන් දෙපාර්තමේන්තුවට නොව අදාළ සමාගමට වාසි සැලසී ඇති බවත් හෙළිවිය. එමෙන්ම මෙරට සියලු වාහන පිළිබඳව දැක්වෙන ඉලෙක්ට්‍රෝනික චිපයේ ඇතුළත් තොරතුරු රථවාහන පොලිසිට හෝ ලබාදී නොදී පෞද්ගලික සමාගමකට ලබාදීම මෙරට ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවටද වාර්තා පසුගියදා පළව තිබුණි. මේ පිළිබඳව "අරුණ" ඇමති මහින්ද අමරවීරගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, මෙම සිද්ධියේදී ආරක්ෂාවට ප්‍රථම සිදුව ඇති වංචාව පිළිබඳව සෙවීමට මූලිකත්වය දී ඇති බවය. ශිරන්තනි මානවඩු
 

More News..