brand logo

නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන කවුරුවත් කලබල වෙන්න එපා

19 May 2020

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා කිසිම ආකාරයකින් ආණ්ඩුවේ මුදල් යෙදවීමක් සිදුවන්නේ නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ත් 40ත් අතර මුදලක් වැයවනු ඇතැයි පවසන සභාපතිවරයා එය වසර පහළොවකට යටත්ව ගනු ලබන බැංකු ණයක් මගින් ඉදිරිකරන බව වැඩිදුරටත් කියා සිටියේය. ‘මෙම ව්‍යාපෘතිය මීට වසර හතරකට පමණ පෙර ඉදිරිපත් කරපු එකක්. ඒත් ඩලස් අලහප්පෙරුම ක්‍රීඩා ඇමැතිතුමා තමයි මේකට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාදීලා ඉඩම ඉක්මනට ලෑස්තිකරලා දුන්නේ. අපි වසර පහලොවකින් ගෙවෙන විදිහට බැංකු ණයක් අරන් මේ ක්‍රීඩාංගණය ඉදිකරන්නේ. තවම ඉඩම අපිට පවරලා නැහැ. ඉඩම පවරපු ගමන් අපි බැංකු ණය අරන් ක්‍රීඩාංගණයේ වැඩ පටන් ගන්නවා’ යි යනුවෙන් ‘අරුණ’ කළ විමසීමකදී සභාපතිවරයා පැවසූවේය. රට තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක්ම තිබියදී මේ මොහොතේ ක්‍රීඩාංගණයක අවශ්‍යතාවක් තිබේදැයි සභාපතිවරයාගෙන් විමසීමේදී ‘කොහොමත් මේ ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු අවසන් වෙන්න තව අවුරුදු හතරක්වත් යනවා. 2023 දී සහ 2031 පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිවල සත්කාරකත්වය අපි ඉල්ලලා තියෙනවා. ඒ නිසා අපි සත්කාරකත්වය දරනවානම් අවම වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ දහයක්වත් තියෙන්න ඕනේ. පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට පවුම් බිලියනයක් ලාභ තිබුණා. අපිටත් ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වයක් දරන්න පුළුවන් වුණොත් ඩොලර් මිලියන සියයක (රුපියල් මිලියන 18,700ක) විතර ලාභයක් ලබන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ මැච් එකක් තිබ්බොත් හැමදාම ප්‍රේක්ෂකයෝ පන්දාහකට විතර ටිකට් නැතිව යනවා. අපි මේ හදන්න ඉන්න ක්‍රීඩාංගණයේ එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මේ ක්‍රීඩාංගණය ඉදිවෙන්නේ අධිවේගී මාර්ගයට ආසන්න ප්‍රදේශයක වීමත් ප්‍රේක්ෂයන්ට පහසුවක්’ යනුවෙන් අවධාරණය කළේය. ඉදි කිරීමට යෝජිත අදාළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන 60,000කින් සමන්විතය. එය ඉදි කිරීමේ පළමු අදියරේදී ආසන 40,000 කින් යුත් කොටස අවසන් කෙරෙන අතර දෙවැනි අදියරේදී ආසන 20,000 කින් යුත් කොටස අවසන් කිරීමට නියමිතය. එසේම වෛරස තත්ත්වය හමුවේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි ලෝකයේ ප්‍රබලතම ක්‍රිකට් ආයතනයන් මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමේ අවදානමක් පවතින බවට විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියද, තවත් වසර දෙකක් ගතවනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවැනි මූල්‍ය අර්බුදයක් හට නොගනු ඇතැයිද සභාපතිවරයා පවසයි. ‘වෛරස තත්ත්වය හමුවේ කල් තැබීමට ලක් වූ තරගාවලි නැවත පැවැත්වීම සම්බන්ධයෙන් එංගලන්තය සහ ඉන්දියාව ධනාත්මක උත්තර දීලා තියෙනවා. එංගලන්තය සහ ඉන්දියාව අතර තරගාවලියෙන් තමයි අපිට වැඩිම ආදායමක් එන්නේ. ඒ නිසා තරග විකාශන අයිතීන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ තත්ත්වය තව අවුරුදු දෙකක් තිබුණත් අපි ස්ථාවර මට්ටමේ ඉන්නවා’ යි යනුවෙන් සභාපතිවරයා පවසන ලදි. අයි.පී.එල්. හෝ එස්.එල්.පී.එල්. දෙකෙන් එකක් මේ වසරේ ලංකාවේදී මේ අතර දින නියමයකින් තොරව කල් තබන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ. යම් හෙයකින් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඒ සඳහා කැමැත්ත ලැබුණහොත්, ලබන අගෝස්තුවේ පැවැත්වීමට අපේක්ෂිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021 වසර දක්වා කල් තබා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වසරේ පැවැත්වීමට කටයුතු යොදන බවද ෂම්මි සිල්වා ප්‍රකාශකර සිටියේය. ගයාශාන් විතානආරච්චි  
 

More News..