brand logo

නව ජනාධිපති පත් වී මාස තුනෙන් මහ මැතිවරණයක්

12 October 2019

ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද එළැඹෙන වසරේ (2020) මාර්තු මාසයෙන් පසුව මහමැතිවරණයක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ජනාධිපතිවරයා බලයට පත් වී මාස තුනක් ඉක්මවා ගිය තැන නව ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් කැඳවිය හැකිය. මෙම තත්ත්වය මත ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට කල් දැමුණු 2020 අයවැය ලේඛනය මාර්තු මාසයෙන් පසුව ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ජනාධිපතිවරයා හා බලයට පත්වන ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට අයවැය ලේඛනය සකස් කර ගැනීම එහි අරමුණ වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරී පත්වී වසර හතරහමාරක් ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම බලය හිමි වී තිබේ. ඒ අනුව 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් වූ මෙම පාර්ලිමේන්තුවට වසර හතරහමාර සපිරෙන්නේ 2020 වර්ෂයේ මාර්තු මාසය වන විටය. එහෙයින් මෙම නොවැම්බර් 16 වැනිදාට පත්වන නව ජනාධිපතිවරයාට 2020 මාර්තු මාසයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවනු ඇත. චමින්ද සේනාරත්න
 

More News..