brand logo

නව ගුවන් හමුදාපති ලෙස සුමංගල ඩයස් පත්කිරීමේ තීරණයක්

28 May 2019

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති හෙට (29) දින විශ‍්‍රාම යාමට නියමිතය. නව ගුවන් හමුදාපතිවරයා ලෙස ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. කොළඹ නාලන්ද විදුහලේ ඉගෙනුම ලැබූ ඩයස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වන ශිෂ්‍ය භට බළකාය නියෝජනය කරමින් 1984 දෙසැම්බර් මස 13 වන දින ගුවන් හමුදාවට ඇතුළත් විය. ඉන් අනතුරුව සුමංගල ඩයස් මහතා මූලික හා උසස් ගුවන් යානා පුහුණුව සම්පූර්ණ කළ අතර, 1986 අගෝස්තු 15 දින ඔහු ගුවන් නියමු නිලධාරියෙකු ලෙස පොදු කාර්ය නියමු ඒකකයට පත් කරන ලදී. ඉන්දියාවේදි අණ හා මාණ්ඩලික පාඨමාලාවක් සම්පූර්ණ කිරීමෙන් පසුව වවුනියාව ගුවන් හමුදා කඳවුරේ සිට ක්‍රියායාත්මක වන අංක 6 බලඝණයන් ඔහුට පැවරුණි. ඉන් අනතුරුව 1996 වසරේ අධිකබර ප්‍රවාහන බලගනයට, එතැන් සිට අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලකායට, ඉන් අනතුරුව වින්ග් කමාන්ඩර් ලෙසට ඔහු උසස් කරන ලදී. 2005 වසරේදී හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙසටත්, 2008 වසරේදී ජ්‍යෙෂ්ඨ ගුවන් සම්බන්ධීකාරක ධූරයන්වලට උසස් කර තිබුණි. මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්බන්ධීකාරක නිලධාරියෙකු ලෙස භූමි මෙහෙයුම් සිටින 57 - 58 සහ 59 යුද හමුදා කොට්ඨාශ සමග කටයුතු කර තිබේ. 2009 වසරේ දෙසැම්බර් මස 05 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ අණදෙන නිලධාරියා ලෙසට පත් කෙරුණි. ඉන් අනතුරුව 2011 වසරේ ගුවන් කොමදෝරු තනතුරට සුමංගල ඩයස් මහතා උසස් කරන ලදී. 2013 වසරේදී ගුවන් මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස උසස් වීම් ලබන ඩයස් මහතා 2014දී ලැබූ උසස්වීමෙන් අනතුරුව 2016 ඔක්තෝබර් මස 1 වන දින ඔහු ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්විය.
 

More News..