brand logo

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12දෙනා යළි රිමාන්ඩ්

13 January 2020

කොළඹ විශ්වවිද්‍යාලය තුළ නවක වදය මුල්කරගෙන ඇතිවූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා හෙට (14) දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. ඉකුත්දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සැකකාර සිසුන් 12 දෙනා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව මහෙස්ත්‍රාත්වරියගේ නියෝග මත එම සැකකරුවන් 12 දෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරනු ලැබුණි. එම හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් අදාළ සැකකාර සිසුන් 12 දෙනා හඳුනාගත් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ අනාවරණය කර සිටියේය. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා විසින් නීතිඥ සහාය ලබා දෙන ලෙස නිතිපති දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව තමන් මෙම නඩුවට පෙනී සිටින බවයි.. අදාල විශ්වවිද්‍යාලයේ තුන්වන වසර නියෝජනය කරන මෙම සැකකරුවන් අයත් වන සිසුන් කණ්ඩායම නවක වදයට පක්ෂව ක්‍රියා කරන කණ්ඩායමක් බවත් පහරකෑමට ලක්වූ දෙවන වසරේ ශිෂ්‍ය කණ්ඩායම නවක වදයට විරුද්ධ ව ක්‍රියා කරන කණ්ඩායමක් වශයෙන් පොලිස් පරීක්ෂණවලදී හඳුනාගෙන ඇතැයි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ අනාවරණය කළේය. කොළඹ විශ්වවිද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කර ගැනීම ඉකුත් සිකුරාදා සිදුවූ බවත් එම අවස්ථාවේ සැකකරුවන් නවක සිසුන්ට නවක වදය ලබා දීමට උත්සාහ කිරීමේදී ගැටුමක් ඇති වූ බවත් එම ගැටුම සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් මෙම සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවද රජයේ නීතිඥවරයා කරුණු සැලකර සිටියේය. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ සැකකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවේ ශිෂ්‍යයාවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වූ බව සඳහන් කර සිටියහ. මෙම විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති නිසා සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් නොකොට ඔවුන් ඇප මත මුදා හරින ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 12 දෙනා හෙට (14) දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අද දින ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත නියෝග කරන ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..