brand logo

නලිම් නිසාලු සුනාමිය ලංකාවට ආවේ

29 December 2019

දෙදහස් හතරේ දෙසැම්බර් විසිහය වැනිදා සුනාමිය ආ මොහොතේ එය සුනාමිය බව රටුන් දැනගෙන සිටියේ නැත. එබැවින් මුහුදු රළ ගොඩට එන විට මුළු රටම එයට කීවේ ‘‘මුහුද ගොඩ ගලනවා’’ මිසක් සුනාමිය යනුවෙන් නොවේ. ඊට හේතුවූයේ මීට පසළොස් වසරකට පෙර රටුන් සුනාමිය යන වචනය කවදාවත් අසා තිබුණේ නැති බැවිනි. සුනාමිය යන වචනයට පසු කලක ‘‘උදම් රළ’’ යනුවෙන් සිංහල වචනයක් ආවේය. ‘‘සුනාමි’’ කියන්නේ ජපන් වචනයකි. එහි තේරුම ලොකු රැල්ලකි. සුනාමි යන වචනය මා ඇසුවේ ලංකාවට සුනාමිය එන්නට වසර එකහමාරකට පෙරදීය. මගේ මතකයේ හැටියට එකල මුළු ලංකාවේම සුනාමි යනුවෙන් නාම පුවරුවක් ගසා තිබුණේ නම් ඒ නැගෙනහිර වෙරළේය. දෙදහස් තුනේ අප්‍රේල් සිංහල අලුත් අවුරුදු සමයයි. එම කාලය මා ඥාති සහෝදරයන් කිහිපදෙනකු සමග ගත කළේ ආරුගම්බේ වෙරළේ කුඩා නැවතුම්පොළකය. මගේ ඥාති සහෝදරයකුගේ මිතුරකුට අයත් හෝටලයක්ද ඒ අසල විය. එම මිතුරා “නලීම්” නම් විය. මුස්ලිම් ජාතිකයකු වන ඔහුගේ සම්පූර්ණ නම අල්ලියාර් මොහොමඩ් නලීම්ය. ඔහුගේ හෝටලයේ නම වූයේ “සුනාමි” ය. එහි සිටි කාලය තුළදී මම ඔහුගෙන් එම නමේ අර්ථය කුමක් දැයි විමසුවේ එවැනි වචනයක් ඊට පෙර අසා නොතිබූ බැවිනි. “ලොකු රැල්ලකට ජපන් භාෂාවේ පාවිච්චි කරන වචනෙ තමයි සුනාමි. මේ හෝටලේ පාට්නර් තමයි නම දැම්මේ. එයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වුණාට ජපානෙ කාලයක් ඉඳල තියෙනවා. එහෙදි එයා දැන ගත්ත වචනයක් ඔය. මේ බීච් එක සර්ෆිංවලටනෙ ප්‍රසිද්ධ. ඉතින් ඒකට හොඳ රැළි ඕනෙ. අපි ඒ හින්දා සුනාමි කියන නම දැම්මා” නලීම් පැවැසුවේය. පහළොස් වසරකට පෙර ආ සුනාමියට නලීම් ගේ සුනාමි හෝටලයද ගසාගෙන ගියේය. නලීම්ගේ හෝටලය ඇතුළු සුනාමියට මුළු ආරුගම්බේ වෙරළට සුන් බුන් කිරීමට හැකි වුවද සුනාමි හෝටලයේ නාම පුවරුව බිම දැමීමට හැකි වූයේ නැත. එහෙත් පසුව එය බිම දමනු ලැබීය. ඒ වෙනත් ස්වාභාවික ව්‍යසනයක් මගින් නොවේ. එය බිම දැමුවේ මිනිසුන්ය. ඒත් නාමපුවරුව බිම දැමූ මිනිසුන් හිතන්නේ සුනාමිය ලංකාවට ආවේ ඔහුගේ සුනාමි හෝටලය නිසා බවය. එබැවින් සුනාමියත් සමග අල්ලියාර් මොහොමඩ් නලීම් වැටුණේ අලි අමාරුවකය. ඒ කතාව දැන ගැනීමට පෙර නලීම්ගේ ජීවිත කතාව දැන ගැනීම වටී. ‍පොතුවිල් ගමේ උපන් නලීම් කුඩා කල සිටම ආරුගම්බේහි විදේශිකයන් නිතර ගැවසෙන උල්ලේ වෙරළට ඇලුම් කළේය. “මුලින් මම බීච් බෝයි. ඊට පස්සෙ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් වුණා. ඒ අතරෙ තමයි ලී බ්ලැක්මෝර් කියන මිත්‍රයව මුණ ගැහුණෙ. එයත් එක්ක හවුලෙ තමයි මේ හෝටලේ දැම්මෙ. මුලින් පටන් ගත්තෙ කාමර දෙකකින්. හෝටලේට දුන් නම ගැන හුඟක් කතා කළා. විවිධ නම් ගැන හිතුවා. අන්තිමට ලීගෙ මල්ලි කෙනෙක් තමයි ‘සුනාමි’ නම යෝජනා කළේ’’ නලීම් සිහිපත් කරයි. මෙරටට සුනාමිය කඩා වදින්නට පෙර එම වචනය භාවිත වූ එකම තැන හැටියට හෝටලය නම් වූයේ එසේය. කාමර දෙකකින් වර්ෂ 1998 දී ආරම්භ කළ සුනාමි හෝටලය වර්ෂ 2004 වෙද්දී කාමර 15 ක හෝටලයක් බවට දියුණු විය. “මට හොඳට මතකයි ඒ අවුරුද්දෙ දෙසැම්බර් 26 වැනිදා. එදා අපේ හෝටලේ හුඟ දෙනෙක් නැවතී හිටිය. එදා නත්තල් පාටියකුත් තිබුණා. මම උදෙන්ම නැගිටල කෝපි කෝප්පයක් බීලා පාටිය ඕර්ගනයිස් කරන්න පටන් ගත්තා. හරියටම උදේ 8.55 ට විතර එකපාරට මුහුදෙ වතුර උඩ එන්න පටන් ගත්ත. අපි වහලෙ බාල්කවල එල්ලිලා බේරුණා. බීච් එකේ තිබුණු හෝටල්වල මේස පුටු එහා මෙහා පාවෙන්න ගත්තා. ඊට පස්සෙ ඒ වතුර බැහැල ගියා. ඒ වෙනකොටත් අපේ සමහර ගෙස්ට්ලා නිදි. අපි ඒ අයව ඇහැරවල සිද්ධවුණ දේ කිව්වා. ඒ වෙනකොට හෝටලයෙ වාහන තුනක් තිබුණා. අපි ඒවා ඉක්මනට යැව්වා තෙල් ගහගෙන එන්න. ඒ අතරෙ තමයි මුහුදෙ වතුර පස්සට ගියේ. වතුර පස්සට ගිහින් බීච් එකේ වැලිතලාව මතු වුණා. වතුර නැති මුහුදෙ මාළු උඩ පැන පැන හිටියා. සමහරු මුහුදට බැහැල ඒ මාළු අල්ලන්න පටන් ගත්ත. අපි වෙරළට වෙලා මොකද වෙන්නෙ කියල බලා හිටිය. එතකොට තමයි ඈතට ගිය මුහුද ගොඩට ගලන්න පටන් ගත්තෙ. මම වතුර ටැංකියකට නැග ගත්තා.” වතුර ටැංකියකට ගොඩ වූ නලීම්ට ගොඩ ගැලූ මුහුද හැසිරුණු හැටි හොඳින් දැක ගත හැකි විය. “ගොඩ ගලපු මුහුද ආපහු යද්දි තමයි සැර වුණේ. විනාඩි දෙකෙන් මගේ හෝටලය විතරක් නෙමෙයි බීච් එකේ තිබුණු ඔක්කොම හෝටල් සුන්බුන් බවට පත්වුණා. මට මොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරුව ගියා. මගෙ හෝටලේ ඉතුරු වුණේ මම නැගපු වතුර ටැංකියයි බෝඩ් එකයි විතරයි. ඇතිවෙච්ච බයට මම සෑහෙන වෙලාවක් ආයිත් මුහුද ගොඩ ගලයිද කියල බයේ උඩටම වෙලා හිටිය. බේරුණු අනිත් අයත් හැම තැනම ගස් උඩ ඉතුරු වෙච්ච ගොඩනැගිලි උඩට වෙලා හිටියා.” ආරක්ෂිත බව තහවුරු වූ පසු නලීම් බිමට බැස්සේය. දේපළ මෙන්ම ජීවිත හානි ද බැලූ බැලූ අත විය. “තැන් තැන්වල හැමෝම අඬනවා. මට මතක් වුණේ මගෙ පවුලෙ අයව. ඒ අය හිටියෙත් පොතුවිල්වල මුහුද කිට්ටුව. ආරුගම්බේ හෝටල් කරන සහ ඒවයෙ වැඩ කරන හුඟ දෙනෙක්ගෙත් ගෙවල් තිබුණෙ පොතුවිල්වල. ඉතින් මුහුද ගොඩ ගැලුවට පස්සෙ හැමෝටම ඕන වුණේ ගෙවල්වලට යන්න.” එහෙත් ඔවුන්ට පොතුවිල්වලට යාමට හැකි වූයේ නැත. ඊට හේතුව ආරුගම්බේ හා පොතුවිල් නගරය යා කරමින් කිරිඳි ඔයේ කලපුව හරහා තිබූ පාලම ද මුහුදු ගැල්මෙන් විනාශ වී තිබූ නිසාය. ආරුගම්බේ වෙරළේ තිබූ සිය ගණනක් ඔරු හා බෝට්ටුද විනාශ වී ගොස් තිබූ බැවින් එගොඩ යාමට ක්‍රමයක් ද නොවීය. “කලපුව හරි විශාලයි. ඉතින් බැහැල යන්නත් බෑ. ඊටත් වඩා ඒ වෙනකොට වතුර ගෑවෙනවටත් අපි බය වෙලා හිටියෙ. තව කොයි මොහොතෙ ආයෙත් මුහුද ගොඩ ගලයිද කියලත් බයක් තිබුණා. හැමෝටම ඕන වුණේ පුළුවන් තරම් මුහුදෙන් ඈත් වෙලා රට මැද්දට යන්න.” ආරුගම්බේහි කොටුවී සිටි අය කලපුවට සමාන්තරව රට අභ්‍යන්තරයට ගමන් කළහ. එය කිසිසේත් පහසු ගමනක් නොවීය. ඊට හේතුව ඔවුන්ට ගමන් කිරීමට වූයේ කලපුවට යාබද මඩ ගොහොරු හා ලාහුගල වනාන්තරය මැදිනි. “අපි කිලෝමීටර් දහයක් විතර පයින් ගිහින් පොතුවිල් - සියඹලාණ්ඩුව - පාරෙ තුනේ කණුවෙ තියෙන පොලිස් බැරියර් එක ළඟට ගියා. අපට ඕන වුණේ ඒ පාරෙන් පොතුවිල්වලට යන්න. ඒත් පොලිසියෙන් කිව්වා මුහුද ගොඩ ගලලා එහෙත් ඉවරයි. ඒ නිසා ලාහුගල ගමට යන්න කියලා. පොතුවිල්වල අයත් බේරෙන්න ඇවිත් හිටියෙ ලාහුගලට. අපි නැවතුණේ ලාහුගල ඉස්කෝලෙ. එතනට ගිය වෙලේ ඉඳන් මම කළේ සෙනග අතරෙ මගෙ පවුලෙ අයව හොයපු එක. ඒත් මට දවස් දෙකකට පස්සෙයි ගෙදර අය හමු වුණේ. වාසනාවකට කාටවත් කරදරයක් වෙලා තිබුණෙ නැහැ” නලීම් කීවේය. පොතුවිල්, ආරුගම්බේ හා ඒ අවට තවත් ගම්මාන රැසක මුස්ලිම් හා දෙමළ ජනතාව මුහුද ගොඩ ගැලීමෙන් බේරෙන්නට පැමිණ සිටියේ ලාහුගල ගමටය. ලාහුගල ගමේ සිංහල වැසියෝ තමන්ගේ ගෙවල්වල තිබූ වී ටික කොටා මේ සරණාගතයන්ට බත් උයා සංග්‍රහ කළහ. “අපි ගමේ අය දෙන දෙයක් කාලා දවසක් දෙකක් ඉද්දි මට නිතර ඇහෙන්න ගත්තා “සුනාමි” කියල දෙයක් ගැන මිනිස්සු කතා වෙනවා. මට මුලින් හිතුණා මගේ හෝටලේ ගැනවත්ද මේ කතා කරන්නෙ කියලා. ඒත් දවස් 5 කට පස්සෙ තමයි දැනගත්තෙ ඒ මුහුද ගොඩ ගැලිල්ලට කියන්නෙ. “සුනාමි” කියල. මම හෝටලේට සුනාමි කියල නම දැම්මට ඒකෙ හැබෑ තේරුම දැනගෙන හිටියෙ නැහැ. මට පුදුම හිතුණ ඒ ආවෙ සුනාමියක් කියල දැනගත්තම. මම හිතා හිටියෙ සුනාමිය කියන්නෙ ලොකු රැල්ලක් කියල විතරනෙ.” සුනාමි හෝටලයේ හිමිකරු සුනාමියේ හැබෑ ස්වභාවය දැන ගත්තේ එසේය. අනතුරුව ගෙවුණු දින කිහිපයේදී තමා දන්නා හඳුනන අයගේ හැසිරීමේ වෙනසක් නලීම්ට දැනෙන්නට පටන් ගත්තේය. විශේෂයෙන් තමා මෙන්ම සරණාගතයන් බවට පත්ව සිටි සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරික තරගකරුවන්ගෙනි. “මම දවස් කීපෙකට පස්සෙ ආපහු ආරුගම්බේ හෝටලේ තිබුණු තැනට ගියා. ඒ යද්දි අවට අය මා දිහා බලන විදිහ හොඳ නැහැ කියල මට තේරුණා. ඒත් මට එහෙම හිතන්න හේතුවක් තිබ‍ුණෙ නැති නිසා මම හෝටලේ තිබුණු තැනට ගියා. ඒ අතරෙ අවට ඉන්න අය එතනට එකතු වෙලා මිනිස්සු විශාල පිරිසක් එතනට ආවා.” අනතුරුව නලීම්ට මුහුණ දීමට සිදු වූයේ ඔහු සිහිනෙන්වත් නොසිතු චෝදනාවකටය. “මිනිස්සු මට බනින්න පටන් ගත්ත සුනාමිය ආවෙ මම නිසා කියල. මේ ‍චෝදනාව කළේ පිට මිනිස්සු නෙමෙයි. අපේම මුස්ලිම් අය. ඒ අය චෝදනා කළේ මම හෝටලේට සුනාමි කියල නම දාලා බෝඩ් එකකුත් දාපු නිසා සුනාමිය ආවා කියලයි. මට බැන්න විතරක් නෙමෙයි. කෙළ ගැහුව. ගල් ගැහුව. මට මොකද වෙන්න කියල හිතා ගන්න බැරි වුණා.” මොවුන් චෝදනා කිරීමෙන්, පහර දීමෙන් පමණක් ‍නැවතුණේ නැත. සුනාමිය හමුවේද නොසැලී තිබූ හෝටලයේ නාම පුවරුවද ගලවා බිම දැමූහ. “මිනිස්සු දහස් ගණන් මැරුණු රුපියල් ‍ප්‍රකෝටි ගාණක දේපළ හානි කරපු සුනාමිය ආවෙ මම නිසා කියද්දි මම මොනවා කියන්නද? මම වචනයක්වත් කියන්නෙ නැතුව හැරිල ආවා. ඇවිත් ගම දාලා කොළඹට ඇවිත් ෂාලිමාර් හෝටලයෙ සති දෙක තුනක් නැවතිලා හිටිය කලකිරීමට. මට ආයෙ ආරුගම්බේ පැත්තෙ යන්නවත් හිතුණේ නෑ. ඒ පළාතෙම මුස්ලිම් අය විශ්වාස කළේ මම හින්දා සුනාමිය ආව කියලයි. ඒත් මගෙ යාළුවො කිව්වා අධෛර්යවත් වෙන්න එපා ආපහු ජීවිතේ පටන් ගමු කියල.” අවසානයේ හිත හදාගත් නලීම් පොතුවිල් ප්‍රදේශයේ තමන්ට හිමිව තිබූ ඉඩමක්ද විකුණා හෝටලය නැවත ඉදිකිරීමට මුදල් සොයා ගත්තේය. “ඊට පස්සෙ මම ආයෙත් ආරුගම්බේවලට ගියා. ඒත් බාධා තිබුණා. හෝටලයේ බෝඩ් එක ආයෙ දාන්න හැදුවට ඒකටත් බාධා කළා. ආයෙත් බෝඩ් එක දාගත‍්තෙ පොලිසියටත් කියලා. ඊට පස්සෙ ඉඩම විකුණපු සල්ලිවලින් ටික ටික හෝටලේ හදන්න පටන් ගත්තා.” ක්‍රමයෙන් කාලය ගෙවෙන්නට විය. ආරුගම්බේ උ‍ල්ලේ වෙරළේ සුනාමි හෝටලය පමණක් නොව සෙසු හෝටල්ද ගොඩනැගුණි. එතෙක් දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවට පමණක් ප්‍රකටව තිබූ එම වෙරළ තීරය ලෝකයේ එකම “සුනාමි හෝටලය” නිසාද ලොව පුරා ප්‍රකට විය. “පිටරටවලින් සුනාමි හෝටලය සොයාගෙනම ගෙස්ට්ල ආවා. හුඟක් අයට මේකෙ නවතින්න ඉඩ තිබුණෙ නැති නිසා නතර වුණේ සුනාමි නමට විරුද්ධ වුණ අයගෙ හෝටල්වල. අන්තිමට ඒ අයට ‍ආපහු ගොඩ එන්නත් “සුනාමි” නම පිහිට වුණා.” පසුකාලීනව සුනාමි විනාශයත් සමග සුනාමි නම හේතුවෙන් නලීම්ට එල්ල වූ එදිරිවාදිකම්ද ක්‍රමයෙන් අඩු වී ගියේ එම නම නිසාමය. “දැන් අනිත් අයට හරි ගිහින්නෙ. ඒ නිසා මුකුත් ප්‍රශ්න නෑ. හැබැයි මම දන්නෙ නෑ තවමත් ඒ අයගෙ ඔළු ඇතුළෙ මිථ්‍යා අදහස් තියෙනවද කියලා” මිනිසා පරාජය කළ නොහැකි බවට ජීවමාන සාක්ෂියක් ‍බවට පත්වෙමින් සුනාමියේ සුන්බුන් මතින් නැවතත් සුනාමි හෝටලය ගොඩනැගූ නලීම් සිනාසෙයි. නුවන් ගන්කන්ද
 

More News..