brand logo

නරි රජ කරන මිල්ලනියේ ගමට ගියෙමු

21 September 2020

අලි-මිනිස් ගැටුම් මිසක්, නරි-මිනිස් ගැටුමක් ගැන මින් පෙර අප අසා තිබුණේ නැත. එවැනි දෙයක් මුල්වරට වාර්තා වන්නේ​ හොරණ මුවපට්ටිය ගමෙනි. අලින්ට බයේ කැලෑබද ගම්මුන් ගෙවල් දොරවල් අතහැරියා මෙන් මුවපට්ටිය ගම්මුන් දැන් පත්ව සිටින්නේ ගම අත්හැර යන තැනටය. මේ නරින්ගේ ප්‍රහාරවලට ලක්වන මුවපට්ටිය ගමට ගිය අපේ ලේඛකයාගේ අත්දැකීම්ය. හොරණ සිට නෑබඩ පාරේ ඈගලහේන හන්දියට පැමිණ එතැනින් දකුණට හැරී රයිගම පාරේ මඳ දුරක් විත් නැවතත් නිව්චැටල් වත්ත පාර දිගේ පැමිණි අපි විශාල රබර් වතු යායකට ඇතුළු වීමට පෙර නිවසක් අසල නතරවීමු. ‘‘අර නරි ඉන්න මුවපට්ටිය ගමට යන්නෙ කොහෙන්දැයි’’ කුඩා අත දරුවකු වඩාගෙන නිවසේ ජනෙල් කවුළුවෙන් එබුණු මැදිවියේ කාන්තාවකගෙන් විමසූ විට ලැබුණු පිළිතුරෙන් අපි අන්දමන්ද වීමු. ‘‘ඔය රබර් වත්ත මැද්දෙන් තව කිලෝමීටර් දෙකක් විතර ඉස්සරහට යන්න. හැබැයි හදිස්සියකටවත් වාහනේ මග නවත්තන්නවත් බහින්න හදන්නවත් එපා. නරියට මිනිහව කන්න වෙලාවක් කලාවක් නෑනෙ. ඉස්සර නිතරම මිනිස්සු ආව ගිය පාර. දැන් ඔය පාරෙ රෑට තියා දවල්ටවත් තනියම කවුරුවත් යන්නෙ නැහැ.’’ අලි, කොටි, වලසුන්ට බිය වූ ගම්මු මිසක් නරින්ට බිය වූ ගමක් මින් පෙර අසා තිබුණේ නැත. හැරත් නරි කොහොමත් එදා පටන්ම ගම්වල සිටියෝය. ගම්වලට පැන කුකුළන් උස්සන් ගියෝය. පැටි වයසේ සිටම අපට මඟුල් කෑම, නරියා සහ කේජු කෑල්ල, නරියා සහ මිදි වැල ඇතුළු නරි කතා රැසක් අසා තිබූ බැවින් නරියා අපට භයානක සත්ත්වයෙක් ලෙස පෙනුණෙත් නැත. එහෙත් දෙතුන් සතියකට පටන් මුවපට්ටියේ ගම්මු නරි ගැන කතා කියවන්නටත් බයය. ඉස්සර ගමට පැන කුකුළන් උස්සන් ගිය නරි දැන් මුවපට්ටිය ගම්මුන් හපා කන්නට පටන් ගැනීම මේ භීතියට හේතුවය. පරිපාලනමය වශයෙන් මුවපට්ටිය අයත් වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවර උතුර 638 බී ග්‍රාම නිලධාරී වසමටය. ඒ ග්‍රාමයේ 2847ක ජනතාවක් ජීවත් වෙති. හොරණ වැවිලි සමාගමට අයත් මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 500කට අධික නිව්චැටල් වතුයා‌යෙ නිව්චැටල් කොටස, හෝම් වත්ත, හොරහේන, දික්හේන, කොක්හේන, ටෙම්පො සහ මිල්ලනිය වශයෙන් කොටස් හතකට බෙදේ. වැඩි වශයෙන් කටු පොල්ද අඩු වශයෙන් රබර්, කුරුඳු සහ අතුරු භෝගද වගා කර ඇති නිව්චැටල් වත්තේ තැන තැන ලඳු කැලෑ රොදවල් රැසක්ද දක්නට ඇත. ඒ ලඳුවලින් කොයි මොහොතේ හෝ නරියෙක් එළියට පැමිණ තමන් සපා කතැයි කිරි කපන්නෝ බියට පත්ව සිටිති. කිරි කපන කාන්තාවක් කිරි පිහියත් රැගෙන ගහ වටේ සක්මන් කර කිරි ගහ කපා පොල්කටුව සුද්ධ කර එය ගසේ එල්ලූ ඇය අනෙත් ගහට මාරුවූයේ ගහට හේත්තුකර තිබූ පොලු කැබැල්ලක් අතට අරගෙනය. අවුරුදු 16ක් තිස්සේ නිව්චැටල් වත්තේ කිරිකපන හේවාගමගේ නන්දාවති හැමදාමත් බිම් කරුවල වැටෙන්නටත් පෙර වත්තට පැමිණෙන්නේ කැලේ මැද්දෙන් ගොඩේ පාරවල් මතිනි. වෙනදාට අතරමගදී හමුවන නරි තමන්ගේ පාඩුවේ ආපසු හැරී ගියත් දැන් දැන් තමන් සමග අරියාදුවට එන බව ඇය පවසයි. මෑතකදී පසු පස එළවාගෙන ආ නරියෙක්ගෙන් ඇය බේරී ඇත්තේ අනූ නවයෙනි. දිවි මග සරිකරමින් ගහෙන් රූටා ඇදෙන කිරි පාරටත් වඩා ඇය අවධානය යොමු කරන්නේ අවටින් ඇසෙන කොළ අතු බිඳෙන හඬක් දෙසය. ඒ නරි රංචුව කොහෙන් මතුවේදැයි යන බිය ඇයගේ සිතේ තෙරපෙන බැවිනි. ‘‘මොකද ඔය පොලු තියාගෙන ඉන්නෙ?’’ යි මඳ දුරක් රබර් වත්ත මැදින් ඉදිරියට යන අපට හමුවූ තරුණයන් දෙදෙනෙකුගෙන් අප විමසූ විට ඔවුන් කියා සිටියේ ‘‘නරින්ගෙන් බේරෙන්න මහත්තයෝ’’ කියාය. මේ ඇම්. මහේන්ද්‍ර කුමාර ගේ හඬය. ඔහු දැන් විසි හත්වැනි වියේ පසුවෙන්නෙකි. ‘‘ඉස්සර ගම්වල රජ කළේ චණ්ඩි, මැරයො, දාමරිකයෝ වගේ කණ්ඩායම්. ඒ වගේම හොරු, මංකොල්ල කල්ලි අල්ලන්නත් මේ වගේ රැකලා ඉන්නවා. දැන් ඊට නොදෙවැනි නරි රංචුවක් ගමට ඇවිල්ලා. කාලයක් අපි කොරෝනාවෙන් බැට කෑවා. ඊට පස්සෙ නියඟෙන්. ඒක අහවර වෙනකොට ගංවතුරෙන්. දැන් නරින්ගෙන්. අපි පාරතොටක යනකොට කාගෙ අතෙත් පොලු කෑල්ලක් නම් වරදින්නෙ නැහැ. මේ අපේ දරුවො ටික නිව්චැටල් ඉස්කෝලෙට ගිහින් බස්සල එන ගමන්.’’ ඩී. කුමාරසිරි සිල්වා (66) අපට හමුවූයේ කිතුලහේන පොල්කොටුව වත්තේදීය. දලු කැඩීම සහ කිරි කැපීම සඳහා ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමද විශාල ගැටලුවක් වී ඇත්තේ නරි උවදුර නිසා බව ඔහු කියන්නේය. නරියා මිනිසුන්ව හපන්නෙ පිස්සු හැදුණාම. මිනිස්සුන්ව විතරක් නෙවෙයි ගෙවල්වල ඇති කරන හරක්, බල්ලො, පූසන්වත් හපනවා. මිනිස්සුන්ව වගේ නෙමෙයි සත්තුන්ව හැපුවොත් පැය විසිහතරක් යන්න කලින් මැරෙනවා කියලයි අපි අහලා තියෙන්නේ. බල්ලට පිස්සුව හැදුණාම හොයන්න පුළුවන් වුණත් නරියාට පිස්සු හැදුණාම හොයන්න බෑ. ඌට පිස්සු හැදුණම මිනිස්සුන්ට බයත් නැහැ. මේක හරිම භයානක තත්ත්වයක්. මේ වත්තෙ මිනිස්සු විතරක් නෙමෙයි කුඩා දරුවොත් අනාරක්‍ෂිත තත්ත්වයකයි ඉන්නෙ.’’ මාසයක් පමණ ඇතුළත මුවපට්ටිය ගම්මානයේ මිනිස් ජීවිත දෙකක් නරින්ගේ ගොදුරක් බවට පත්ව ඇත. එහි ආසන්නතම ගොදුර වූයේ නිව්චැටල් දෙමළ විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සමන් විජය කුමාර් කවිනි නෙත්සරා (8) දැරියයි. ඇය පවුලේ එකම දියණියයි. අප මුලින්ම ගියේ කවිනි ජීවත්ව සිටි නිවස සොයා ගෙනය. ගවයින්, කුකුළන්, එළුවන් රංචු මැදින් පුංචි පුංචි අඩි පාරවල් ඔස්සේ ලැයිම් කාමර පසුකරමින් ගිය අප හෙළකට බැස ගොඩවුණේ කවිනිගේ පුංචි නිවහනටය. නිවාස, පානිය ජලය, වැසිකිළි පහසුකම්, මංමාවත් ඇතුළු මූලික මානව අවශ්‍යතා බොහොමයක් ඔවුන්ගෙන් බොහෝ ඈත යැයි අපට සිතුණි. ‘‘අනේ අපොයි මේ දරුවට වෙච්ච දේ... කොහොම නම් උහුල ගන්නද?’’ හැම මුවකින්ම නැගුණු ශෝකාලාපය අප හදවත් කම්පා කළේය. තවමත් දුකින් වැළපෙන චන්ද්‍රවීර විජයකුමාරි මවට කිසිවක් කතාකර ගත නොහැකිය. විජය කුමාර් සමන්, විජය කුමාර් (32) කවිනි නෙත්සරා දුවගේ තාත්තාය. ‘‘මම වත්තෙ සුළු සුළු වැඩ කරනවා. අපට මේ දුවයි අවුරුදු එකහමාරක පුතෙකුයි ඉන්නේ. මගේ දුව චිත්‍ර අඳින්න වගේම නැටුම්වලටත් හරි දක්‍ෂයි. ඉස්කෝලෙ නෝනලා මහත්තුරුත් මගේ දුවට හරි ආදරෙයි. අම්මා තමයි හැමදාම උදේටයි දවල්ටයි පුතාවත් උකුලෙ ගහගෙන දුව ඉස්කෝලෙට ඇරලවන්නේ. මාස දෙකකට විතර ඉස්සෙල්ලා ආරියරත්න යන අයව නරියකු කාලා ඔහු දුවගෙන ඇවිත් තිබෙනවා. මාගේ දුවත් එහෙ ඉඳලා පොඩි පුතාවත් අරගෙන දුවලා තිබෙනවා. ඒ වෙලාවෙ දුවත් පුතාත් වැටිලා. කුස්සියේ හිටපු බිරිඳ දුවගේ කෑගැහිල්ලට එළියට ඇවිත් බලනකොට නරිය ගිහින්. ඒ වෙලාවෙම දුවව ගල්පාත රෝහලට අරගෙන ගිහිල්ලා තිබුණා. දොස්තරලා කීවා දුව බේරගන්න බෑ කියලා. දූ මැරෙනවා බලන් ඉන්න බැරිම තැන මම වාට්ටුවෙන් එළියට ආවා.’’ දිනක් තමා සහ බිරිඳ කිරි කැපීමට යාමේදී නරියෙක් ඉදිරියට ආ බවත් වත්තේ මුරකරු සමග එක්වී ගල් සහ පොලු කැබැල්ලකින් පහර දී දිවි බේරාගත් බවත් පැවසූ එම ස්ථානයේ දීම අපට හමුවූ එස්. ආරෝග්‍යසාමි බිය සැකෙන් තොරව එදිනෙදා රැකියාවක් කර ගැනීමට නොහැකි බැවින් ජීවත්වීම පවා දුෂ්කර වී ඇති බවක්ද පැවසීය. මුවපට්ටිය ගමේ දරුවන් පාසල් යන්නේ කිලෝමීටර් 02ක් පමණ කැලේ මැද්දෙනි. ගම්මු කියන්නේ නරින්ට බයේ තම දරුවන් පාසල් යන්නට බය බවය. දින කිහිපයකට පෙර පොල් ඇහිඳීමට ගිය කාන්තාවක් නරි දෙදෙනෙකු දැක ඇති අතර නරින්ට බයේ ඇය දුවන විට කිරි කපමින් සිටි කාන්තාවක්ද කිරි බාල්දියත් වත්තේම දමා නිවසට දුවවිත් ඇත. නරියකු විසින් බල්ලෙක්ව හපා කෑමෙන් පසු මීට දින කිහිපයකට පෙර එම බල්ලාව ද මියගොස් ඇති බවත් ඌව වළලා දැමූ බවත් ජනතාව පවසති. ගමේ ළිං පහක් තිබුණත් වතුර ටිකක් නා ගැනීමට ළිඳකට යාම පවා ගම්වැසියන්ට බියගෙන දෙන කරුණක් වී ඇත. ‘‘මහත්තයො අර පැත්තෙ නරියෙක් කාපු මීහරකෙක්ව ගස් බැඳලා දාලා තියෙනවා. උගෙ වැඩේම පස් කන එකමයි. යමුද බලන්න.’’ අපි ඉතා දුෂ්කර මග ගෙවමින් කටු පොල් වගාවක් පීරාගෙන ඇතුළටම ගියෙමු. නිසොල්මනේ තණ බුදින මී ගවයකු වෙනුවට අපට දැකගත හැකිවූයේ ඉතා කලබලකාරීව සැඩ පරුෂව හැසිරෙන මී නාම්බෙකි. මඳ කිපුණු අලියෙකු දම්වැල් යොදා බැඳ දමා ඇති පරිද්දෙන් හතර අතට කඹ දමා මී ගවයා ද ගැටගසා තිබුණි. ‘‘මහත්තයෝ නරි අල්ලන්න පුළුවන් කියලා මහත්වරු වගයක් ගමට ආවා. ඒ අය අංකයකුත් දීලා ගියා’’ ගැමියකු කීවේය. එහි සඳහන් අංකයට එවේලේම ඇමැතුමක් ගත්විට දුරකථනය එහා කොනේ සිටියේ සත්ත්ව කළමනාකරණ ආයතනයේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂ අජිත් ජයසිංහය. ඔහු ප්‍රකාශ කළේ තමන් මෙම ගම්මානයට පැමිණ පූර්ව අධ්‍යයනයක් කළ බවය. මුවපට්ටිය ගම නරි වටකර ඇත්තේ මේ දිනවල පැටවුන් සිටින නිසා නරින් දිවා කාලයේ පවා එළිමහනේ ගැවසෙන බව ඔහුගේ කල්පනාවය. මෙම නරි රංචුව විධිමත් ක්‍රමවේදයක් අනුව අල්ලා රජයෙන් නම් කරන ලද වනජීවී කලාපයට මුදාහැරිය හැකි අතර ගම්වාසින්ගෙන් සහ රජයෙන් ඉල්ලීමක් සහ ප්‍රතිපාදන ලැබේ නම් වහාම මැදිහත්වීමට තම ආයතනය සූදානම් බවත් ඔහු කීවේය. මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව කුලතිලක මහතා ප්‍රකාශ කර සිටියේ මුවපට්ටිය ගම්මානයේ වැසියන් 42 දෙනෙක් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය වෙත සභාවේ වියදමින් රැගෙන ගොස් අවශ්‍ය සියලුම දැනුම්වත් කිරීම් සිදුකළ බවත් මියගිය දැරිය සම්බන්ධ ආශ්‍රිතයින් සියලු දෙනාවම රෝහල්වලට යොමුකර එන්නත් ලබා දීමට කටයුතු කළ බවත්ය. එසේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමග ඒකාබද්ධව ශබ්ද විකාශන යන්ත්‍ර සහ අත් පත්‍රිකා මගින් පාසල්වල සහ ගම්මානයේ ප්‍රචාරක වැඩසටහනක් දියත් කර ඇති බවත් මුවපට්ටිය ගම්මානයේ මංමාවත්වල රාත්‍රි කාලයේ අඳුර පලවා හැරීම සඳහා ප්‍රාදේශීය සභාව මගින් වීදි ලාම්පු සවිකරන බව කියන්නේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව කුලතිලකය. නමුත් ප්‍රශ්නය වන්නේ හපා කන නරින්ට රැයක් දවාලක් නැති වීමය. ජලභීතිකාව පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය නිලධාරී කමිටුවේ සාමාජික මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න පවසන පරිදි වේරවත්ත, පැල්පොළ සහ උඩුව ප්‍රදේශවල සැක සහිත ලෙස මියගිය නරින්ගේ හිස කොටස් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයට යොමු කිරීමෙන් පසු එම නරින්ට ජලභීතිකා රෝගය වැලඳී ඇති බව තහවුරු වී තිබේ. එසේ බලන විට නරින් හපා කා මියගිය මුවපට්ටියේ දෙන්නාගේ මරණයට හේතුව ජලභීතිකාව බව පැහැදිලිය. මුවපට්ටිය ගම්මුන්ට ඇත්තේ යහපාලනය, විසිවැනි සංශෝධනය පිළිබඳ ප්‍රශ්නය නොවේ. ‘‘මහත්තයෝ, අපට දොට්ට පිලට යන්න විදිහක්වත් නෑ. කොටි මරලා රටට නිදහස දුන් ආණ්ඩුවට නරි ලොකු දෙයක් නෙවේ. මුං ටික ගමෙන් එළවලා දෙන්න’’ යි මුවපට්ටිය ගම්මුන්ගේ එකම ඉල්ලීමය. ඉන්දික සංජීව විතාන - හොරණ
 

More News..