brand logo

නර්මදාට පිරිමි එපා වෙලා

19 April 2021

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ නිවේදනයෙන්, නිරූපණයෙන් වගේම රූසපුවෙනුත් අගතැන්පත් යුවතියක්. ඇය මේ දිනවල විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙනවා. ඇය මේ දිනවල ඉතා ජනප්‍රිය කාන්තාවක් බවට පත්වන්නේ ජීවිතයේ ගත් ආන්දෝලනාත්මක තීරණ නිසයි. හේතුවෙන්. ඇය ඇයගේ ජීවිතය ගැන අපි සමග පැවසුවේ මෙහෙම දෙයක්. නර්මදා මේ දවස්වල කොහොමද ජීවිතේ ගතවෙන්නේ? මේ දවස්වලනම් නිවේදනය පැත්තෙන් වැඩකටයුතු කිහිපයක් කරගෙන යනවා. ඒ එක්කම දරුවෝ දෙන්නා එක්ක වැඩියෙන් කාලයක් ගත කරන්න ලැබුණා. ලොකු පුතාට පාසල් නිවාඩු නිසා හරිම කාර්යබහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. ඔබ පුතුන් දෙදෙනකුගේ මවක්.. ලේසි නෑ නේද දරුවො දෙන්නෙක් උස්මහත් කරන එක? දරුවො දෙන්නා එක්කම තමයි දවස පටන්ගන්නේ. නැගිට්ට වෙලේ ඉඳලා ඉතින් එයාලගේ වැඩම තමයි. කවනවා.. පොවනවා.. පිරිසිදු කරනවා... පාඩම් වැඩ කරවනවා. ලොකු පුතාට අවුරුදු හතයි. පොඩි පුතාට තාම මාස තුනයි. ඇත්තටම මම ගත කරන කාර්යබහුල ජීවිතේ එක්ක බබාලා දෙන්නව බලාගන්න හරි අමාරුයි. මගේ අක්කායි එයාගේ මහත්තයයි තමයි කිසිම වෙනසක් නැතුව මගේ දරුවෝ දෙන්නව මම නැති වෙලාවට බලාගන්නේ. තනිවුණු ගැහැනිය අසරණයි කියලා බොහෝ පිරිමින් සිතනවා. ඔබටත් එය වලංගුද? අනේ නෑ. මං එහෙම හිතන්නේ නෑ. ඇත්තම කතාව ගැහැනියක් වුණත් ආර්ථිකය අතින් ශක්තිමත් වෙන්න ඕන. ඒකට හොඳ රස්සාවක් කරන්න ඕනේ. නමුත් ඒ රස්සාව කරන්න නම් පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙන්න ඕන. තමන්ට හරි ස්ථාවරයක් තියෙනව නම් මම හිතන්නෙ නෑ කාටවත් ඔළුව නමන්න ඕන කියලා. තනිවුණා කියලා ගැහැනියක් අසරණ වෙන්නෙ නෑ මේ දේවල් තියෙනව නම්. ඒ කියන්නේ පිරිමියෙක් නැතිව ගැහැනියකට තනිවම ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්? අපේ තෝරගැනීම්වල යම් යම් වැරදි ඇති. ගැහැනිය කියන කෙනා හරි හැඟීම්බරයි. ජීවිතේ දුක සතුට දැනෙන අවස්ථාවල පිරිමියෙක් ජීවිතේ හිටිය නම් හොඳයි කියලා හිතෙන අවස්ථාවන් තියෙනවා. නමුත් එතකොට විඳපු ජීවිතේ මතක් වෙනකොට මේ තනිකඩ ජීවිතේ හොඳයි කියලා ආයෙමත් හිතෙනවා. අනාගතේදි දරුවන් දෙදෙනා තාත්තා ගැන ඇහුවොත් ඔබට දෙන්න පිළිතුරක් තියේවිද? අපි පොඩි කාලේ වගේ නෙවෙයි දැන් ළමයි හරි බුද්ධිමත්. පොඩි දේවල් පවා හොඳින් තේරුම්ගන්න පුළුවන්. එයාලා පොඩි කාලේ ඉඳන් මාව දැකලා දැකලා ලොකු වෙනකොට එයාලා ජීවිතේ තේරුම්ගනී. මං හිතන්නේ නෑ තාත්තෙක් ගැන පැහැදිලි කරන්න වුවමනා වෙයි කියලා එයාලට. එයාලා දකිනවා අම්මා මහන්සි වෙනවා.. රස්සාවක් කරනවා.. නිදි මරනවා.. එයාලා වෙනුවෙන් මහන්සි වෙනවා. මටත් පුළුවන්කම තිබුණා තාත්තටම ළමයි දෙන්නව බාරකරලා හොඳ සැපපහසු ජීවිතයක් ගත කරන්න. නමුත් දරුවා දෙන්නාව මම ළඟ තියාගෙන හදාගන්නේ එයාලට මට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් සහ එයාලා මං ළඟ ආරක්ෂිතයි කියලා හිතෙන නිසා. දෙමාපියන්ගේ ප්‍රශ්න නිසා දරුවන්ගේ ජීවිතේට බලපෑමක් සිද්ධ වෙන්නේ නැද්ද? නෑ. ලංකාවේ තමයි ඔය මතේ තියෙන්නේ. පිටරටවල කොච්චර තනි මව්වරු ඉන්නවද? ඒ අම්මලා අනේ මෙයාට තාත්තා නෑ.. මට හදාගන්න අමාරුයි කියන්නෙ නෑ. තාත්තා කෙනෙක් ඉන්න එක වටිනවා. එහෙම නැතිවුණත් ළමයි හදාගන්න බැරිකමක් නෑ. මොකද එතකොට දෙන්නෙක් අතර වගකීම් බෙදෙන්නේ නෑ. වගකීම් වැඩිවෙනකොට පොඩි පොඩි දේ ගැන පවා හොයලා බලන්න පුළුවන්. ඇයි ඔබ තනි වුණේ? මම මුලින්ම බැන්දේ අවුරුදු විසි තුනෙන්. මම මගේ සහකරුවට ගොඩක් නිදහස දුන්නු බිරිඳක්. ඔහුව කවදාවත් හිර කළේ නැහැ. සමහර අයට ඒ නිදහස හරියට ප්‍රයෝජනයට ගන්නවා, සමහර අය ගන්නේ නෑ. මම මගේ කියලා කොටු කරලා තියාගත්තනම් අද මම ලොකු ගමනක් ගිහින්. මම හිතුවා ඔහු මාත් එක්ක පවුලක් විදිහට වගකීම් දරන් ඉඳීවි කියලා. නමුත් ඒ දේ මට ලැබුණේ නෑ. ඔබ වැනි කාන්තාවන්ට සමාජයෙන් එල්ල වෙන අපවාද වැඩියි.. හැමෝම ඉතින් එක එක කතා කියනවා. නමුත් ජීවත් වෙන්නේ මම. මම හම්බකරලා මගේ දරුවන්ට කවන්නේ පොවන්නේ පිට මිනිස්සු නෙවෙයි. සමාජය මට කියන දේවල් ගැන හිතන්න ගියොත් දරුවො දෙන්නත් මගඇරිලා මම මේ වෙනකොට සෑහෙන්න මානසිකව වැටිලා. දරුවො හදාගෙන ඉන්න එක අගයන පිරිසකුත් ඉන්නවා. මිනිස්සු දාලා ගියා කියලා ගරහන පිරිසකුත් ඉන්නවා. මට වැදගත් මගේ දරුවන්ගේ සතුට සහ මගේ මානසික සුවය පමණයි. එතනින් එහාට ලෝකයා කියන දේවල් මම ගණන් ගන්නේ නැහැ. කවදාහරි තවත් පිරිමියෙක් ජීවිතයට සුදුසුයි කියලා ඔබට හිතුණොත්... මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. මොකද මම මගේ ජීවිතේ ඒ පැතිකඩ ගැන හිතන්නෙම නෑ. මට දැන් පිරිමි ඇතිවෙලා තියෙන්නේ. මම ඔවුන්ගේ ජීවිත තුළ රැඳෙන්න පුළුවන් තරම් උත්සාහ කළා. තවත් කසාදයකට යනවා කියන එක ඇත්තටම අමාරුයි. බලමු ඉස්සරහදි. නමුත් මම ඒ ගැන හිතන්නෙ නෑ විශේෂයෙන්. එරන්දි කෞෂල්‍යා
 

More News..