brand logo

නයිජිරියන් ජාතිකයෙකුගේ මුදල් කොල්ල කෑ DIGගේ ගෝලයා රහස් පොලීසියට

16 July 2019

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පිරිසක් මුදල් කොල්ලකෑ නයිජිරියානු ජාතිකයා සම්බන්ධව පොලිස්පතිවරයාගේ නියෝගය මත රහස් පොලීසිය පුළුල් විමර්ශනයක් අරඹා ඇත. තලවතුගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවයේ නියුතු නයිජීරියානු ජාතිකයෙකු ඉකුත් 08දා ලක්ෂ 23ක මුදලක් රැගෙන ත්‍රිරෝද රථයකින් සිය නවාතැන්පොල බලා යමින් සිටියේය. මෙම නයිජීරියානු ජාතිකයා සපත්තු සහ බද පටි පිටරටින් ගෙන්වා විකුණන අයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබේ. නයිජීරියානු ජාතිකයා මුදල් රැගෙන ත්‍රිරෝද රථයෙන් යමින් සිටියදී, අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පෝරේ පාලම අසලදී ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් හරස් කර නවතා ඇත. ත්‍රිරෝද රථයෙන් සහ යතුරු පැදියෙන් බැසගත් නිල ඇදුමින් සැරසුනු පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් පුද්ගලයින් තිදෙනෙකු නයිජීරියානු ජාතිකයාගේ දෑත් වලට මාංචු දමා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට නංවාගෙන තිබේ. පොලිස් කොස්තාපල්වයා ඇතුඵ සිව්දෙනා නයිජීරියානු ජාතිකයාව අතුරුගිරිය, මාරසිංහගේ පාර ප්‍රදේශයට රැගෙන ගොස් ලක්ෂ 23 ඔහුගෙන් කොල්ලකා ඔහුව මුදාහැර ඇත. නයිජීරියානු ජාතිකයා මෙම සිද්ධිය පිළිබදව එදිනම අතුරුගිරිය පොලීසියට පැමිණිලි කර තිබිණි. අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මුදල් කොල්ලයට පැමිණි ත්‍රිරෝද රථය සහ යතුරු පැදිය හදුනාගත්තේය. ත්‍රිරෝද රථය වැලිපිල්ලෑව ප්‍රදේශයේදී සොයාගෙන ඇත. ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒ්කකයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු ද මෙම සිද්ධියට සම්බන්ධ බවය. ඔහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. සිවිල් පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරයින්ය. අනෙක් පුද්ගලයා වැලිපිල්ලෑව ප්‍රදේශයෙය් පදිංචි අයෙකි. පොලීසිය සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ හතක (07) මුදලක් සොයාගෙන ඇත. සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම සිද්ධියට කාන්තාවක් ද සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. විවිධ පුද්ගලයින්ගේ මුදල් වංචා කිරීම පිළිබදව නයිජීරියානු ජාතිකයා සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයි බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම සිද්ධිය පිළිබදව අතුරුගිරිය පොලීසියේ පොලිස් සැරයන් 56750 පියල්, පොලිස් කොස්තාපල්වරුන් වන 36709 සුකුමාරන්, 40793 තෙන්නකෝන්, 70701 සම්පත්, 85551 මඩවල, 76575 චාමර, 84898 හර්ෂ යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති. සාලිය කුමාර ගුගණසේකර / පතිරණගේ සාලිය - හෝමාගම
 

More News..