brand logo

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ භාරකරුට තර්ජනයක්

11 October 2019

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලඥයින් ඇතුළු පිරිසක් විහාර භූමියේ පවතින කෝවිල වෙත පැමිණ අද (11) පුජාවක් කරමින් සිටින බව විහාරස්ථ දායක සභාව පවසයි. විහාරස්ථ දායක සභා‍ව පැවසුවේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ වර්තමානයේ සිටින භාරකාර තරුණයා වෙත පහරදීමට තැත් කරමින් තර්ජනය කොට ඇති අතර,විහාර භූමියේ මඩුවක් අටවමින් කෝවිලේ පුජාවක් කරමින් සිටින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විහාර තාවකාලික භාරකාර කැළුම් බංඩාර තරුණයාගෙන් විමසීමේදී පැවසුවේ වර්තමාන විහාරාධිපති නාහිමියන් බැහැරක් වැඩ ඇති බැවින් තමන්ට තාවකාලිකව විහාරය බලා ගැනීමට පවරා ගිය බවයි.එහිදි අද(11) උදැසන පැමිණි රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විහාරය වෙත ට්‍රැක්ටර රථ වලින් පැමිණ මඩුවක් ගසා විහාරයේ ඇති කෝවිලේ පුජාවක් කරමින් සිටින බවයි. අදාළ අවස්ථාවේ පැමිණ සිටි පුද්ගලයින් තමන්ට පහරදෙන බවට තර්ජනය කළ බවත්, ඒ අතර රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සිටින බවත් පැවසීය. විහාරස්ථානයේ ආරක්ෂාවට පොලිසිය යොදා ඇති බවත්, දෙමළ ජනතාව පැමිණ සිදුකළ තර්ජනය කිරීම හේතුවෙන් තමන් බියෙන් පසුවන බවද හෙතෙම ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසුවේ විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය යොදා ඇති බවයි. (විහාර‍යේ භාරකරුට තර්ජනය කරන අයුරු හා කෝවිලේ පුජාවන් සිදුකිරීමට පැමිණ සිටින අයුරු ජායාරූප එවා ඇත.) වවුනියාව - මාධව කුලසූරිය https://youtu.be/tzKRVnWC9hI  
 

More News..