brand logo

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ සිසිටිවි කැමරා සවි කිරීමට පොලිසියෙන් බාධා

15 October 2019

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ සිසිටිවි කැමරා අද (15) සවිකිරීමේදී මුලතිව් පොලිස් නිළධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු පවසයි. විහාරස්ථානයේ තාවකාලික භාරකරුවන කැළුම් බංඩාර මහතා පැවසුවේ ලොකු හාමුදුරුවෝ කියලා ගියා විහාරයේ සිසිටිවි කැමරා හයි කරන්න ‍වැලිඔය ප්‍රදේශයේ ඉදලා දෙන්නෙක් එයි කියලා ඒ අයට උදව් කරන්න කියලා. ලොකු හාමුදුරුවෝ පිරිවෙ‍නේ වැඩකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාර‍ය තාවකාලිකව බලා ගන්නේ.අපි කැමරා හයි කරමින් ඉන්නකොට මුලතිව් පොලිසියේ කට්ටියක් ආවා.ඇවිල්ලා කිව්වා පන්සලේ සිසිටිවි කැමරා හයි කරන්න බෑ කියලා.වහාම හයි කරපුවා ගලවන්න කියලා.මට කිව්වා ඔයා පන්සල බලාගන්නවානම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා. දැන් විහාරයේ හයි කරපු කැමරා ටික ගලවලා තිබෙන්නේ.දෙමළ ජාතික සන්ධාන‍ය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා.ඒක හින්දා තමයි ලොකු හාමුදුරුවෝ පන්සලේ සිසිටිවි කැමරා හයි කරන්න කියලා කිව්වේ.ඒත් දැන් ඒකට පොලිසියත් බාධා කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව පැවසුවේ විහාරයේ සිසිටිවි කැමරා හයි කරලා විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනකොට පොලිසිය මැදිහත්වෙලා ඒකට බලපෑම් කිරීම කණගාටුවට කරුණක්. මීට දින කිහිපයකට ඉහතදී විහාර භූමියේ පවතින ‍කෝවිලේ පුජාවක් වෙනුවෙන් පැමිණි දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක්ද විහාරයේ භාරකරු වෙත තර්ජනය කරනු ලැබු බව විහාරස්ථ දායක සභාව පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසුවේ අදාළ විහාරස්ථාන සීමාවේ හා කෝවිලේ ඉදිකිරීම් වළකාලමින් අධිකරණයේ නඩුවක් පවතින බැවින් අදාළ උපදෙස් ලබාදි විහාරයේ සිසිටිවි කැමරා ගලවා දමන ලෙසට දැනුම්දි ඇති බවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..