brand logo

නන්දා මාලිනියන් කිව්වා ඔය හඬ රටට සම්පතක් කියලා

22 February 2021

වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ආදරය කරන ගායන ශිල්පියෙක් සේම සංගීත නිර්මාණකරුවෙක් තමයි රොමේෂ් සුගතපාල කියන්නේ. ඒකාකාරී සංගීත රටාවෙන් ඔබ්බට ගොස් නිර්මාණ කරන ගායකයකු නිසාම රොමේෂ් ට හැකියාව ලැබිලා තියෙනවා ජනප්‍රියත්වය දිනෙන් දින වැඩි දියුණු කර ගන්නට. මේ දිනවලත් රොමේෂ්ගේ අලුත් නිර්මාණ දෙකක් අපිට අහන්න දකින්න පුළුවන්. පිනිපලස මේ කතාව රොමේෂ් එක්ක මේ දවස්වල මොකද වෙන්නේ? මගේ අලුත් සින්දුව හදවත් හදනා මේ වෙද්දී එළිදක්වා තියෙනවා. ඒ එක්කම මගේ Tunes බෑන්ඩ් එකේ පළමු සින්දුව "මනමාලියේ" නිර්මාණය කළා. ඒක අහන්න දකින්න පුළුවන්. ඒ වගේම දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් වූ ෆැලන්ගේ සහ ගිහාන් බණ්ඩාරගේ අලුත් සින්දු දෙක කළා. ඒකට ලස්සන රූපරචනාවක් දෙරණ නාළිකාවෙන්ම කරනවා. ඔය වැඩ ටික තමා මේ ටිකේ වෙන්නේ. තව මොනවද කරන්න ඉන්න නිර්මාණ? ඉදිරියේදී මගේ සංගීත කණ්ඩායම එක්ක මගේම ගීත සහ තව ගීත එක්ක UNPLUG ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක වෙනස් වැඩක් යූටියුබ් හරහා හැමෝටම බලන්න පුළුවන් වෙයි. ඒ වගේම මම ආසයි දිගු දෑස වගේ සින්දුවක් කරන්න. තව හොඳ ඩාන්සින් සින්දුවක් කරන්න දැන් ඔක්කොම සූදානම්. ඒක වෙනස්ම දෙයක් වෙයි. තව මම ඉගෙන ගත්තේ ශාස්ත්‍රීය පැත්තෙන් නිසා ඒ පැත්තෙන් අලුත් නිර්මාණයක් කරන්න ඉන්නවා. මේ ආව ගමන් මග ගැන මොකද හිතෙන්නේ? දැන් අවුරුදු 17 ක් මේ ක්ෂේත්‍රය තුළ. ගොඩක් සතුටක් තියෙනවා. මගේ හැම සින්දුවක්ම වගේ ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා. ඒ තුළින් කියන්නේ මම කරන දේවල් තවම ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කරලා නැහැ කියන එක. මම කරන්නේ එක රාමුවක ඉන්න නෙවෙයි. හැමෝටම අහන්න පුළුවන් සින්දු මම කරන්නේ. මට හොඳ රසික රසිකාවියන් පිරිසක් තාම ඉන්නවා ඒකට අලුත් අයත් එකතු කරගෙන යන ගමනක් මේ. අමතක නොවන ප්‍රතිචාර ඇති? මට අමතක නොවනම ප්‍රතිචාරය තමයි මගේ "හිතුමතේ ගීතයට" 2006 දී ජනප්‍රියම සම්මානය ලැබුණු වෙලාවේ විශාරද නන්දා මාලනීයන් "ඔය කටහඬ රටට සම්පතක් පුතේ" කියලා මට ආශිර්වාද කිරීම. එවැනි දැවන්තයන්ගේ ඇගයුමට අවධානයට ලක්වීම මට අමතක කරන්නම බැහැ. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණ අය වගේම සමාජයේ අය මාව හඳුනා ගෙන රොමේෂ් කොහොමද කියලා කතාබහ කිරීම පවා මට විශේෂයි. නව පරපුර ප්‍රවීණ අය එක්ක ගීත නිර්මාණය කළා. රෝමේෂ්ට හිතුණේ නැද්ද එහෙම සින්දුවක් කරන්න? විශාරද නන්දා මාලනී මහත්මිය එක්ක සින්දුවක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. මම ඒ ගැන එතුමියට කියලා පවා තියෙන්නේ. නිර්මාණය හදාගෙන එන්න කියලා කිව්වත් මගේ බෑන්ඩ් එකේ සහ ස්ටුඩියෝ එකේ වැඩ එක්ක ඒක ටිකක් ප්‍රමාද වුණා. හැබැයි මම 2021 දී අනිවාර්‌යෙන්ම ඒ ගීතය කරලා එළිදක්වනවාමයි. ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය? මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ දිගු දෑස දුටුවාම ගීතය. ඒ හරහා මගේ ජීවිතය මගේ ගමන වෙනස් වුණු විදිය කියන්න වචන නැහැ. ඒ තුළින් තමා රොමේෂ් සුගතපාල කියන නම සහ පුද්ගලයා හැමෝම හඳුනා ගත්තේ. ඒ ලැබුණු ජනප්‍රියත්වය නිසා මට මගේ විවාහ ජීවිතය ලස්සනට කර ගන්න ගොඩක් අය උදව් කළා. ඊට පස්සේ මගේ නීල දෑසේ, වසන්තේ සහ හිතුමතේ ගීත හරහා තව රසික රසිකාවියන් පිරිසක් මට එකතු වුණා. කොහොමද පුතාත් සංගීතයට නැඹුරුවක් පෙන්නුම් කරනවද? ඇත්තටම එයා ගොඩක් සංගීතයට ළැදි කෙනෙක්. මේ වෙද්දී මගේ මුල්ම රසිකයා මගේ පුතා. දැන් එයාට අවුරුදු 5යි. මගේ එක්කම ස්ටුඩියෝ එකේ තමා වැඩියෙන්ම කාලය ගත කරන්නේ. සංගීත භාණ්ඩ වාදනය කරන්න සින්දු කියන්න එයත් හරිම කැමතියි. ඒ වගේම මගේ ආදරණීය බිරිඳත් සංගීතය ඉගෙන ගත්ත නිසා එයාගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. එයා ලබා දෙන නිදහස නිසා තමා හොඳ නිර්මාණ කරන්න මට මනස හැදිලා තියෙන්නේ. ගායකයෙක් වෙන්නමද හීන මැව්වේ? මට ඕනේ වුණේ කවදා හරි හොඳ සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන්න. මගේ ගීත බොහොමයක්ම සංගීතවත් කළේ මම. මගේ හඬ මිනිසුන්ට දැනෙන හඬක් නිසා ගායකයෙක් විදියට ස්ථාවර වුණා. තවම මම යන ගමනක් තියෙන්නේ. ගමන ඉවර කරලා නැහැ. එහෙම ඉවර කළා කියලා හිතන්න ගිහින් තමා සමහරු කඩා වැටිලා තියෙන්නේ. කලාව නිසා මට ගෙයක් වාහනයක් ලස්සන පවුල් ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ මේ කලාව මම හරියට කළ නිසා. තවම නැග්ගේ පඩි තුනක් හතරක් විතරයි. ඒ නිසා මම මැරෙන තුරාවටම නිර්මාණ කරනවා. අලුත් පරම්පරාව එක්කත් වැඩ කරනවා. කොහොමද ඒ අය? හරිම විවිධාකාරයි. හරිම දක්ෂයි. එයාලා සොයන දේවල් හරිම වෙනස්. මිනිසුන්ගේ මනසට කතා කරන දේවල් කරනවා. අලුත් විදියට හිතනවා. ඒ දේවල් තමා ඕනේ ක්ෂේත්‍රයකට. අලුත් පරම්පරාව ගැන සහ එයාල එක්ක වැඩ කරන්න ලැබීම ගැන මට හරිම සතුටුයි. අනුෂා රණසිංහ
 

More News..