brand logo

නත්තල් දින සුරා සැල් වසනවාට සංචාරක මණ්ඩලයේ විරෝධය

23 December 2019

නත්තල් දින දිවයින පුරා සුරා සල් වැසීමට සුරා බදු දෙපාර්තමේන්තුව ගත් තීරණයට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විරෝධය පළ කර ඇත. නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල්වල සංචාරකයන් වෙනුවෙන් විවිධ උත්සව සූදානම් කර තිබේ. උත්සවවලට සහභාගී වන සංචාරකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීම ගැටලුවක් බව සංචාරක මණ්ඩලය පෙන්වා දී ඇත. එම නිසා රාබී 7 සහ 08 වර්ගයේ බලපත්‍ර හිමි සංචාරක හෝටල්වලට නත්තල් දින මත්පැන් අලෙවි කිරීමට අවසර හිමි වන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේය. කොළඹ අගරද ගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ නත්තල් දින සුරාසල් වැසීමට පියවර ගෙන නොමැති බවයි. එම ප්‍රකාශනයට අනුව මුදල් අමාත්‍යාංශය සුරා බදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ ලබන 25 දින සුරා සල් වසා තබන ලෙසයි. මේ අතර 2020 වර්ෂය සඳහා වූ නව වාර්ෂික බලපත්‍ර ද මේ දිනවල නිකුත් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සංචාරක මණ්ඩලයේ නිර්දේශය ප්‍රමාද වන සුරා සල් සඳහා මාස තුනක තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කළ බව නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවැසීය. උදයජීව ඒකනායක
 

More News..