brand logo

නඩුවට ගෝඨාගේ පැත්තෙන් නීතිඥවරු 300 ක්

06 October 2019

ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් පැවරූ නඩුව මුල්වරට විභාගයට ගැනීම සිදුවූයේ පසුගිය බදාදාය. ‍ ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් සිල්වා, ගාමිණී මාරපන, පාලිත කුමාරසිංහ, කුෂාන් ද අල්විස්, අලි සබ්රි ඇතුළු නීතිඥයන් 300ක් පමණ මෙම පෙත්සම සඳහා ඉදිරිපත් ව සිටි අතර එබැවින් එය සැලසුම් කර තිබූ පරිදි අභියාචනාධිකරණයේ 301කාමරයේ දී විභාගයට ගැනීම ද අපහසු විය. ඉන්පසුව විශාල පිරිසකට රැස් විය හැකි වෙනත් ශාලාවකදී නඩුව විභාගයට ගැනුණු අතර සුසිල්, කෙහෙළිය, අනුර, ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද එහි ගොස් සිටියහ. විශේෂ ම සිදුවීම වූයේ ශ්‍රී.ල.නි.ප.යේ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද එම අවස්ථාවට සහභාගි වී සිටීමය. කෙසේවෙතත් මෙම පෙත්සම් විභාගය පසුදිනට, එනම් බ්‍රහස්පතින්දාට කල්තැබුණු අතර ඉන්පසුව අධිකරණ භූමියේ රැඳී සිටි ගෝඨාභය හිතවාදී මැති ඇමතිවරු තව දුරටත් ‘නඩුව ගැන‘ කතා කරමින් සිටියහ. ‘‘මේක පදනම් විරහිත චෝදනාවක්... රනිල්ගේ පස්සෙන් වැටිලා ඉන්න වියන්ගොඩයි තේනුවරයි මේ පෙත්සම ගේන්නෙම දේශපාලන අරමුණකින්. අවුරුදු පහළොවකට පස්සේ ගෝඨාභයගෙ පුරවැසිභාවය හොයන්න මතක්වෙන්න ඇත්තෙ ගෝඨාභය මේ මැතිවරණයෙන් දිනන බව තහවුරු වෙලා තියෙන හින්දා වෙන්න ඇති...‘‘ සුසිල් කීවේ ය. ‘‘දැන් මේ අය උත්සාහ කරන්නේ කකුල් මාට්ටු දාලා හරි රේස් එකෙන් දිනන්න... මේ නඩුව දැම්මත් එක්කම ඒ අය පරාජයත් පිළිඅරන් ඉවරයි... සජිත් එනවා සජිත් එනවා කිය කිය කොච්චර උඩ පැන්නත් ගෝඨාභය එනවට මේ අය බය යි...‘‘ ප්‍රසන්න කීවේය. ‘‘ඒක ඇත්ත... ගෝඨාභය ආරක්ෂක ලේකම් හැටියට වසර තිහක යුද්ධය අවසන් කරන කොට කවුරුත් එයාගේ පුරවැසිකම ගැන ප්‍රශ්න කළේ නෑ... දැන් අවුරුදු ගාණකට පස්සේ එයා ඡන්දයට එනකොට තමයි පුරවැසිකම හොයන්න හිතුනේ... මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා ඕන කෙනෙකුට තේරෙනවා...‘‘ කෙහෙළිය කීවේ ය. ‘‘අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙක් කියන එක දැන දැනම මහ බැංකුවේ අධිපති තනතුරට පත් කළා... ඔය එන්. ජී. ඕ. කාක්කෝ එක්කෙනෙක්වත් අද වෙනකම් ඒ ගැන කතා කරලා තියෙනවද...? මහ බැංකුව මංකොල්ලකාලා පැනපු හොරා ගැන කතා නොකරන අය ජනාධිපතිවරණය කිට්ටු වෙනකල් ඉඳලා උසාවි ගාණේ රස්තියාදු වෙන්නෙ, ගෝඨාභය දිනන බව දන්න හින්දා...‘‘ සුසිල් ද කීවේය.
 

More News..