brand logo

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

26 September 2020

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස නීතිවිරෝධීව පිහිටුවනු ලැබූ දූෂණ මර්දන කමිටු කාර්යාලය මගින් රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කළා යැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු ලිපිගොනු සකස් කිරීමට සම්බන්ධ වූ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ එච්.එම්.ඩී.එල්.ටී. මුදලිගේ මේ වනවිටත් මහාධිකරණයේ විභාගවන නඩු සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින බව වාර්තා වේ. 2015 ජනවාරි 29 දින ‘‘වංචා හා දූෂණ විමර්ශනය සඳහා ඒකකයක් ස්ථාපිත කිරීම’’ යන ශීර්ෂය යටතේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව එම ඒකකය පිහිටුවා ඇත. නීත්‍යනුකූල නොවන අයුරින් පිහිටුවා තිබූ දූෂණ මර්දන කමිටු කාර්යාලයේ පැවැත්වූ රැස්වීම් සඳහා සභභාගි වීමට නම් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ එහි තාවකාලිකව අනුයුක්තව සිටිමින් සිය මූලික වැටුපට අමතරව එම කමිටුවෙන් මූලික වැටුපේ නමින් සියයට 50%ක දීමනාවක් ලබා ගෙන තිබේ. එහිදී කමිටුවට බරපතළ මූල්‍ය අපරාධ ගණයට වැටෙන පැමිණිලි 438ක්ද, පරිපාලන මට්ටමේ දූෂණ හා අක්‍රමිකතා ගණයට වැටෙන පැමිණිලි 539ක් හා වෙනත් පැමිණිලි 100ක් වශයෙන්ද පැමිණිලි 1077ක් ලැබී ඇත. පසුව එම ලිපිගොනුවලින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට ලිපි ගොනු 137ක් , මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි 263ක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 44ක්, පොලිස් වංචා විමර්ශන කොට්ඨාසයට පැමිණිලි 08ක් හා පොලිස්පතිවරයාට පැමිණිලි 23 වශයෙන් පැමිණිලි 475ක් යොමු කිරීමට එම කමිටු කාර්යාලය කටයුතු කර තිබේ. එසේ යොමු කළ බොහෝමකට මේ වන විටත් මහාධිකරණයේ නඩු ගොනු කර ඇති අතර එම නඩු සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ තුසිත් මුදලිගේ අධිකරණයේ පෙනී සිටියි. ඒ අනුව සිල්රෙදි නඩුව, දිවිනැගුම නඩුව, සංචාරක අමාත්‍යාංශයේ නඩුව ආදියට මෙසේ තවදුරටත් ඔහු පෙනී සිටියි. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්නගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ මේ සම්බන්ධයෙන් නීපතිවරයාගේ අවධානය යොමු කරන බවයි.
 

More News..