brand logo

"නඩුත් නැති බඩුත් නැති " චෝදනාවකට වන්දිගෙවන අවිශ්කලා

20 September 2020

අයි.සී.සී ය හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇටිකෙහෙල් කෑ උගුඩුවා බවට පත්ව තටමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘කුඩු කෑ එකා’ බවට පත්ව ඇඹරෙමින් සිටියි. මේ දෙපාර්ශ්වයේම පුහු බකපණ්ඩිතකම් සහ නෝන්ජල්කම් මැද අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා හා දිල්හාර ලොකුහෙට්ටිගේ යන මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩකයන් ලෙසින් කැපකිරීම් කළ සහ පුහුණුකරුවන් ලෙසින් අපූර්ව ආයෝජනයන් බවට පත්විය යුතු චරිත ‘නඩු නැති වරදකරුවෝ’ වී සිටිති. ඔවුන්ට මේ අවසනාව රැගෙන ආ තරග සංචාරය වන්නේ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැති ‘ටී ටෙන් ක්‍රිකට් ලීගය’ (T 10) නම් ක්‍රිකට් තරගාවලියයි. එය පුද්ගලික අයිතිකරුවන් සහිත කණ්ඩායම් අතර පැවැති තරගාවලියකි. එයට ජාත්‍යන්තරයේ නම දිනූ ක්‍රීඩකයෝ රැසක් සහභාගී වූහ. සමස්ත තරගාවලියේ ‘අයිතිකරු’ වූයේ සාජී හී ‘ටී 10 ස්පෝර්ස්ට්ස් මැනේජ්මන්ට්’ නම් ආයතනයේ සභාපති වන සාජි අල් මල්ක් නමැති ධන කුවේරයෙකි. ඔහු විසින් 2017 ජූලි 05 දාතමින් යුතු ලිපියක් මගින් සිය තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමක් සහභාගි කරවන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියි. 2017 අගෝස්තු 24 වැනිදා මෙයට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාගේ අත්සනින් යුතුව අදාළ තරගාවලියට ශ්‍රී ලංකාවේ පළාත් කණ්ඩායමක් සහභාගි කරවීමට සිය එකඟතාව පළ කරයි. නමුත් එම පිළිතුරු ලිපියේ මෙය අයි.සී.සී යේ අනුමැතිය ලත් තරගාවලියක්ද යන කරුණ විමසීමක් හෝ ඒ ගැන කිසිදු සඳහනක් නැත. මේ අතර එම ලිපි ගනුදෙනුවල සඳහන් නොමැති නමුත් මෙයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ අයිතිකරුවන් ලෙසින් ඉන්දියානු ජාතිකයක් දෙදෙනෙක්ගේ නම් කියැවෙයි. එවැන්නක් සිදුවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුම ඇතිවද නැතිවද යන්න කිසිවෙක් නොදනී. අවසානයේ එම වසරේ දෙසැම්බර් මස 21 සිට 24 දක්වා පැවැති මෙම තරගාවලියට දිනේෂ් චන්දිමාල්ගේ නායකයත්වයෙන් යුත් කණ්ඩායමක් සහභාගී වෙයි. එහි පුහුණුකරුවන් ලෙසින් අවිශ්ක සහ සොයිසා සහභාගීවන අතර දිල්හාර මෙම සංචාරයට කිසිදු අයුරකින් සහභාගීවූවෙක් නොවේ. නමුත් ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රාජ්‍යය බව පවසමින් මෙරටට පැන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමෙන් මාස 10ක් පුරා සිනැමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලැග සිටි අයි.සී.සී දූෂණ මර්දන ඒකකයේ ‘බෙරේ පළු දෙකම නැති නාඩගම’ අවසානයේ මෙම ටී 10 තරගාවලිය නැවත කරලියට එමින් එහිදී සිදුවූයේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් අවිශ්ක, සොයිසා සහ දිල්හාර ඇතුළු කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි. මේ ප්‍රශ්න කිරීම සිදුවන්නේ 2019 පෙබරවාරි මසදීය. අයි.සී.සී ය මෙම ප්‍රශ්න කිරීමේදී දමා ඇති ‘පොලිස් පාට්’ මූලික මිනිස් අයිතිවාසිකම්ද උල්ලංඝනය කරන ආකාරයේ වන නමුත් ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හෝ නැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කොන්දක් තිබුණේ නැත. නමුත් අයි.සී.සී ය විසින් තමන් වෙතින් ඉල්ලා සිටි දුරකථන තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු ආදී සියල්ල ඒ අයුරින්ම ලබාදීමටද අවිශ්කලා ක්‍රියා කළහ. අවසානයේ අල්ලා ගැනීමට දෙයක් නොමැති වූ කල, දඩ කොළය ලීවීමට කුමක් හෝ හේතුවක් හොයාගන්නා ට්‍රැෆික් පොලිස් රාලහාමිගේ න්‍යාය අනුගමනය කළ අයි.සී.සී යේ අදාළ කමිටුව, මෙම කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ කටඋත්තරයක් මත පදනම්ව අපූරු චෝදනාවක් එල්ල කළේය. එනම් තරගාවලිය අතරතුර භාහිර පාර්ශ්වයක් පැමිණ අවිශ්ක හා සොයිසා සමග කතාබහක යෙදී ඇති බවත් ඔවුන් ඒ බව අයි.සී.සීය වෙත වාර්තා නොකළ බවත්ය. එය හුදෙක් ක්‍රීඩකයකුගේ කටඋත්තරයක් පමණක් වන අතර අයී.සී.සී නියෝජිතයන් මෙහිදී ප්‍රශ්න කර ඇති ආකාරය හා සසඳා බලන විට මෙය ඔවුන් විසින් එම ක්‍රීඩකයාගේ ‘කටේ ඔබා’ ඔවුන්ම එළියට ගත් උත්තරයක්ද යන සැකයද මතුවේ. අවසානයේ කියන්නට එවැනි හෝ දෙයක් නොවී නම්, ලංකාවට පැමිණීමේදී තමන් දුන් පඬි ප්‍රකාශ ‘අතේ රෝල්’ බවට පත්වනු අැතැයි සාධාරණ බියක් අයි.සී.සී තුළ හටගත්තාද විය හැක. කෙසේ නමුත් 2019 මැයි මාසයේදී අයි.සී.සී.ය විසින් එවන චෝදනා පත්‍රය හිස නමා භාරගෙන එය මෙම තිදෙනා හට යොමුකර අත පිහිදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කළේය. එවක සිටි ක්‍රීඩා ඇමැති හරීන්ද මෙහි දිගක් ඵලලක් නුදුටුවා විය යුතුය. කෙසේ නමුත් එතැන් පටන් මේ දක්වා මාස 16ක පමණ කාලයක් මෙය හුදෙක් චෝදනාවකට පමණක් සීමා වී ඇති අතර චෝදනාව විභාගයට ගෙන තීන්දුවක් ලබාදෙන තුරු චූදිතයන් තිදෙනාට ක්‍රිකට් සමග ජාත්‍යන්තර මට්ටමෙ කිසිදු යෙදීමකට අවසර නැත. නමුත් තමන්ගේ වගකීම යටතේ සිටි පිරිසක් චූදිතයන් බවට පමණක් පත්කර, නඩුව නොවිමසා එම වෘත්තීය දියකර හරින්නේ මන්දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අයි.සී.සී යෙන් විමසන්නේද නැත. අයි.සී.සී ය චෝදනා පත්‍රයක් අතේ තබන් ‘තටමන්නේ’ මන්ද යැයි බැලූ බැල්මට පැහැදිලිය. මෙම තරගාවලියේ ස්වභාවය අනුව මෙය අයි.සී.සී අනුමැතිය නොලද පුද්ගලික මට්ටමේ ඉසව්වකි. මෙහි සිය දූෂණ මර්දන අධීක්ෂණයක් වූ බව අයි.සී.සී විසින් පවසා සිටියද ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂියක් හෝ ගිවිසුමක් ඉදිරිපත් කිරීමට අයි.සී.සී යට මෙතෙක් හැකිව නැත. මෙම තරගාවලියේ සිදුවූයේ යැයි කියන එම සිදුවීම ගැන වචන මාත්‍රයක් මිස ඉන් එහාට ඔප්පු කර ගැනීමට කිසිදු හැකියාවක්ද ඔවුනට නැත. කරන්නන් වාලේ චෝදනා කළාට දැන් ඇටිකෙහෙල් කෑ උගුඩුවා විලසින් සිටීම හැර අන් පිළිතුරක් අයි.සී.සී ය සතුව නොමැති අයුරකි. මෙම චෝදනාව නගා ඇත්තේ එම තරගාවලිය පැවැති එමිරේට් ක්‍රිකට් මණ්ඩලයේ නීතිරීති අනුව බවට අයි.සී.සී ය විසින් ‘සුහුඹුල් පදනමක්’ පෙන්වා ඇතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටි අවිශ්කලා, සොයිසලා එමිරේට් ක්‍රිකට් මණ්ඩලයේ නීති වලට යටත් වන්නේ කෙසේද? මෙම කරුණු සක්සුදක් සේ පැහැදිළිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ ‘නොකර සද්ද’ සිටිනුයේ හේතු ගණනාවක් නිසාය. එකක් ඔවුන් මෙම කණ්ඩායම විදේශගත කර ඇත්තේ මෙරට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරවය. එසේම මෙය මෙරට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් පත්කළ ජාතික තේරීම් කමිටුව විසින් තෝරාදුන් කණ්ඩායමක්ද නොවේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම කණ්ඩායම විදේශගත කර ඇත්තේ අත්තනෝමතිකවය. එසේම අයි.සී.සී ය අනුමත නොකළ තරගාවලියක් වෙත කණ්ඩායමක් යවා ඇත්නම් එය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කර ඇති බරපතළ වරදකි. එසේම මෙම කණ්ඩායම තරගාවලියට සහභාගීකරවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් හෙවත් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සංවිධායකයන් ගෙවා ඇති බවක්ද කියැවේ. එම මුදල් අවසානයේ බැරවූයේ කා වෙතද යන්නත් මෙහි අවශේෂ පැනයක් වේ. මෙම සිදුවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුඩු කෑ එකාගේ භූමිකාව රඟදක්වනුයේ මන්ද යන්න ඒ අනුව පැහැදිළි වේ. කරුණු එසේ තිබියදී තමන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් අවිශ්ක ඇතුළු තිදෙනා විසින්, මෙයට මැදිහත්වන මෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඒ පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්විය. දැන් එම කමිටුව, ක්‍රීඩා අමාත්‍යංශයට මේ සඳහා මැදිහත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇත. මෙය මෙරට අධිකරණ පද්ධතියට අදාළ කාරණාවක් නොවන විට නීතිපති උපදෙස් කුමකටදැයි අපි නොදනිමු. නමුත් රටේ අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් මෙම චෝදනාව විභාගයට ගෙන, එහි තීන්දුව තමන් යටතේ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා අයි.සී.සීයට දන්වන්නේ නම් එය අවසන් තීන්දුවක් වෙනුවෙන් එකී ආයතන දෙකටම මහත් බලපෑමක් කරනු ඇත. නැතිනම් ජාත්‍යන්තර සමථකරණ අධිකරණයකට යෑමට මෙම තිදෙනා වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමක් සිදුවිය යුතුය. මන්ද මොවුන් මේ චෝදනාවට ලක්වන්නේ ඩුබාහි සාප්පු සවාරියක් යෑමේදී නොව, ශ්‍රී ලංකා රජයට වගකියන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයක් මත (ජාතික මට්ටමෙන් නොවූවද) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කළ සංචාරයකදී නිසාය. තවත් විකල්පයක් තිබේ. එනම්, ඉකුත් දා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකාවක වන ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය සම්බන්ධයෙන් හදාරා ඇති රොවේනා සමරසිංහගෙන් මේ පිළිබඳව උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීමයි. නාමල් රාජපක්ෂ වැනි ක්‍රීඩාව සම්බන්ධයෙන් මනා සංවේදීකමක් සහිත ක්‍රීඩා අමාත්‍යවරයකු විසින් රටේ ක්‍රීඩාවේ අනාගතයේ නාමයෙන් මේ අවනඩුව විසඳීමට මැදිහත්විය යුතුමය. මන්ද අවිශ්ක සහ සොයිසා පුහුණුකරුවන් ලෙසින් පෙරට ඇදෙමින් තිබූ චරිතය. මේ අතුරින් අවිශ්ක ගුණවර්ධන යනු පාසල් ක්‍රිකට් පුහුණුකරුවකුගේ සිට සියලු ස්ථරවල කණ්ඩායම් ඉතා දක්ෂ ලෙස පුහුණුකරමින් ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු බවට පත්වීමට දොරට තට්ටු කරමින් සිටි අයෙකි (අවිශ්කට මෙවැනි ‘අභූත’ ඉරණමකට ලක්වන්නට සිදුවූයේත් ඒ නිසාමද විය හැක) එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ කණ්ඩායම් නායකයාව සිටියදී පුහුණුකරුවකුගේ භූමිකාවද ඉටුකරමින් තරග අංශ තුනෙන්ම ශූරතා දිනා දී, ජාතික කණ්ඩායමෙන් ඉක්මනින් සමුගෙන පුහුණුකරුවෙක් වීම වෙනුවෙන් ඔහු වැනි අයකු කළ කැපකිරීම අයි.සී.සී යේ ‘නඩුත් නැති බඩුත් නැති’ චෝදනාවක් හමුවේ අපතේ යවනවාද? තමන් දන්නා, තමන් ප්‍රගුණ කළ වෘත්තිය අහිමි වී දහසය මසක් පුරා රැකියා විරහිතභාවයෙන් විඳවන මේ තුන්කට්ටුවේ දුක නොදැනෙන ක්‍රිකට් පරිපාලනයක්, ක්‍රීඩා අමාත්‍යංශයක් කුමට? ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..