brand logo

නංගි බලන්න මනාලයෙකු ආවැයි අක්කා කපුවාගේ ඔළුව පළලා

17 September 2020

නැගණිය බැලීමට මනමාලයකු පැමිණීම ගැන උරණ වූ අක්කා කපුවාට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් රත්නපුරයේ ගම්මානයකින් අසන්නට ලැබේ. තම වැඩිමහලු දියණියට මනාලයකු සොයන ලෙස දෙමාපියන් කපුවකුට භාර කොට තිබිණි. කපුවා මනාලයන් කීපදෙනකුම කැඳවාගෙන ආවද ඒ කිසිවකු ඇයට කැමැති නොවීය. ඒ අතරින් දෙදෙනකු බාල දියණිය ගැන විමසා ඇත. පසුව දෙමාපියන් කල්පනා කොට ඇත්තේ පළමුවෙන් බාල දියණියටවත් විවාහයක් කරදීමටය. එම අදහස කපුවාට දැන්වීමෙන් පසු ඔහු බාල දියණියට සුදුසු මනාලයකු සොයාගෙන නිවසට පැමිණෙන දිනයක්ද යොදාගෙන තිබිණි. නියමිත දිනයේ කපුවා සමග මනාල පාර්ශ්වයේ උදවිය තරුණියගේ නිවසට පැමිණීමෙන් පසු නිවැසියන් විසින් පිළිගැන්වූ තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳිනු ලැබීය. දෙපාර්ශ්වයේ අය සතුටු සාමීචියේ යෙදී සිටියදී කපුවා සිටියේ මිදුලේ බංකුවක් මතය. කෑගැසිල්ලක් ඇසී පිරිස වටපිට බලද්දී දැක ඇත්තේ කපුවා ඔළුව අල්ලාගෙන විලාප දෙන ආකාරයයි. ඔළුවෙන් ලේ ගලමින් තිබිණි. කපුවා පවසා ඇත්තේ තරුණියගේ අක්කා තමාට පොල්ලකින් ගැසූ බවයි. මනාල පාර්ශ්වයේ අය නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් කපුවාට ප්‍රතිකාර කොට තිබේ. ශ්‍රියන්ති බණ්ඩාර - එරත්න
 

More News..