brand logo

ධීවර සංස්ථා සේවකයින්ගේ බැංකු ණය හිරවෙයි

01 September 2019

ධීවර සංස්ථාවට අයත් සේවකයින් ලබා ගත් බැංකු ණය ආදිය සඳහා ඔවුන්ගේ වැටුපෙන් අඩුවිය යුතු වාරික මුදල දැනට මාස හයකට වැඩි කාලයක සිට එම සංස්ථාව මඟින් අදාළ ආයතන සඳහා ගෙවා නොමැති බව ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.එච් නිශාන්ත පවසයි. ඒ අනුව බැංකු ණය මෙන්ම ගෙවීමේ ක්‍රමයට ලබා ගන්නා බඩු මුට්ටු සඳහා වන වාරිකයට දඩ පොළියක්ද එක්ව ඇති අතර මේ හේතුවෙන් සේවකයින් මෙන්ම එම මූල්‍ය ආයතනද අපහසුතාවට පත්ව සිටී. එමෙන්ම පසුගිය මාස දහයක කාලයක සිට වෘත්තීය සමිති සඳහා අඩුවිය යුතු මුදලද නොගෙවා සංස්ථාව තුළ තබාගෙන සිටින බව ලේකම්වරයා කීය. මේ පිළිබඳව පාලනාධිකාරිය මෙන්ම විෂය බාර අමාත්‍යවරයාද , ලේකම්වරයාද දැනුවත්කොට ඇති නමුත් මේ වන තෙක් ප්‍රතිචාරයක් ලැබී නැත. මේ අතර ධීවර සංස්ථා සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වන අතර මේ පිළිබඳව ඔහුගෙන් විමසීම සඳහා අරුණ ගත් උත්සහය ව්‍යර්ථ විය . ශිරන්තනි මානවඩු
 

More News..