brand logo

ධීවරයන්ට හා යාත්‍රාවන්ට අනතුරු

27 February 2021

ධීවර වරායවල තැන්පත් වී ඇති වැලි ඉවත් කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී ආයතන ගණනාවකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වීම නිසා වැලි ඉවත් කිරීමට බාධා මතුව ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි. මේ නිසා ධීවර යාත්‍රාවලට හානි නොවන පරිදි ගමනාගමනයට ආරක්ෂිත සේවාවන් ලබා දීමේ ගැටලු මතුව ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ධීවර වරායවල බේසම්වල වැලි ඉවත් කිරීමට භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය මත බලපත්‍ර නිකුත් කරයි. බලපත්‍ර ලබාගැනීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව ආයතන සමග සම්බන්ධීකරණය කළද අනුමැතියට විවිධ බාධා මතුව තිබේ. මේ නිසා 2008 වර්ෂයේ සිට 2020 කාලය තුළ වැලිපරයන්හි ධීවර යාත්‍රා ගැටීමෙන් ධීවර මරණ 25 ක් සිදුව ඇත. නියමිත පරිදි වැලි ඉවත් නොකිරීම නිසා කැළි කසළ රැඳීම, අධික දුර්ගන්ධයන් ඇති වීම හේතුවෙන් ධීවර ප්‍රජාවද අපහසුතාවට පත්ව තිබේ. මේ නිසා වැලි කැණීම් සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු අනුමැතිය ලබා නොගෙන ධීවර වරාය නීතිගත සංස්ථාවට බලපත්‍ර සකස් කිරීමට අනුමැතිය ලබාදීමට අමාත්‍යාංශ අවධානය යොමු වී තිබේ. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යටතේ ධීවර වරාය 22 ක් ක්‍රියාත්මකය. නැංගුරම් පොළවල් 15 ක් ද සංස්ථාව සතු වෙයි. උදයජීව ඒකනායක
 

More News..