brand logo

සජිත් සල්ලි අරන් තියෙන්නෙ මටවත් කියල නෙවෙයි

02 September 2019

පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් පැවසුවේ, මේ දිනවල පක්ෂ විනය කඩකරන්නන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්නට අදාළ පියවර ගනිමින් සිටින බව ය. මේ අතර ‘සජිත් නොසිටින වේලාවක් බලා’ නැඟී සිටි රවී කරුණානායක මෙසේ කීවේ, කාගේත් අවදානය ඒ වෙතට යොමුකරමිනි. ‘‘සජිත් පහුගිය කාලෙ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන 1.2 ක් විතර අරන් තියනවා... ඒ මුදල් සම්පූර්ණයෙන් ම වියදම් කරලා තියෙන්නෙ එයාගෙ ප්‍රචාරණ වැඩවලට... මම යෝජනා කරනවා, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා...’’ එවිට රනිල් මෙසේ කීවේ, රවී කළ යෝජනාව අනුමත කරමිනි. ‘‘මධ්‍යම සංස්කෘතික අරමුදලේ භාරකාරත්වයට මමත් ඇතුළත්... සජිත් සල්ලි අරන් තියෙන්නෙ මටවත් කියල නෙවෙයි... කොහොම වුණත් ඉක්මනින් ම මේ ගැන පරීක්ෂණයක් කරන බවට මං පොරොන්දු වෙනවා...’’ සඳුදා රවීට පොරොන්දු වූ ආකාරයට ම පසුවදා ම ඒ සම්බන්ධයෙන් කටයුතු කළ රනිල්, සජිත් විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගත් රුපියල් බිලියන 1.2 ගැන සොයන්නට පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේ ය. එමෙන් ම ඒ බව අඟහරුවාදා කල් වේලා ඇතුවම අරලියගහ මන්දිරයට පැමිණි රවීට කියන්නට ද අමතක නොකළ රනිල්, එදිනට යෙදී තිබුණු එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වන්නට සූදානමින් සිටින සෙසු පක්ෂ වල නායකයන් සහ එ.ජා.ප. නායකයන් අතර සාකච්ඡාවට සහභාගී විය. වෙනදා මෙම සාකච්ඡාවට සහභාගි වන මංගල සමරවීර එදා එම සාකච්ඡාවට කැඳවා නොතිබීම ද විශේෂත්වයක් වන අතර, ඒ අනුව ‘සජිත් පාර්ශ්වය වෙනුවෙන්’ එහි පැමිණ තිබුණේ, කබීර් හෂීම් ය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂ සන්ධානයේ ‘ජනාධිපතිවරණ අපේක්ෂකයා’ නම් කිරීමට අදාළව ‘දස දෙනෙකුගෙන් යුත් නාමයෝජනා මණ්ඩලයක්’ නම් කිරීම සඳහා එහිදී එකඟතාවක් ඇති කරගත හැකි වූ නමුත්, එම නාමයෝජනා මණ්ඩලයේ ‘සංයුතිය’ සම්බන්ධයෙන් විවිධාකාර ‘නොඑකඟතා’ ඇති විය. සජිත් පිලේ කැමැත්ත තිබුණේ, එම නාමයෝජනා මණ්ඩලයෙන් 5 ක් එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම ය. එහෙත් රනිල්ට ඕනෑ වූයේ, සෙසු පක්ෂ නියෝජිතයන් 9 ක් සමඟ එ.ජා.ප.යෙන් තමන් පමණක් ඉදිරිපත් වී ‘ඡන්ද 10 ක්’ පාවිච්චි කිරීමේ බලය තමන් සතු කරගැනීමට ය.මෙහිදී රනිල්ගේ මෙම ඉල්ලීම අතිශයින් ම විවාදාපන්න වූ අතර සෙසු පක්ෂවල සාමාජිකයන් වශයෙන් එහි සිටි මනෝගනේෂන්, රවුෆ් හකීම් වැන්නන්ගේ ඉවසීම ද නැතිවන්නට පටන්ගත්තේ ය. ‘‘දැන් මෙතන තියෙන්නෙ සම්පූර්ණයෙන් ම එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ ප්‍රශ්නයක්... ඔබතුමන්ලා කතා බහ කරලා ඇතුළෙ ප්‍රශ්නෙ විසඳගත්ත නම්, අපේක්ෂකයා නම් කිරීම තවත් ප්‍රමාද වෙන්නෙ නෑනෙ... මේ වැඩෙන් වෙන්නෙ ගෝඨා ටික ටික දවසින් දවස ඉස්සරහට යන එක...’’ මනෝගනේෂන් කීවේ ය. ‘‘ඒ කතාව ඇත්ත... මෙහෙම ගියොත් මුස්ලිම් නායකයො වගේ ම ඡන්ද ටිකත් ඒ පැත්තට ම යයි... මොකද ඒ අයත් උනන්දුවෙනවා ඇත්තෙ දිනන පක්ෂයකට යන්න...‘‘ රාවුෆ් හකීම් කීවේ ය. කෙසේවෙතත් ‘හොඳම කතාබහ’ ඇතිවූයේ ‘නිල මට්ටමින්’ පැවති මෙම සාකච්ඡාවෙන් පසුව ය. ‘‘හැමෝම කියනව වගේ මේක තවත් කල් දාන එක නම් හොඳ නෑ... මට ආරංචි හැටියට මේ වෙලාවෙ ජයම්පති වික්‍රමරත්නත් ජේ.වී.පී. අපේක්ෂකයාට සහාය දෙන එක ගැන හිතමින් ඉන්නවා... දෙගොල්ලො අතරෙ හමුවීමකුත් වෙලා තියෙනවා... කොහොමටත් ලාල් විජේනායක නම් දැනටමත් ඒ පැත්තට හේත්තු වෙලා ඉවරයි...’’ රාජිත කීවේ ය. ‘‘අපි දෙකට බෙදිලා වෙන වෙනම රැස්වීම් තියන එකත් නවත්වන්න ඕනි... නැත්නං ඇත්තටමට අපි ඔක්කොම ගෝඨාට සපෝට් කරන තත්ත්වයට වැටෙනවා...’’ තවත් අයෙක් කීවේ ය.
 

More News..