brand logo

ධම්මික පෙරේරා රට හදන විදිය කියයි

03 July 2022

ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා ලෙස හැඳින්වෙන ධම්මික පෙරේරා දැන් ඇමැතිවරයෙකි. හේලීස්, සිංගර්, ඩෙල්මේජ්, වැනි දැවැන්ත සමාගම් පමණක් නොව එල්.බී. ෆිනෑන්ස්, වැලිබල් ෆිනෑන්ස්, සම්පත් බැංකුව, පෑන් ඒෂියා බැංකුව ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ සභාපතිකම් රැසක් දරා ඇති ඔහු පාලනය කළ සියලු ව්‍යාපාර ලාභ ලබන ආයතන බවට පත්විය. දැන් ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස දිව්රුම් දුන් ඔහුට බංකෙලොත් වී ඇති මේ රට ගොඩ දැමිය හැකිද. මේ ඔහු සමග දෙරණ නාළිකාව කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි. ඔබව කලින් හැඳින්වූයේ ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා කියලා. නමුත් දැන් ඔබ ලංකාවේ ඇමැති කෙනෙක්. මේ ඇමැතිකමත් එක්ක ධම්මික පෙරේරා පුංචි වෙලා වගේද? රටක මේ වගේ අර්බුදයක් මතු වුණහම තමන් පුංචිද ලොකුද කියන එක වැදගත් නැහැ. රට වෙනුවෙන් ඉදිරිපත්වීම තමයි යුතුකම. මම හැමදාම මෙතැන ඉන්නෙ නැහැ. නමුත් රටට අමාරු වුණහම පුංචි තැනකට ඇවිත් හරි මම වැඩ කරන්න ලෑස්තියි. ඔබ මීට පෙර සමාගම් රැසක අධ්‍යක්ෂ මණ්ඩලවල අසුන්ගෙන තිබෙනවා. නමුත් දැන් පළමු වතාවට කැබිනට් මණ්ඩලයකත් අසුන් ගත්තා. මේ අලුත් අත්දැකීම මොනවගේද? මට ඒ ගැන දැන්ම යමක් කියන්න බැහැ. හැබැයි මේකට උත්තරයක් මාස තුනකට පස්සෙ කියන්නම්. මම කොහොමත් ධනාත්මක කෙනෙක්. අපි සාමාන්‍යයෙන් ගන්නෙ බංකොළොත් සමාගම්නෙ. හැමතිස්සෙම සමාගමක් බංකොළොත් වුණහම තමයි අනිත් අය ඒක විකුණන්නෙ. ඒව තමයි අපි හදන්නෙ. මේකත් බංකොළොත් කියලා නම් කරපු රටක්නෙ. එතනට මම ඇමැති කෙනෙක් විදියට ගිහින්. මම මේ තත්ත්වය සුබවාදීව තමයි දකින්නෙ. මාස හයක් විතර යනකොට මේක සුබාවදී පැත්තට ගන්න පුළුවන් කියන අදහසේ තමයි මම ඉන්නේ. ඔබ බංකොළොත් ආයතන මිලදී ගැනීමේදී ඔබ ඉන්නෙ එහි මූලාසනයේ. ඔබට ඒවා ගැන තීන්දු තීරණ ගන්න පුළුවන්. නමුත් ඔබ කැබිනට් මණ්ඩලයේ එක් සාමාජිකයෙක් විතරයි. ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයිද? බංකොළොත් සමාගම්වල වුණත් වෙනත් සභාපතිවරු ඉන්න වෙලාවල් තියෙනවා. මම ඒ වෙලාවට සමසභාපති හරි අධ්‍යක්ෂවරයෙක් විදියට හරි තමයි සම්බන්ධ වෙන්නේ. එහෙම කරලත් මම හදල තියෙනවා. ඒ නිසා කැබිනට් එකේ ඉඳීම තමයි වැදගත් වෙන්නේ. මේ ඇමැතිකම ලැබුණෙ ජනාධිපතිවරයා කරපු ආරාධනයකට අනුවද? නැත්නම් ඔබ ගිහින් කිව්වද මට වැඩ කරන්න ඇමැති ධුරයක් දෙන්න කියලා? මට ලැබුණේ ආරාධනයක්. ඒ අනුවයි මම මේක පිළිගත්තේ. ඔබ ජීවිත කාලය පුරා විවිධ අත්හදාබැලීම් කරල තියෙනවා. මේකත් එක අත්හදාබැලීමක්ද? නැහැ. එහෙම කියන්න එපා. අද රට පත්වෙලා තියෙන තත්ත්වය දන්නවනෙ. මේ වගේ වෙලාවක අත්හදා බලන්න බැහැ. මේක පොඩි සෙල්ලමක් නෙමෙයි. මේක ගොඩගන්න බැරි වුණොත් අපට තියෙන පිළිගැනීම නැතිවෙනවනෙ. ඒ සියල්ල දැනගෙන තමයි මම මෙතැනට ආවේ. ඔබ මේ පටන්ගත්තෙ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගියා වගේ ගමනක්ද? මෙතැනින් පටන් අරගෙන ජනාධිපති පුටුව කරා යන ගමනක්ද මේක? ඕවා කතාකරන්න කලින් මේ රටේ දැවෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කළ යුතුයි. අපි ඒ ප්‍රශ්නවලට විසඳුම් කතා කරමුද? කාටහරි ලකුණු සීයක් ගහන්න කිව්වොත් අද ගහන්න ඕනේ පළමු බෝලෙටනෙ. එහෙම ගහනවා මිසක් මම පනහ සීය ගහන්න කතාකරන්නෙ නැහැ. ඔබ දෙදාහස් තිහ වෙනකම් ඔබේ සැලසුම් ගැන සඳහන් කරලා කෘතියක් පවා රචනා කරලා තියෙනවා. නමුත් දැන් ඒ කෘතියේ සඳහන් සැලසුම් ක්‍රියාත්මක කිරීම අසීරුයි. මොනවද ඔබට තියෙන ක්ෂණික ක්‍රියාමාර්ග? රටකට ණය ගන්න, ණය ගෙවීමේ හැකියාව තියෙන්න ඕනේ. අනාගත මුදල් ගලාඒමේ මාර්ග ගැන කියන්න තමයි මම මේ කෘතිය ලිව්වේ. මේ කරුණු විතරක් නෙවෙයි, තවත් සුමාන දෙකක් ඇතුළත මම ලේඛනයක් හදනවා මේ මුදල් ගලාඒමේ මාර්ග ගැන සඳහන් කරලා. හැ​මෝම කතාකරනවනෙ නමුත් තමන්ගෙ දැක්ම පොතකින් පළකරපු කෙනෙක් ඔබ දැකලා තියෙනවද? ඒ සඳහා ක්‍රියාකාරී සැලසුමක් ප්‍රකාශයට පත් කරනවා ඔබ දැකලා තියෙනවද? එහෙම එකක් නැහැ. අමාත්‍යාංශයක නම් ඒකට අදාළව කරුණින් කරුණ සඳහන් වෙන්න ඕනේ සංවර්ධන කටයුතු කරන ආකාරය ගැන. මම මේ කෘතිය මගින් අමාත්‍යාංශ විසි තුනක සංවර්ධන කටයුතු කරන ආකාරය ගැන සඳහන් කරලා තියෙනවා. නමුත් පෙට්‍රල්, ඩීසල් වගේ ගැටලුවලට කෙටි කාලීනව විසඳුම් ඔබේ කෘතියේ ඇතුළත් වෙනවද? ඔය කෘතියේ සඳහන් වෙන්නේ ඉක්මනින් ණය ලබා ගැනීම පිළිබඳව. ණය ලබා ගැනීමේදී ණය ආපසු ගෙවීම ගැන අහනවා. එතැනදි අපි ව්‍යාපෘති සකස් කරලා පෙන්නන්න ඕනේ. අපට අනාගතයේ මුදල් ලැබෙන්නෙ ​මේවා හරහා කියලා. හොඳම උදාහරණය පෞද්ගලික විශ්වවිද්‍යාල. ලෝකයේ පෞද්ගලික විශ්වවිද්‍යාල නැති එකම රට තමයි ලංකාව. හැම රටේම පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ලංකාවේ ළමයි තිස්පන්දාහක් හැම වසරකම පිටරට යනවා අධ්‍යාපයට. ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් විදියට තවත් තිස්පන්දාහක් ඉන්නවා. තුන්වෙනි වසරේ තවත් තිස්පන්දාහක් ඉන්නවා. එතකොට හැමතිස්සේම එක අවුරුද්දකදි ළමයි එක්ලක්ෂ පන්දාහක් රටින් පිට ඉගෙන ගන්නවා. මේ ළමයි වෙනුවෙන් අපිට ඩොලර් බිලියන දෙකහමාරක් ඕනේ. ඒ ප්‍රමාණය රටින් පිටවෙනවා. අද අපිට කොච්චරක් මදිද? ඩොලර් බිලයන පහක් තිබුණ නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ නැහැ. එතකොට ප්‍රශ්නය බාගයක්ම තියෙන්නෙ එතන. හැබැයි මේකට උත්තරේ ළමයි යන එක නවත්තන එක නෙමෙයිනෙ. ලංකාවෙ හොඳ පෞද්ගලික විශ්වවිද්‍යාල ටිකක් හදලා පිටරටින් ළමයි ගේන්න ඕනේ. යන ළමයි ගාණට සමානව පිටරටින් ළමයි ඕනේ. රට එතැනට හදන්නෙ නැත්නම්, මේ ප්‍රශ්න කවදාවත් ඉවර වෙන්නෙ නැහැනෙ. නමුත් මේ යෝජනාව ප්‍රායෝගිකද? ඒ වෙග්ම ඔබ මේ කෘතියේදී වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කරන්නෙ නැහැ. මොකද වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කරපු ගමන් මේ ව්‍යාපෘතිය දියාරු වෙනවා. මම වෛද්‍ය විද්‍යාල ගැන කතා කරන්නෙ නැත්තේ රටේ ප්‍රශ්නෙන් ඔය කොටසට අයිති වෙන්නෙ සීයට දෙකක්, නැත්නම් තුනක් වෙන නිසා. සීයට අනූ හතක් කරන්න පුළුවන්කම තියෙද්දි, මම ​මොකටද ඕක අස්සෙ වෛද්‍ය විද්‍යාල ගහන්නෙ? මම ඒක ගැහුවෙ නැහැ. මොකද ප්‍රායෝගිකව මම දන්නවා. ඒ සීයට තුන මෙතනැට දැම්මොත් ඕකට වෛද්‍යවරුන් මැදිහත්වෙලා ලොකු ප්‍රශ්නයක් කරගන්නවා. ඒ ප්‍රශ්නය මග හරින්න තමයි ඉතුරු අනූ හත ගැන කතා කරන්නේ. අවුරුදු පහක් ඇතුළත විදේශ මුදල් බැංකු තැන්පතු ඩොලර් බිලියන පහකින් වැඩි කිරීම පිළිබඳව ඔබ පළවැනි යෝජනාවෙන් කතා කරනවා.​ මේකෙ ප්‍රායෝගික තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන්ද? ඔබ කියනවා විදේශීය පුද්ගලයන්ට නේවාසික වීසා ලබාදීම ගැන. ඔබ හිතනවද තෙල් නැති, කරන්ට් කපන, ඖෂධ ගැන විශ්වාසවක් නැති රටකට වසර දහයකට වීසා අරගෙන විදේශීය පුරවැසියන් එයි කියලා? ලංකාවෙ මාලදිවයින් ජාතිකයො නැවතිලා ඉන්නවා දොළොස් දාහක්. ඒගොල්ලො අවුරුද්ද ගාණෙ වීසා අලුත් කරනවා. විවාහ ඔස්සේ සම්බන්ධ වුණු තවත් හත්දාහක විතර පිරිසක් ඉන්නවා. ඒ විසිදාහෙන් සීයට විසිපහක් ගත්තත් පන්දාහක් විතර ඉන්නවා. එතකොට ඒ අය මාලදිවයිනේ ඉඳලා එන්න ඕන නැහැ. ඒ අතරින් දහදාහක් හොයා ගන්න එක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනේ. මේ වීසා ලබා දෙන්නෙ ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට. ඔබ හිතනවද මේ මාලදිවයින් ජාතිකයන්ට ඒ තරම් වත්කමක් තියෙනව කියලා? ඔබ දන්නවාද මාලදිවයිනේ ඒකපුද්ග ආදායම ඩොලර් දොළොස් දාහයි කියලා. අපේ තියෙන්නෙ ඩොලර් දෙදාස් පන්සීයක් විතර. මාලදිවයින කියන්නෙ අපේ වගේ පස්ගුණයක ආදායමක් තියෙන රටක්. මාලදිවයින කියන්නෙ වතුරෙ හෝටල් ගහලා මුහුදේ සද්දෙයි දර්ශනයයි ​දෙකම විකුණන රටක්. අපි කරන්නේ හෝටලේ පිටිපස්සට ගෙනැල්ලා සද්දේ නැතිව දර්ශනය විතරක් විකුණන එක. ඒ මිනිස්සු ඩොලර් අටසීයට විකුණනවා. අපි ඩොලර් අනූවට විකුණනවා. මාලදිවයිනට ගියොත් හෝටලේ ඉඳලා වතුරෙ සද්දෙ අහන්නත් පුළුවන්. ඒ දර්ශනයත් තියෙනවා. ලංකාවේ සද්දෙ ඕෆ් කරලා තියෙන්නේ හෝටලේ පිටිපස්සට අරගෙන තියෙන නිසා. මිනිසුන්ගේ ඔළුවේ තියෙන එක එක දේවල්, මේ රටේ කරන්න ගිහිල්ලා තමයි රට මෙතනට වැටිලා තියෙන්නේ. අල්ලපු රටේ ඒක කළත්, මේ රටේ කරන්න දෙන්නේ නැහැ. ඔබ ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක්. හෙට අපේ ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණයෙන්ම හාන්සියි? මේකට ප්‍රධානම හේතුව ඩොලර් නැතිවීම. වෙන මොකක්ද මේ රටේ තියෙන ප්‍රශ්නය. ප්‍රවාහනය නැතිවෙන්නේ ඉන්ධන ගේන්න සල්ලි නැති නිසා. නමුත් පොදු ප්‍රවාහනය පදනම් කරගත්තු ප්‍රවාහන පද්ධතියක් තිබුණා නම් මීට වඩා ඉන්ධන පරිභෝජනය අඩුකරගන්න පුළුවන්කම තිබුණා නේද? ඒක හෙටත් කරන්න පුළුවන්. කොළඹ නගරය ආශ්‍රිතව කොට්ටාවෙන් පටන් ගත්තා වගේ මොරටුව, ජාඇල, කඩවත, පිළියන්දල වගේ තැන්වල ඕක ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට කාර් එකක වගේ වායු සමීකරණය කරපු බස් එකක කොළඹට එන්න පුළුවන්. ඒ සියල්ල ඔය සැලසුමේ තියෙනවා. ඔබේ අමාත්‍යාංශය ආයෝජන ප්‍රවර්ධනය. ඒ යටතට ආයතන දාහතරක් ගැසට් කරනවා? නැහැ. ඉදිරියට ඒක වෙනස් වෙයි. ඒකට එන්නේ ආයතන අටක් විතරයි. ඒකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ආයෝජන මණ්ඩලයයි, විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයයි. ඊට අමතරව ඩිජිටල් උපායමාර්ග කියලා කොටසකුත් එකතු වෙයි. දැන් මෘදුකාංග තියෙනවා. කුලී කාර් එක තියෙන තැන බලාගන්න පුළුවන්. නමුත් බස් එක තියෙන තැන බලාගන්න බැහැනෙ. නමුත් අපිට ඇප් එකක් හදන්න පුළුවන් බස් එක එනවද, නැද්ද කියලා බලාගන්න. ඊට පස්සේ බස් එකේ යන්න මාරු සල්ලි ඕනේ. ඕකට කාඩ් එකක් දාන්න ඕනේ. ඔය දෙක හැදුවම වෙන රටක වගේම අපේ බස් එකත් තියෙනවා. බස් එකේ කොලිටි එක වෙනස් වෙන්න පුළුවන්. ලොරි චැසියට ගහපු බස් බොඩි එක වෙන්න පුළුවන්. හැබැයි මේ බස් එකට අර කෑල්ල දාන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. මේ සිස්ටම් එක ලංකාවේ සමාගමක් හදලා තියෙනවා. ඒක දාගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මම ලේකම්වරයා විදියට ඉන්න කාලෙත් මේ ගැන ජංගම දුරකථන සමාගම් එක්ක කතා කරලා තියෙනවා. ප්‍රභාකරන් විනාශ කරපු උතුරු රේල් පාරේ කිලෝ මීටර් තුන්සිය දහයම මම හිටපු අවුරුදු තුනේ තමයි හැදුවේ. යාපනයේ කන්කසන්තුරේට යනකන්ම දුම්රිය මාර්ගය හැදුවා. අතිරේකව එක ඩොලර් එකක් වියදම් කරලා තියෙනවද කියලා අහන්න. සමහරු කියනවා ධම්මික පෙරේරා ආවාට වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා. ජනාධිපති, අගමැති දැනටම ගැටුම් කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියනවා. මෙතනට ගිහිල්ලා ඔබත් නම කැත කරගන්නව විතරයි කියලා කියනවා? ඒ වැඩකරන ටිකේ වගකීම මට දෙන්නකෝ. තව ටික දවසක් යනකොට ඔබට පෙනෙයි. ගැසට් එක ගහලා නැති නිසා ඇමැතිකමේ මම තවමත් අත්සන් කරන්න විදියක් නැහැ. නමුත් මම ආයෝජන මණ්ඩලයත් එක්ක පොඩි කතාබහක නිරත වුණා. මම එතන ඉන්නවා කියලා ආරංචිවෙලා ඒ වෙලාවෙත් ජපන් ජාතිකයෝ තුන් දෙනෙකුයි, ලංකාවේ ආයෝජකයකුයි ආවා, මාව හම්බ වෙන්න. ඒ කතාබහ කළා. දැනට තියෙන උසස් අධ්‍යාපන ආයතනයත් එක්ක එකතුවෙලා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දාහක් ලංකාවෙන් අරන් යන්න ඒ ජපන් ජාතිකයාට අවශ්‍යයිලු. ඒ ගොල්ලන්ට ඕනේ ඔවුන්ගේ පස් දෙනෙක් ලංකාවට එවලා ළමයින්ට ජපන් භාෂාව උගන්වන්න විතරයි. ඒ පස්දෙනාට වීසා පහක් ගන්න වගෙයි ඕනේ. උගන්වන්න වීසා ගන්න එපැයි. ඒක දින කිහිපයකින් අත්සන් කරලා දෙනවා. ඔබේ ආයතන ලැයිස්තුවේ කැපී පෙනෙනම ආයතනය තමයි ආයෝජන මණ්ඩලය. හැබැයි කතාවට කියන්නේ ආයෝජන මණ්ඩලයෙන් ආයෝජකයන් අධෛර්යමත් කෙරෙනවා කියලා? තව මාස දෙකකින් ඔය කතාව මගෙන් අහන්නකෝ. පැය විසිහතරෙන් අනුමැතිය දුන්නයින් පස්සේ ගැටලුවක් නැහැනේ. ඉන්නකෝ හෙට අනිද්දා පොඩි වීඩියෝ ටිකක් ෆේස් බුක් එකටම දාලා මම පෙන්නන්නම්. දැනට ආයෝජන මණ්ඩලයේ පොරොත්තු ලේඛනයේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත්වුණු ව්‍යාපෘති කීයක් තියෙනවද? අද වෙනකොට හැටක් තිබුණා. මේ සුමානෙ ඇතුළත ඒවට අනුමැතිය ලබා දෙයි. ඕක දවසෙන් කරන්න පුළුවන් වැඩක්. නමුත් පැය විසි හතරෙන් අවසරය ලබාදීමේ වෙන වෙන කතා තියෙනවනෙ. ඔය අනෙක් අවසර ලබා ගත යුතු ආයතන අතර පුරාවිද්‍යාව, මධ්‍යම පරිසර අධිකාරිය වගේ ඒවා තියෙනවා. ඒවා බොහොම සංවේදී කාරණා? ඒකට යම් කාලයක් යනව තමයි. නමුත් ආයෝජකයන්ට ඒ කටයුතු ටික කරගන්න ස්ථානයක් සකස් කරන්න යුතුයිනෙ. ආයෝජන මණ්ඩල අනුමැතියෙන් ඒ පදනම වැටෙනවනෙ. ඒ අනුමැතිය නැතුව ඒ මනුස්සයා සතපහක්වත් වියදම් කරන්නෙත් නැහැ. මොකද පිටරට ඉඳලා මේ වැඩ ටික කරන්න ද? ආ​යෝජන මණ්ඩලය තුළින් රටට ඩොලර් ලැබෙනවා. කියලා ඔබ ගණන් හදන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් ලංකාවෙ වෙළෙඳ භාණ්ඩ අපනයනය දෙදාස් එකොළහේදී ඩොලර් බිලියන දහයයි. දෙදාස් විසි එකේ තියෙන්නෙ බිලියන දොළහයි. ඒ කියන්නෙ හැම අවුරුද්දකම වැඩි වෙලා තියෙන්නෙ සීයට දෙකයි. අපි අලුතින් සමාගම් අරින්නෙ නැත්නම්, සමහර ආයතන වැහෙන කොට ඒ වෙනුවට අලුතින් සමාගම් බිහි වුණේ නැත්නම් ගැටලුවක් ඇතිවෙනවා. අලුත් සමාගම්වලට අවසර ලබා දුන්නෙ නැත්නම් කො​හොමද එන්නෙ? සමාගමක් පටන් ගන්න ගියාම අවුරුදු දෙක තුනක් රස්තියාදු කරනවා. මිනිස්සුන්ට ආයෝජනය කරන්න තියෙන්නෙ ලෝකේ මේ රට විතරද? ඔබ ආයෝජන මණ්ඩලයේ සභාපති වෙලා හිටියා. ඒ කාලෙත් මෙහෙම පැය විසි හතරෙන් අනුමැතිය දුන්නද? ඔව් දුන්න. එත​කොට ඊට පස්සෙ මේ ක්‍රමය වෙනස් වුණේ කොහොමද? ඒක ඊට පස්සේ ආපු අයගෙන් අහන්න ඕනේ. රටේ එකම නීතියක් තියෙද්දි එහෙම කළේ ඇයි කියල අහන්න ඕනේ. නෙළුම් කුලුනත් ඔබේ විෂය පථයට අයිතියි. ඔබ ​මොකක්ද නෙළුම් කුලුනට කරන්නෙ? නෙළුම් කුලුනේ පල්ලෙහා සාප්පු සංකීර්ණයකට හදපු වර්ග අඩි හතළිස් පන්දාහක් තියෙනවා. එතැන සාප්පු සංකීර්ණයක් හදනවද නැත්නම් තොරතුරු තාක්ෂණ උද්‍යානයක් වගේ එකක් හදනවද කියල බලන්න ඕනේ. ඒ ගැන මම තාම කතා කරලත් නැහැ. මම මේ කිව්වේ මගේ ඔළුවෙ තියෙන දෙයක් ගැන. ඔබට වරාය හදන්නත් අයත්. ඔබ මොනවද එතන කරන්න බලාපොරොත්තු වෙන්නෙ? එතන කරන්න වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඒවා ලැයිස්තුගත කරලා එකින් එක කරන්න ඕනේ වැඩ. රටේ මිනිස්සු කොට්ඨාස තුනක් ඉන්නවා. කොටසක් සියල්ල විවේචනය කරනවා. තව කොටසක් උපදෙස් දෙනවා. දෙතුන් දෙනෙක් විතරක් වැඩ කරනවා. එහෙම දෙතුන් දෙනෙක් විතරක් වැඩ කරලා රටක් හදන්න පුළුවන්ද? මේ රටේ පොඩි අප්සෙට් එකක් තියෙනවා කියලා පේන්නෙ නැද්ද? ඒ නිසා තමයි මේ මුළු රටේම ජනතාව දුක් විඳින්නෙ. විශ්වවිද්‍යාලයක් අරින්න දෙන්නෙ නැහැ. එහෙම කරලා ඩොලර් බිලියන දෙකහමාරක් රටින් පිටට අරිනවා. ගිය ආණ්ඩුව කාලෙ ආපු සාම්පූර්වල මෙගාවොට් හයසීයක බලාගාරෙ කොහොම හරි නතර කළා. ​මේ ආණ්ඩුව ආවහම නොරොච්චෝලේ තිබුණු තවත් මෙගාවොට් තුන්සීයක් දීර්ඝ කිරීමක් නතර කරගත්තා. එතනම ගලග් අඟුරුවලින් නිපදවන මෙගාවොට් නවසීයක්. ඒ මෙගාවොට් නවසීයටම වසරකට ගල් අඟුරු වෙනුවෙන් වැය වෙන්නෙ ඩොලර් මිලියන හයසීයයි. හැබැයි ඉන්ධනවලින් මෙගාවොට් නවසීයක් දුවන්න ඩොලර් මිලියන එක්දාස් හයසීයක් යනවා. ඩොලර් බිලියනයක් වැඩිපුර ඉන්ධනවලට පුච්චන රටක් මේක. නයන තරංග ගමගේ
 

More News..