brand logo

ධම්මික පැණිය හඳුන්වා දුන් ක්‍රමවේදය වැරදියි

17 December 2020

කොවිඩ් 19ට එරෙහිව දේශීය ඖෂධ පිළිබඳ සමාජ කථිකාව දැන් නව පණක් ලබා ඇත. ඒ පසුගියදා ‘ධම්මික පැණිය’ නමින් හඳුන්වන දේශීය පැණියක් කොරෝනා රෝගයට එරෙහිව හොඳින් ප්‍රතිචාර දක්වන බවට ප්‍රචාරය වීමත් සමගය. එහෙත් එම පැණිය පිළිබඳ නොයෙකුත් විවේචනයන් අද වන විට එල්ලවී ඇති අතර, එය රසායනික පරීක්ෂාවක් සිදුකරන තුරු භාවිත කිරීම නතර කර ඇත. එම පැණිය සහ කොරෝනා සම්බන්ධයෙන් ඖෂධයක් සොයාගැනීමේ ආයුර්වේද ක්‍රියාකාරීත්වය පිළිබඳව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය පී. හේවාගමගේ සමග කළ සංවාදයයි මේ. කොරෝනා රෝගයට ඖෂධයක් විදිහට යම් පැණියක් භාවිත කිරීමට ජනතාව පෙලඹී තියෙනව. මේ වෙද්දි ඒකට කියන්නේ ‘ධම්මික පැණිය’ කියල. ඊට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින්ම විවේචන එල්ලවෙනව. මේ පැණිය ගැන රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ මතය මොකක්ද? මේ වෙද්දි දේශීය පාරම්පරික වෛද්‍යවරු කොරෝනා රෝගයට විවිධ බෙහෙත් සොයාගැනීමේ ක්‍රියාදාමයක තමයි ඉන්නෙ. සබරගමු පළාතේ ඉතා ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරයෙක්ගෙ ඖෂධ භාවිත කිරීමෙන් බටහිර වෛද්‍යවරයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයො පිරිසකගෙ පීසීආර් නෙගටිව්වෙලා තිබුණ. ඒ නිසා කොවිඩ්වලට ආයුර්වේදයේ ප්‍රතිකාර තියෙනව. ඒක ගැන වාදයක් නෑ. බටහිර වෛද්‍යවරු පවා පසුගිය කාලයෙ සිංහල බෙහෙත් කරන්න ඕන කියන මතයෙ හිටිය. ඒ තුළින් රට තුළ පදනමක් වැටුණ දේශීය ඖෂධවලින් කොවිඩ් පාලනය කරන්න පුළුවන් කියල. හැබැයි ඒකත් එක්ක මතුවුණු නරක පැත්තක් තිබුණ. ඒ තමයි කිසිදු නියාමනයකින් තොරව එක එක්කෙනා විවිධ දේශීය ඖෂධ ගැන ප්‍රකාශ කරන්න ගැනීම. විවිධ බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළා. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ගැටලුව මුලදීම හඳුනගෙන රටේ පාරම්පරික වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් එකතුකරගෙන හොඳ සාකච්ඡාවක් පවත්වල, අපේ ඖෂධ සාම්පල් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළා. හැබැයි ඒ වෙලාවෙ ඒව ගැන කිසිම කෙනෙක් තැකුවෙ නෑ. නොසලකා හැරිය. ඊට පස්සෙ ව්‍යාපාරික මානසිකත්වයෙන් විවිධ අය කටයුතු කිරීම හරහා තමයි මේ ධම්මික පැණිය ඉස්මතු වෙන්නෙ. ඒත් පැහැදිලිවම කියන්න ඕන දේ තමයි කොවිඩ්වලට එරෙහිව දේශීය ඖෂධ වට්ටෝරු විශාල ප්‍රමාණයක් තියෙනව. ඒ පිළිබඳ හොඳ අත්දැකීම් තියෙන දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නව කියන එක. දේශීය ඖෂධයක් හඳුන්වාදීමේදි ආයුර්වේදයේ ක්‍රියාපිළිවෙත මේ ධම්මික පැණිය හඳුන්වාදීමෙදි බිඳ දමා තියෙනවද? අපි යම් ඖෂධයක් හඳුන්වාදීමේදි විද්‍යාත්මක සහ සායනික ක්‍රමවේදයන් භාවිත කරනව. ඒත් ධම්මික පැණියෙදි ඒක කරන්නෙ නැතිව මිනිස්සු පෝලිම් ගස්සල බෙහෙත් දෙන්න ගත්ත. ඒ වගේම මේ ඖෂධය ප්‍රමිතිගතව නිෂ්පාදනය වෙනවද කියන ගැටලුව සමාජයට ඇතිවුණ. අනෙක් පැත්තෙන් ගත්තාම මේ ඖෂධය හැදීමේ ක්‍රමවේදය ගැන අපිටත් ගැටලු තියෙනව. මේ බෙහෙතට මී පැණි උණුකරනව, සාදික්කා ගෙඩි එහෙම්ම ගන්නව වගේ අදහසක් තමයි සමාජයේ තියෙන්නෙ. මම දන්න විදිහට මී පැණි කියන්නෙ රත්කරල බොන්න හොඳ නැති එකක්. සාදික්කා වැනි ඖෂධ නියමිත මාත්‍රාව ඉක්මවා භාවිත කිරීම ශරීරයට අහිතකරයි. එවැනි ගැටලු නිසා අද සමාජය තුළ මේ ධම්මික පැණිය ගැන පැහැදිලි අවබෝධයක් නෑ. ඒ නිසා වුණේ වෛද්‍ය සේවාවක් හැටියට දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රියාවලියට පොදු ප්‍රශ්නාර්ථයක් සමාජය තුළ මතුවීම. ආයුර්වේදය තුළ ධම්මික පැණිය සම්බන්ධයෙන් කරල තියෙන පරීක්ෂාවන් මොනවද? මේ වෙද්දි මහාචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක් පත්කරල තියෙනව. එම කමිටුව මේ ධම්මික පැණියට භාවිත කරන මී පැණිවල, සාදික්කාවල, මාදුරුවල ගුණ පිළිබඳව රසායන විද්‍යාත්මකව යම් ලියවිලි ප්‍රමාණයක් ඉදිරිපත් කරල තියෙනව. එහෙම නැතිව කිසිම සායනික පරීක්ෂණයක් ආයුර්වේදය තුළ සිදුකරල නෑ. මේ පැණිය මිනිස්සුනට දීල ඒක හොඳයි කියල ඒ මිනිස්සුන්ගෙ කට වචනයෙන් අරගත්ත. එහෙම නැතිව නිවැරැදි පර්‌යේෂණ, ආචාර ධර්මවලට අනුගත වුණු පර්‌යේෂණ ක්‍රමවේදයකට මේ ඖෂධය යොමුකරල නෑ. ඒ නිසා තමයි මේ ගැටලු සහගත තත්ත්වය තියෙන්නෙ. මේ ඖෂධය ආපු ක්‍රමවේදයේ තමයි ගැටලුව තියෙන්නෙ. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පීය අංශයේ හොඳ විධිමත් ක්‍රමවේදයක් තියෙනව ඖෂධයක් ලියාපදිංචි කිරීම සහ නියමිත ක්‍රමවේදයක් අනුව ඒක වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා. ඒ කිසිවක් නොකර තමයි මේ ඖෂධය ඉදිරිපත්කරල තියෙන්නෙ. මේ පැණිය ඉදිරිපත් කරන්න තිබුණෙ කලබලයක් නැතිව. වෙළෙඳ අරමුණකින් තොරව රටේ ජනතාව මුහුණ පා තියෙන කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමේ යහ චේතනාවෙන් කටයුතු කළා නම් ගැටලුකාරී තත්ත්වයට මේ පැණිය පත්වෙන්නෙ නෑ. මේ පැණියෙන් ඇතැම් කණ්ඩායම්, දේශපාලන අධිකාරිය ‘ෆන් එකක්’ ගත්ත කියල තමයි මට නම් හිතෙන්නෙ. ආයුර්වේදයට ඇයි බැරි මේ ඖෂධය අරගෙන පරීක්ෂා කරන්න... අපි ආයුර්වේදයෙදි ඔෟෂධ පරීක්ෂා කරන්න නවීන විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරනව. අපේ ඖෂධයන් බොහොමයක් අයි.ටී.අයි. ආයතනය හරහා තමයි පරීක්ෂාවට ලක්කරන්නෙ. අපේ පාරම්පරික වෛද්‍යවරු සහ අනෙක් වෛද්‍යවරු ඖෂධයක් නිෂ්පාදනය කළොත් ඒක ලියාපදිංචි කරන්න අයි.ටී.අයි. වාර්තාවන් ලබාගන්නව. එහෙම ක්‍රමවත් වැඩපිළිවෙළක් තියෙනව. දේශීය ඖෂධ පරීක්ෂා කරන්න තියෙන එකම පිහිට, ක්‍රමවේදය බටහිර රසායනාගාර පමණද? නෑ, අපි අංශ දෙකම පාවිච්චි කරනව. අපි විශ්වාස කරන්නෙ යම් ඖෂධයක් නිෂ්පාදනය කළාම ඒක වඩාත් තහවුරු කර ගැනීම වැදගත් කියල. ඒ නිසා අපි රසායනික විශ්ලේෂණයකුත් කරනව. ඒ අතර දේශීය වෛද්‍ය ක්‍රමත් ඒකට අනුගමනය කරනව. දේශීය ක්‍රමවේදය තුළදි ඖෂධයක් සම්බන්ධයෙන් සලකා බලන කාරණා නැත්නම් අපෙ නිර්ණායක වෙන්නෙ අදාළ ඖෂධයෙ රසය, ගුණය, රූක්ෂ, විපාක සහ ප්‍රභාව. මේ ගුණයන් ගැන රසායනික විශ්ලේෂණයකින් සහ ක්‍රියාකාරී විශ්ලේෂණයකින් හරියටම තහවුරු කරන්න පුළුවන් ඒ පිළිබඳ අවබෝධයක් තියෙන වෛද්‍යවරයකුට විතරයි. විද්‍යාඥයකුට තියෙන දැනුම වගේ දේශීය හා ආයුර්වේද වෙදකමේදී ආයුර්වේද වෛද්‍යවරයකුට, ද්‍රව්‍ය සහ ගුණ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙනව. ඒ නිසා ද්‍රව්‍ය ගුණ දෙක විශ්ලේෂණය කර ගැනීමේ අධ්‍යාපනයක් දැනුමක් ඔහුට තියෙනව. ඒක තාක්ෂණික දැනුමක්. ඒක තියෙන්නෙ වෛද්‍යවරයකුට විතරයි. නිකම් පුද්ගලයකුට එහෙම බෑ. ඒ නිසයි අපි කියන්නෙ මේ ධම්මික කියන පුද්ගලය වෛද්‍යවරයෙක් නෙමේ ඖෂධ නිෂ්පාදකයෙක් කියල. ඔහු වෛද්‍යවරයෙක්ගෙ උපදේශයන් ගත්තම නම් මේක වෙන්නෙ නෑ. ධම්මික පැණිය හොඳයැයි පවසන පිරිස පවසන දෙයක් තමයි ඇයි දේශීය ඖෂධ බටහිර ක්‍රමය තුළ පරීක්ෂා කරන්න දෙන්නේ කියන එක... රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය විදිහට අපිත් කියන දේ තමයි දේශීය වෙදකම පිළිබඳ සහ ආයුර්වේද ඖෂධ පිළිබඳව බටහිර විද්‍යාත්මකව පමණක් තහවුරු කරන්න බෑ කියන එක. බටහිර වෛද්‍ය පර්‌යේෂණ ක්‍රමවේදය එකක්. දේශීය වෛද්‍ය පර්‌යේෂණ ක්‍රමවේදය තව එකක්. යුරෝපීය සංස්කෘතියත් එක්ක තමයි බටහිර චින්තනය එන්නෙ. අපේ තියෙන්නෙ ආසියාතික දැනුමත් එක්ක ගොඩනැගුණු පෙරදිග දැනුම් පද්ධතියක්. චින්තනයක්. ඒක බොහොම සාර්ථක අන්දමින් අපි පර්‌යේෂණාත්මකව භාවිත කරල තියෙනව. ඇත්තටම බටහිර වෛද්‍යවරුන්ට මේක පරීක්ෂා කරන්න දීම ගැන නම් ගැටලුකාරීයි. එතනදි මේ ධම්මික පැණිය ගැන ලබාදෙන හොඳ හෝ නරක පිළිබඳ නිගමනයන් සැකසහගත වෙන්න පුළුවන්. පසුගිය දිනක ආයුර්වේද කොමසාරිස්තුමත් එක්ක කළ සංවාදයකදී හෙළිවුණෙ කොරෝනා සම්බන්ධයෙන් ආයුර්වේදයේ ම් ඖෂධයක් මේ වනවිට පර්‌යේෂණ මට්ටමේ තියෙන බව. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ කණ්ඩායමක් සමග එම පරීක්ෂණ සිදුවන බව. එම ඖෂධය සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය මොකක්ද? අපි බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්‌යේෂණායතනයෙදි කොවිඩ් 19ට අදාළව එය මර්දනයට පර්‌යේෂණ දෙකක් ආරම්භ කරල තියෙනව. ඒකට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන් දායකත්වය දක්වනව. එහි මූලික කටයුතු සිදුකර අවසන්. මෙවැනි පර්‌යේෂණයක් සතියෙන් දෙකෙන් කරන්න බෑ. ඒක දීර්ඝ ක්‍රියාවලියක්. මේ බෙහෙත් දෙන්නෙ මිනිසුන්ට හින්ද පර්‌යේෂණ ආචාර ධර්ම ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපදාන සලසා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය හොඳ මානව සම්පත් අවශ්‍යයි. මිනිසුන්ගෙ වකුගඩු, අක්මාව, පෙණහලු ආරක්ෂා කරන්න ඕන. මේ සියලු දේ ආරක්ෂා වෙන ආකාරයට කරන්න ඕන වැඩක් තමයි නව ඖධයක් හඳුන්වාදීම. ඒ නිසා අපේ පර්‌යේෂණ ඉතා සෙමින් සාර්ථකව සිදුවෙමින් තියෙනව. කොරෝනා මර්දනයට ආයුර්වේද දායකත්වයක මූලික වශයෙන් සැපයෙන්නෙ ප්‍රතිශක්තිය වැඩිකිරීම සම්බන්ධයෙන්. මේ වෙද්දි මොන වගේ ඉදිරි පියවරයන්ද ඒ සම්බන්ධව අරගෙන තියෙන්නේ... ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 324 පුරාම අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉන්නව. ඒ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා රෝගය මෙරට ව්‍යාප්තවීමට පටන් ගත් කාලයේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු ගමින් ගමට ගිහින් ජනතාවට රෝග නිවාරණ ඖෂධ ලබාදුන්න. රෝග නිවාරණය සඳහා අපේ ප්‍රතිශක්තිය වර්ධනයට හඳුන්වා දුන්න වට්ටෝරුවල අඩංගු වුණේ ඉඟුරු, කොත්තමල්ලි, හීන්අරත්ත අල, රසකිඳ, වෙනිවැල්ගැට වගේ ඖෂධ. ඊට අමතරව සුදර්ශන පෙති, රත කල්කය ආදිය පැකට් කරල මහජනතාවට බෙදා දුන්න. ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබුණ. අපි ඒක අත්දැකීමෙන් දැක්ක. අදටත් මේ තරම්වත් කොරෝනා රෝගය අපේ රටේ පාලනය වෙලා තියෙන්නෙ අපේ රටේ මිනිස්සු භාවිත කරන කුළුබඩු සංස්කෘතිය, දේශීය ඖෂධ සංස්කෘතිය නිසා. දේශීය ආයුර්වේද වෛද්‍ය සංගමය හැටියටත් අපි රෝග නිවාරණය ගැන වැඩි අවධානයක් යොමුකළේ ඒ නිසයි. අදත් ඒ ක්‍රියාමාර්ගයන් ශක්තිමත් කළ හැකි නම් මීට වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. පසුගිය දිනවල බන්ධනාගාර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආයුර්වේදයෙන් ඉල්ලීමක් කළ බවට පැවැසුණා. මේ වෙද්දි ඒ කටයුතු සිද්ධ වෙනවද? බන්ධනාගාරවල ඉන්න පන්දාහකට වැඩි ප්‍රමාණයකට අපි මේ වෙද්දි රෝග නිවාරණ ඖෂධ බෙදාදීල තියෙනව. සති දෙකක කාලයක සිට ආයුර්වේද කොමසාරිස්තුමාගේ මැදිහත්වීමෙනුත්, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙනුත් බණ්ඩාරනායක ආයුර්වේද පර්‌යේෂණ ආයතනයත්, බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලත් ඒකාබද්ධව මේ වැඩේ දැනට කරගෙන යනව. අපි දන්නා හැටියට, වාර්තාවෙන හැටියට ඒක හුඟක් සාර්ථකයි. රජයේ රෝහල්වල කොරෝනා මඬින්න දේශීය ඖෂධ භාවිත වෙනව. නමුත් ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුවත්භාවයක් සමාජයේ නෑ. ඒ ගැන ප්‍රචාරණයක් සිද්ධවෙන්නෙ නෑ... පසුගිය පළමුවැනි රැල්ලෙදි මතුවුණු නාවික හමුදා පොකුරට අපේ වෛද්‍යවරු ගිහින් බෙහෙත් දුන්න. රෝහල් කාර්ය මණ්ඩලවලට බෙහෙත් දුන්න. මම දන්න තරමින් රෝහල් විශාල ප්‍රමාණයක බෙහෙත් දෙනව. නමුත් ප්‍රශ්නය වෙලා තියෙන්නෙ මේක එළියට කියන්න ඔය කියන සෞඛ්‍ය කාර්යමණ්ඩල මැළිකමක් දැක්වීම. අපේ දේශීය වෛද්‍ය ක්‍රම, දේශීය ආහාර වගේ දේවල් ඔවුන්ට හීනමානයක් බවට පත්වෙලා තියෙනවාද කියල හිතෙනව. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ. ඇයි දේශීය ආයුර්වේද හඬ අපට නිතර ඇහෙන්නෙ නැත්තේ...? ඒ නිසා නේද මේ දේශීය වෛද්‍ය ක්‍රම ගැන ජනතාව එතරම් දැනුවත් නැත්තේ...? කොයි දෙයක් වුණත් මාකට් වෙන්නෙ ඒකට ආදළ බලධාරීන්, මාධ්‍ය මැදිහත්වෙන ආකාරයට. උදාහරණයකට මේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. ඒ වුණාට වැඩියෙන් අනුග්‍රහය ලැබෙන්නෙ ක්‍රිකට්වලට. ඒක තමයි මාධ්‍යයේ, පාලකයන්ගෙ මැදිහත්වීම. දේශීය වෙදකම ගැන අපි පසුගිය කාලය පුරාම හඬ නැගුව. හැබැයි අපි මාධ්‍ය සාකච්ඡාවකට ආවත් අපට එන මාධ්‍ය ප්‍රමාණය සහ අපේ හඬ ප්‍රචාරය වෙන්නෙ අඩුවෙන්. හැබැයි දවසකට පී.සී.ආර්. මෙච්චර කරන්න ඕන කියන හඬ නිරන්තරයෙන් මාධ්‍යයෙන් අැ​ෙහනව, දකිනව. ඒක මහා හඬක් බවට පත්වෙලා තියෙනව. ඒක රටේ තියෙන ප්‍රවණතාව පිළිබඳ ගැටලුවක් මිසක් අපේ අඩුපාඩුවක් නෙමේ. පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේදයෙන් වෙන්කරගත යුතු බවට ඇතැම් පිරිස් මේ වෙද්දි යෝජනා ගෙන එනවා. ඒ පිළිබඳ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දරන්නෙ මොන වගේ මතයක්ද? ලංකාවේ ආයුර්වේද වෙදකම කියන්නෙ දෙමළ ජාතියට අනන්‍ය සිද්ධ වෙදකමත්, මුස්ලිම් ජාතිකයන්ට අනන්‍ය වූ යුනානි වෙදකමත්, අපේ රටට අනන්‍ය වූ හෙළ පාරම්පරික වෙදකමත්, ආයුර්වේද වෙදකමෙත් සම්මිශ්‍රණයක්. ඒක නිසා ඉන්දියාවේ ආයුර්වේද වෙදකමට වඩා අපේ ආයුර්වේද වෙදකම වෙනස්. පාරම්පරික වෙදකමයි, ආයුර්වේද වෙදකමයි ගහට පොත්ත වගේ බැඳිල තියෙන්නෙ. මේ දෙක ගැලෙව්වොත් ජනතාවට ඉන් ලැබිය හැකි ප්‍රතිලාභ නැතිවෙනව. හැබැයි මේක දෙකට කඩල දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණයක් තියෙනව. දේශීය වෙදකම වෙනම යන්න ඕන, ආයුර්වේදය වෙනම යන්න ඕන කියන වැඩි පිරිස බටහිර චින්තකයො. අපේ හොඳ, දක්ෂ පාරම්පරික වෛද්‍යවරු හැමෝම විරුද්ධයි දේශීය වෙදකමයි, ආයුර්වේදයයි දෙකට කඩනවට. මම ඒක කියන්නෙ බොහොම විශ්වාසයෙන්. මොකද මගෙත් එක්ක විශාල පාරම්පරික වෛද්‍යවරු සංඛ්‍යාවක් කටයුතු කරනව. සම්බන්ධ වෙලා ඉන්නව. ඔවුන් වෙනුවෙන් අපි දිගින් දිගටම මැදිහත්වුණා. එහෙම පසුබිමක පාරම්පරික වෛද්‍යවරු කියන්නෙ පාරම්පරික වෛද්‍ය ක්‍රමය වෙනම වෛද්‍ය සේවයක් බවට පත්නොකර, ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෙදකම, ආයුර්වේද සභාව විදිහට ඉදිරියට යමු කියන එක. සංවාදය - ලක්මාල් බෝගහවත්ත
 

More News..