brand logo

දෝනි ඉන්දියාව වෙනුවෙන් ආයෙත් ක්‍රීඩා කරන්නේ නැහැ

28 April 2020

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍රසිං දෝනි නැවත ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා නොකරනු ඇතැයි හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසයි. මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන්හි ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා දෝනි හට සුදුසුකම් ලැබීමට වෙනුවෙන් පැවැති අවසන් අවස්ථාව වූ අයි.පී.එල්.තරගාවලිය දින නියමයකින් තොරව කල් යාම මෙයට ප්‍රධාන හේතුව බවට හර්බජාන් සිං වැඩිදුරටත් පවසා සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන හර්බජාන් සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග මම පසුගිය මාර්තු මාසයේදී පුහුණුවීම් කළා. මේ වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් දක්ෂතා අතරට පිවිසෙන්න දෝනිට තිබුණු හොඳම අවස්ථාව තමයි අයි.පී.එල්. තරගාවලිය. දැන් අයි.පී.එල්. තරගාවලියත් කොරෝනා වෛරසය නිසා දින නියමයකින් තොරව කල් ගිහින් තියෙන වෙලාවක දෝනිට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න තියෙන අවසන් අවස්ථාවත් මගහැරෙනවා. දෝනි ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගි වුණේ නැතත් දිගටම අයි.පී.එල්. තරග ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කරනවා’යි පවසා සිටියේය. 39 හැවිරිදි දෝනි 2019 වසරේ එංගලන්තයේ පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පසුව ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර නොමැත. ‘2020 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී දක්ෂතා සලකා බැලෙන ප්‍රධානතම තරගාවලිය වෙන්නේ අයි.පී.එල්. තරගාවලිය. හිටපු ඉන්දීය ක්‍රිකට් නායක දෝනිටත් අයි.පී.එල්. තරගාවලියේ දක්ෂතා දක්වලා ජාතික කණ්ඩායමට එන්න අවස්ථාවක් තිබුණා. ඒ තරගාවලියත් දැන් කල් ගිහින් තියෙන නිසා දෝනිගේ ක්‍රිකට් අනාගතය කොයි දෙසට ගමන කරයිදැයි කියා කියන්න අමාරුයි’ යනුවෙන් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි මාධ්‍ය වෙත කියා තිබිණි. ඉන්දියාව වෙනුවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහේන්ද්‍රසිං දෝනිගේ නායකත්වය යටතේ ඉන්දියාව එක්දින ක්‍රිකට් ලෝක කුසලාන, විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන, ශූරයන්ගේ කුසලාන, ආසියානු කුසලාන ආදී ජයග්‍රහණයන් හිමිකරගෙන තිබේ.
 

More News..