brand logo

දේශීය සමාගම්වලට පයින් ගසා මිලිටරි උපකරණ ටෙන්ඩරය ලක්ෂ 500ක් වැඩි විදෙස් සමාගමකට

24 August 2019

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා පලඳින ආරක්ෂිත කබා හා හිස් ආවරණ මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරය අඩු මිල ඉදිරිපත් කළ දේශීය කර්මාන්තකරුවන් ඉවත දමා වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති විදේශීය ආයෝජකයකුට ලබාදීමට යයි. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සිදු කරන මෙම සැලැස්මෙන් සිදුවන අලාභය රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑවකට අධික බව වාර්තා වෙයි. බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා (JACKET DEMINER (PPE) WITH APRON) 300ක්ද බෝම්බ ඉවත් කිරීමේදී පලඳින ආරක්ෂිත කබා (Jacket team leader (PPE) 100ක් හා ආරක්ෂිත හිස් වැසුම් (WISOR With Helmet 100) වශයෙන් මිලදී ගැනීම ටෙන්ඩර් කැඳවා ඇත. ඒ සඳහා සිම්බාබ්වේ හා නෝර්වේ සහ මෙරට ආයතන දෙකක් වශයෙන් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබේ. එහිදී බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේදී පලඳිනා ආරක්ෂිත කබායක් සිම්බාබ්වේ සමාගම රුපියල් එක්ලක්ෂ පනස් හත් දහස් දෙසීයකටත් රුපියල් (157200) නෝර්වේ සමාගම රුපියල් එක්ලක්ෂ දහනව දහසකටත් (119000) දේශීය සමාගම් රුපියල් පනස් එක් දහස් හත්සිය පනහකටත් සහ පනස් දහස් පනහක් වශයෙන් මිල ගණන් ඉදිරිපත් කර තිබේ. බිම්බෝම්බ ඉවත් කිරීමේදී පලඳින ආරක්ෂිත කබායන් සඳහාද සිම්බාබ්වේ සමාගම රුපියල් දෙලක්ෂ හයදහස් පන්සියයක් (206500) ක්ද නෝර්වේ සමාගම රුපියල් දෙලක්ෂ පනස්එක් දහසක් (251000) හා දේශීය සමාගම් පිළිවෙළින් රුපියල් හැටහය දහස් විසිපහක් (66025) හා රුපියල් හැටහතර දහස් පන්සිය විසිපහක් (64525) වශයෙන් මිල ගණන් ඉදිරිපත් කර ඇත. ආරක්ෂිත හිස්වැසුම් සඳහා සිම්බාබ්වේ සමාගම රුපියල් තිස්දහස් පන්සියයක්ද (30500) නෝර්වේ සමාගම රුපියල් පනස් හතර දහසක්ද (54000) දේශීය සමාගමක් රුපියල් දාහත් දහස් එකසියයක්ද (17100) වශයෙන් මිල ගණන් කැඳවා තිබේ. එහිදී සාම්පල් පරීක්ෂා කිරීමක් ජූලි 06 වැනි දින යාපනය මයිලඩි යුද හමුදා කඳවුරේදී පවත්වා ඇති අතර ඉන් නෝර්වේ සමාගම ඉවත් වී ඇත. කෙසේ වෙතත් දේශීය කර්මාන්තකරු ඉදිරිපත් කළ මිල ගණන් අනුව එම වර්ග තුනේ තොගය සඳහා රුපියල් ලක්ෂ 266ක්ද සිම්බාබේ සමාගම රුපියල් ලක්ෂ 807ක් වශයෙන් මිල ගණන් ඉදිරිපත් කර තිබියදී දේශීය කර්මාන්තකරුගේ නිෂ්පාදන ඉවත් කර විදේශයෙන් මිලදී ගැනීමට සැරසෙන බව වාර්තා වේ. අදාළ දේශීය සමාගම මීට පෙර මානුෂීය මෙහෙයුමේදී යුද හමුදාවට මෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවටද උපකරණ සැපයූ සමාගමක් වේ. මේ සම්බන්ධයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩර් කමිටුවේ තාක්ෂණික ඇගයීමේ කමිටුවේ සාමාජික අයි.ඒ. නීල් ප්‍රනාන්දුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමන් දුරකථනයෙන් විමසූ කරුණුවලට පිළිතුරු ලබා නොදෙන බවත් ලේකම්වරයා සම්බන්ධ කර දීමට කටයුතු කරන බවත්ය. චමින්ද සේනාරත්න
 

More News..