brand logo

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

17 November 2020

ජනාධිපතිවරයාගේ විධායක බලතල සියල්ල නැවත ශක්තිමත් කිරීමෙන් හෙවත් ‌ජේ. ආර්. යුගයට ආපසු යාමෙන් තොරව රටට ගමනක් නොමැති බවට ආණ්ඩුවේ යම් පාර්ශ්ව තර්ක කරති. එම උවමනාව දැන් ඉටු වී ඇත. මෙම ලිපියේ මූලික අරමුණ ජනාධිපතිවරයාට 20 වන සංශෝධනයට පෙර තිබූ බලතල යොදා ගනිමින් වුවද ඉතා පහසුවෙන් රට වෙනස් කරන බොහෝ තීරණාත්මක ක්‍රියාමාර්ග ගත හැකි බව පෙන්වා දීමය. එසේ දැනට තිබෙන බලතල යටතේ ක්‍රියාත්මක කළ හැකි එහෙත් නොකරන දේ බලතල වැඩි වූ පමණින් ක්‍රියාත්මක වනු ඇති බවට සහතිකයක් ලබා දිය හැකිද? එසේ තිබෙන බලතල යටතේ කළ යුතු තීරණාත්මක දේ නොකරන්නේ නම් අන් කුමක් සිදුකළත් රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගත නොහැකි බව පෙන්වාදීමට සිදුවේ. එය සර් ව බලධාරී ජනාධිපති ජේ. ආර්. නොව සක්‍රයා නැවත පහළ වුවත් අදාළ වන බව සඳහන් කිරීමට සිදු වන්නේ කළ යුතු දේ ඒ තරමට තීරණාත්මක සහ මූලධාර්මික වන බැවිනි. වෙනත් වචනවලින් කියන්නේ නම් කොරෝනා වසංගතයට පෙර සිටම ප්‍රපාතයට ගමන් කරමින් තිබෙන රටේ ආර්ථිකය නැවත ගොඩ ගැනීම මුල්කරගෙන රටේ නිෂ්පාදන ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා අවශ්‍යවන මූලික පූර්ව කොන්දේසියක් සැපිරීමෙන් තොරව කිසිදිනෙක එම ආර්ථිකය ප්‍රපාතයෙන් ගොඩ ඒමට නොහැක. එසේ නම් කුමක්ද ඒතරම් වැදගත් පූර්ව කොන්දේසිය. එම තීරණාත්මක සහ මූලධාර්මික පූර්ව කොන්දේසිය වන්නේ දේශීය නිෂ්පාදකයාට වෙළෙඳපළ අවස්ථා සහ වෙළෙඳපොළ ප්‍රවේශය වර්ධනය කිරීමය. ඒ සඳහා දෙවන පූර්ව කොන්දේසිය වන්නේ වෙළෙඳපොළ තුළ ඉතා සූක්ෂමව පවත්වාගෙන යන මිල විකෘතීන් නිවැරැදි කිරීමය. එම මිල විකෘතීන් නිවැරැදි කිරීමෙන් තොරව නිෂ්පාදකයන්ට තරගකාරීව නැගී සිටීමට අවස්ථාව උදාකර දිය නොහැක. ඒ නිසා එම මිල විකෘතීන් මොනවාද යන්න හඳුනාගැනීම සහ ඒවා නිවැරැදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම මූලික පූර්ව කොන්දේසියක් බවට පත්වේ. නමුත් ඒ සඳහා සමාජ කතිකාව තුළ සහ රජයේ ප්‍රතිපත්ති තුළ ප්‍රමුඛතාවක් හිමි නොවන්නේ කුමක් නිසාද? ඊට හේතුව මිල විකෘතීන් නිර්මාණය කරන මහා සමාගම් විශේෂයෙන්ම ජාවාරම්කාර ආනයනකරුවන් විසින් තම අති විශාල මහජන සබඳතා අයවැය මගින් රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ නිලධාරීන් පමණක් නොව ජනමාධ්‍ය පවා හැසිරවීමය. පැරටෝගේ නීතිය වෙළෙඳපොළ තුළ නිර්මාණය කෙරෙන මිල විකෘතීන් නිවැරැදි කිරීම මගින් දේශීය නිෂ්පාදකයාට වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා රජය මැදිහත් විය යුත්තේ යම් නිර්ණායක ප්‍රමාණයක් පදනම් කර ගෙනය. එහිදී පැරටෝගේ නීතිය හෙවත් වැඩි ප්‍රතිඵලයක් හෙවත් වැඩි බලපෑමක් සහිත භාණ්ඩ සහ සේවා සඳහා වැඩි ප්‍රමුඛතාවක් දිය යුතුය. ඊට අමතරව මැදිහත්විය යුතු වෙළෙඳපොළ හෙවත් නිවැරැදි කළ යුතු මිල විකෘතින් හඳුනාගැනීම සඳහා මූලික නිර්ණායක 05 ක් යොදා ගත හැක. පළමු වැන්න වෙළෙඳපොළ තුළ ප්‍රමාණාත්මක වැදගත් කමයි. දෙවැන්න වටිනාකම් එකතු කිරීමේ දාමයට එකතුවන පිරිස කොතෙක්ද යන්නයි. එනම් රැකියා අවස්ථා සහ ඒ මගින් ඊට දායක වන්නන්ගේ අදායම් මට්ටමේ ඉහළ යාමේ ප්‍රමාණයයි. තුන්වැන්න රටේ ආහාර සුරක්ෂිතතාවය, දේශීය අමුද්‍රව්‍ය බහුලව භාවිත කිරීම, පරිසර හිතකාමී බව ආදී ජාතික අවශ්‍යතාවන්ට අනුව කෙතරම් වැදගත්ද යන්නයි. හතරවැන්න විදේශ විනිමය ඉතිරිකර ගැනීමේ වැදගත්කමයි. පස්වැන්න මහජන සෞඛ්‍ය, ආරක්ෂා කිරීම, යහපත් ජිවන ක්‍රමයක් සහ ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමේ හැකියාව ආදියයි. ප්‍රබල විකෘතීන් සහිත වෙළෙඳපොළවල් ත්‍රිත්වය ඒ අනුව උදාහරණයක් ලෙස සහ මිල විකෘතීන් වෙනස් කිරීම සඳහා ආණ්ඩුවේ ධෛර්යය පරීක්ෂා කිරීම සඳහා ඉතා ප්‍රබල විකෘතීන් සහිත වෙළෙඳපොළවල් ත්‍රිත්වයක් පළමු වටයේදී හඳුනාගත හැක. පළමු වැන්න තිරිඟු පිටි, සහල් සහ සහල් පිටි වෙළෙඳපොළයි. දෙවැන්න කිරිපිටි සහ කිරි නිෂ්පාදන ආශ්‍රිත වෙළෙඳපොළ වන අතර තුන්වැන්න කෑමට ගන්නා තෙල් වර්ග ආශ්‍රිත වෙළෙඳපොළ ලෙස හඳුනාගත හැකිය. මිල විකෘතීන් ඇතිවන ආකාර අටක් අප රටේ පවුල් ලක්ෂ 30 ක මිනිසුන්ගේ ආර්ථිකයට සහ ජීවිත වලට බලපෑම් ඇති කරන මෙම වෙළෙඳපොළවල් තුළ මිල විකෘතීන් ඇති වන ආකාර 08 ක් හඳුනාගත හැක. පළමුවැන්න නිෂ්පාදනය කරන රටේදී නිෂ්පාදකයාට ලබාදෙන සහනාධාර මගින් මිල අඩුකොට අප රටකට ප්‍රතාපනය කිරීමය. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් තම රටවල ගොවීන්ට සහ නිෂ්පාදකයන්ට වාර්ෂිකව ලබාදෙන සහණාධාරවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 300 ඉක්මවා යයි. අප වැනි රටවලට තිරිඟු පිටි අඩු මිලට ප්‍රතාපනය කිරීම සඳහා නිෂ්පාදකයට 20% පමණ සහනාධාරයක් ලබා දේ. දෙවැනි ආකාරය රටට ආනයනය කිරීමේදී වරායේදී බදු සහන ලබාදීමය. උදාහරණයක් ලෙස පසුගිය රජය විසින් තිරිඟු ඇට කි.ග්‍රැම් 1 කට රු. 20 ක් සහ ආනයනික කිරි පිටි කි.ග්‍රෑම් 1 කට රු. 223 ක බදු සහන ලබාදුනි. වර්තමාන රජය විසින් තිරිඟු පිටි කි.ග්‍රෑම් 1 කට රු. 28 ක ලබාදුන් අතර ආනයනික පොල්තෙල් ක්‍රි.ග්‍රෑම් 1 කට රු. 170 ක සහ ආනයනික ෆාම් තෙල් කි.ග්‍රෑම් 1 කට රු. 100 ක බදු සහනයක් ලබා දී ඇත. බදු සහන ලබාදීම යනු පනවා තිබූ බදු ඉවත් කිරීම මගින් රජයට ලැබෙන ආදායම අහිමි කර ගැනීමය. ඒ මගින් වෙළෙඳපළ තුළ මිල විකෘතියක් ඇති වන්නේ බදු සහනය යොදා ගනිමින් මිල අඩු කිරීම නිසාය. ඉහත සඳහන් කළ ආහාර ත්‍රිත්වයට අදාළව එසේ බදු අය නොකිරීම හෙවත් බදු සහන ලබාදීම මගින් වාර්ෂිකව රජයට අහිමිවන සහ සමාගම්වල ලාභයට එකතුවන මුදල වාර්ෂික රු. මිලියන 80,000 ඉක්මවා යයි. එම ප්‍රමාණය සමස්ථ රටේ සමෘද්ධි ලාභීන් වෙනුවෙන් වැයකරන මුදලට වඩා බෙහෙවින් වැඩි වේ. එපමණ විශාල මුදලක් උඩ සාක්කුවේ දමාගත් සමාගම් ප්‍රධානීන්ට බොහෝ පුද්ගලයන් මිලදී ගත හැකි බව රහසක් නොවේ. ඉහළ රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් වෙළෙඳපොළ විකෘතීන් දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ රහස ඇත්තේද එතනය. එසේ වෙළෙඳපොළ මිල විකෘතීන් ඇති කරන තුන්වන ආකාරය වන්නේ බාල කිරීම හෝ සංයුතිය වෙනස් කිරීම මගින් මිල අඩු කිරීමය. කිරිපිටිවලින් මිල අධික කිරි මේදය ඉවත් කොට ගෙන මිල අඩු ෆාම් තෙල් එකතු කිරීම මගින් අඩු මිලට කිරිපිටි ප්‍රතාපනය කිරීම සහ පොල් තෙල්වලට ෆාම් තෙල් මිශ්‍ර කිරීම මගින් මිල අඩු කිරීම ඒ සඳහා වන හොඳම උදාහරණ ලෙස සැලකිය හැක. හතරවැනි ක්‍රමවේදය වන්නේ වෙළෙඳ ගිවිසුම් හරහා විශේෂ බදුසහන සහ ප්‍රතිඅපනයනය වැනි අවස්ථා ලබා ගැනීමය. ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලිය හෙවත් ආනයනික බාල ගම්මිරිස් නැවත අපනයනය කිරීම නිසා දේශීය ගම්මිරිස් වෙළෙඳපොළ මිල ක්‍රි.ග්‍රෑම් 1 කට රු. 1500 සිට 500 දක්වා පහත වැටුණි. එය නිවැරැදි නොකොට ගම්මිරිස් ගොවියාට ණය ලබාදීම හෝ පුහුණුව ලබාදීම මගින් මිල විකෘතිය නිවැරැදි කළ හැකිද? කෙසේ වෙතත් ජනාධිපතිතුමා විසින් ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසියක් නිකුත් කරමින් එම ප්‍රති අපනයන ජාවාරම තහනම් කරනු ලැබීය. වෙළෙඳපොළ මිල විකෘතීන් ඇති කිරීමේ පස්වැනි ක්‍රමවේදය වන්නේ නීත්‍යානුකූල බව පෙනෙන ලෙස බදු වංචා කිරීම මගින් මිල අඩුකිරීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කිරීමය, ආනයන “ඉන්වොයිස් පත්”වල මිල අඩුවෙන් සඳහන් කිරීම සහ ප්‍රමාණයන් අඩුවෙන් දැක්වීම ආදී ක්‍රමවේද වලට අමතරව රේගු නිලධාරීන්ගේ අනුදැනුම ඇතිවද මෙම බදු වංචා සිදු වේ. හය වැනි ක්‍රමවේදය වන්නේ රේගුවේ අනුදැනුම නැතිව නීති විරෝධීව මුහුදු මාර්ග හරහා යාත්‍රාවලින් සහ ගමන් මලු මගින් රට තුළට භාණ්ඩ ගෙන ඒම මගින් බදු සහ වෙනත් ගාස්තු මඟහැර අඩු මිලට භාණ්ඩ වෙළෙඳපොළට දැමීමය. කහ සහ පාවහන් ඒ ආකාරයට බහුලව රට තුළට ගෙන එන බව ප්‍රසිද්ධ කරුණකි. සපත්තු කුට්ටමකට රුපියල් 600ක බද්දක් පනවා ඇති විටක ඒවා එම මිලටම වෙළෙඳපළෙන් මිලදී ගත හැක්කේ එම ක්‍රමවේදය හරහා කරනු ලබන මිල විකෘතිය නිසාය. එවිට දේශීය පාවහන් කරුවා එම මිල සමග තරග කරන්නේ කෙසේද? වෙළෙඳපළ තුළ මිල විකෘතීන් ඇති කරන හත් වැනි ක්‍රමවේදය වන්නේ වැට්බදු සහ ආදායම් බදු වංචා කිරීම මගින් අත ඉතිරිවන ලාභය යොදා ගනිමින් මිල අඩු කිරීමය. රේගුව සහ ආදායම් බදු අංශවල නිලධාරීන් සහ ජාවාරම්කරුවන් අතර පවතින ප්‍රබල සම්බන්ධය බිඳීමෙන් තොරව ඉහත සඳහන් කළ මිල විකෘති කිරීමේ ක්‍රමවේද දෙක කිසිසේත්ම පාලනය කළ නොහැක. වෙළෙඳපළ මිල විකෘති කිරීමේ අට වැනි ක්‍රමවේදය වන්නේ දේශීය වෙළෙඳපළ තුළ තර්කානූකූල නොවන මිල පාලනයක් දැමීම මගින් දේශීය නිෂ්පාදකයාගේ හුස්ම හිර කොට විකල්ප නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ඉඩ සැලසීමය. සහල් සඳහා වෙළෙඳපළ තුළ පැවතිය නොහැකි මිලක් පනවා කර්මාන්තකරුවාගේ සහ වී ගොවියාගේ හුස්ම හිර කිරීම ඒ සඳහා වන හොඳම උදාහරණයකි. ඇමරිකාව එදා කළ දේ අද අපට එපාද? මේ ආකාරයට ලෝකය පුරා සිදුවන වෙළෙඳපළ මිල විකෘති කිරීම මගින් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැට්ටවීමට එරෙහිව විවිධ ක්‍රමවේද සහ උපාංග යොදා ගැනේ. එහිදී දකුණු කොරියාව, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් ඉදිරියෙන්ම සිටිති. අද නිදහස් වෙළෙඳාම ගැන බණ කියන ඇමරිකාව මීට වසර 75 කට පෙර නිෂ්පාදන වෙළෙඳපළ තුළ මිල විකෘතීන් නිවැරැදි කිරීම සඳහා ආනයනවලට බදු පැනවූ ආකාරය ඔවුන්ගේ බදු මට්ටම් අධ්‍යයනය කිරීමෙන් වටහා ගත හැක. මහාචාර්ය හෝජුන් චැන්ග් මහතා තම ‘‘ඉනිමගට පයින් ගැසීම’’ නමැති කෘතිය මගින් එසේ ඇමරිකාව විසින් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් තම රටේ නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කර ගැනීමෙන් පසුව අන් රටවලට ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් අන් රටවලට ආරක්ෂණවාදී නොවී නිදහස් වෙළෙඳාම ප්‍රචලිත කිරීම සඳහා බදු අඩු කරන ලෙස උපදෙස් දෙන ආකාරය අපූරුවට පැහැදිලි කරයි. අප වැනි රටවල ආණ්ඩුවලට උපදෙස් දෙන ඊනියා නව ලිබරල් විද්වතුන් මන්තරයක් සේ ජප කරන්නේ ඇමරිකාව එදා කළ දේ අප විසින් අද නොකළයුතු බවටය. කෙසේ වෙතත් කොරියාව වැනි රටවල් විදේශීය රටවල දී සහනාධාර ලබා දී තම රටට භාණ්ඩ ප්‍රතාපනය කිරීම වැළැක්වීම සඳහා එම සහනාධාරවල වටිනාකම ගණනය කොට එය නිෂේධනය කිරීම සඳහා එම ප්‍රමාණයට හෝ ඊට ඉහළ ආනයන බදු ප්‍රමාණයක් පනවනු ලබයි. ඊට අමතරව එම රටවල් තම රටවල ඉහළ නිලධාරීන් විසින් ජාවාරම් කාරයන්ගේ බලපෑම් මත ආනයනික භාණ්ඩවලට දේශීයව බදු සහන ලබාදීම වලක්වන අතර බදු වංචාව වැලැක්වීමට ද ඉතා පුළුල් පරාසයක ක්‍රියාමාර්ග සහ නීති හඳුන්වා දී ඇත. ඒ අනුව එවැනි ප්‍රතිපත්තියක් අප රටේ දී අනුගමනය කරනවා නම් උදාහරණයක් ලෙස විදේශීය සහනාධාරවල බලපෑම නැති කිරීම සඳහා තිරිඟු පිටි වලට 20% ක විශේෂ බද්දක් පැනවිය යුතුය. එහිදී දේශීය විකල්ප නිෂ්පාදනවලට වඩා අවම වශයෙන් 10% කට වැඩි වෙළෙඳපළ මිලක් පැනවෙන ලෙස ආනයනික නිෂ්පාදනවලට අමතර බදු පැනවිය යුතුය. ඊට අමතරව තිරිඟු පිටි උදාහරණය ගතහොත් දේශීයව බදු සහන ලබා නොදීමේ ස්ථාවරයට අනුව මේ වන විට තිරිඟු ඇට වලට ලබා දී ඇති කි.ග්‍රෑ 1 කට රුපියල් 20ක බදු සහනය සහ තිරිඟු පිටිවලට ලබා දී ඇති කි.ග්‍රෑ 1 කට රුපියල් 28ක බදු සහනය අහෝසි කළ යුතුය. එසේම ආනයනික කිරිපිටිවලට ලබා දී ඇති කි.ග්‍රෑ 1 කට රුපියල් 223 ක් වන බදු සහනයද අහෝසි කළ යුතුය. ඊට අමතරව ආනයනික පොල් තෙල් සඳහා ලබා දී ඇති කි.ග්‍රෑ 1 කට රුපියල් 170 ක බදු සහනය සහ ෆාම් තෙල්වලට ලබා දී ඇති ක්‍රි.ග්‍රෑ 1 කට රුපියල් 100 ක බදු සහනය අහෝසි කළ යුතුය. ඉන්දියාව අනුගමනය කළ හැකිය ඊට අමතරව ඉන්දියාව අනුගමනය කරන්නේ නම් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා ආනයන ධෛර්යමත් කිරීම මුල් කරගෙන විවිධ බදු නොවන බාධකද පැනවිය හැක. එහිදී ආනයන බල පත්‍ර සහ කෝටා ක්‍රමයක් හඳුන්වා දීම මගින් ප්‍රමාණාත්මක සීමා පැනවිය හැක. උදාහරණයක් ලෙස පොල් මිල ස්ථාවර කිරීම සඳහා කෙටි කාලීනව පොල් තෙල් ආනයනය කිරීමට ඉඩ ලබා දෙන්නේනම් එම ක්‍රමවේදය යොදා ගත හැකිය. ඊට අමතරව ඉහළ ප්‍රමිතීන් පැනවීම මගින් සහ බාල කරන ලද ආහාර ආනයනය නීතියෙන් තහනම් කිරීම මගින් මිල අඩුකළ භාණ්ඩ ප්‍රතාපනය කිරීම වැළැක්විය හැක. උදාහරණයක් ලෙස ෆාම් තෙල් මිශ්‍ර කිරි පිටි සහ ෆාම් තෙල් මිශ්‍ර පොල් තෙල් ආනයනය අපනයන පාලන පනත යටතේ තහනම් කළ හැක. මේ වන විට එම පනත යටතේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය හෙවත් බාල ගම්මිරිස් රට තුළට ගෙන ඒම තහනම් කොට ඇත. එහෙත් ආනයන අධෛර්යමත් කිරීම සඳහා ක්‍රමවේදයක් ලෙස කෙටිකාලීන හෝ දීර්ඝ කාලීන පදනමින් ආනයන තහනම් කිරීමේ ක්‍රමය භාවිත කිරීම සුදුසු නොවේ. ඊට හේතුව එම ක්‍රමවේදයට මුවා වී එනම් ආනයනයට සීමා පැනවූ බව කියමින් ඒවාට ස්ථීර ක්‍රමවේදයක් ලෙස බදු පැනවීම වළක්වා ගැනීමේ හැකියාව තිබීමය. බොහෝ විට එසේ බදු පැනවීම වළක්වා ගැනීමෙන් පසුව ඉතා සූක්ෂම කුමන හෝ හේතු දක්වා ආනයන සීමා ඉවත් කිරීම සිදුවේ. එවිට බදු වැඩි කිරීමෙන් තොරව අඩු මිලට එම ද්‍රව්‍යය රට තුළට ආනයනය කිරීමට ඉඩ ලැබේ. ඒ අනුව ලෝකයේ තත්ත්වය කෙසේ වෙතත් අප රටට අදාළව වෙළෙඳපළ මිල විකෘතීන් නිවරැදි කිරීම සඳහා ඒ සියලු ක්‍රමවේද යොදා ගැනීමේ නීතිමය ඉඩ කඩ ඇත. ඒ සඳහා දැනට පවතින අණපනත් 8ක් පමණ යොදා ගත හැක. ඒ සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ ආනයන බදු සහ බදු නොවන බාධක පිළිබඳව මහජනයා දැනුවත් කොට විනිවිද භාවයෙන් කටයුතු කිරීමය. එනම් රජය විසින් ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය හෙවත් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විවෘතව ප්‍රකාශ කිරීමය. එවිට ආර්ථික ඝාතක නිලධාරීන්ට සහ තම රහසිගත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.
 

More News..