brand logo

දේශපාලන හා පොලිස් රැකවරණ මත වැඩෙන මතුගම පාතාලය

17 September 2020

මතුගම වැලිපැන්න ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පාරාදීසයක වී අවසන්ය. ඉකුත් ජූලි පස්වැනිදා වැලිපැන්න ප්‍රදේශයේ ජීවත්වන කළුතර නොවිසදුනු අපරාධ ඒ්කකයෙහි සේවය කරන සැරයන්වරයෙකු තම නිවාඩු දිනයේ නිවසේ කාලය ගත කළේය. ඔහු තම නිවසේ තිබූ ඇදන් කිහිපයක් පොලිෂ් කිරීමට කෙනෙකුට භාරදී ඔහු ඒ දෙස බලාසිටියේය. එකවරම පිරිසක් ඒ නිවසට කඩාපැන ඇදන් පොලිෂ් කරමින් සිටි පුද්ගලයාට පොලු මුගුරුවලින් පහරදී බිමදිගේ ඇදගෙන යාමට තැත් කළේය. එම අවස්ථාවේ පොලිස්සැරයන්වරයා පවසා ඇත්තේ ඇයි ඔහොම මිනිස්සුන්ට ගහන්නේ වහාම ඔ්ක නවත්වනවා යනුවෙනි. එයට දාමරික කණ්ඩායමෙන් දුන් පිළිතුර වූයේ තෝ කටවහගෙන හිටපිය නැතිනම් කපල මරලා දානවා කියායි. ඔහු වැලිපැන්නේ පරවල සුසන්ත නොහොත් කරවලයායි. මොහුගේ ජීවිකාව පොලියට මුදල්දීම, ප්‍රදේශයට කසිප්පු බෙදාහැරීම, කේරළ ගංජා මත්පෙති ජාවාරමයි. මොහුගෙන් මුදුල් පොලියට ගෙන නැවත දීමට අතපසු වුවහොත් දඩුවම ගුටි පූජාවකි. සැරයන්වරයාගේ නිවසෙහි ඇද පොලිෂ් කරමින් සිටි පුද්ගලයාට ද අත්වූයේ එවැනි ඉරණමකි. සැරයන් වරයා අසල්වැසියාට වෑත්තෑව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුණි. වහාම ඔහු වැලිපැන්න පොලීසියට පැමිණිල්ලක් සිදුකළේ තමාටද මරණ තර්ජන එල්ල කළ බැවිනි. මෙම සැරයන්වරයාගේ බිරිදද පොලිස් නිලධාරිනියකි. ඇයද සේවය කරන්නේ වැලිපැන්න පොලිස් ස්ථානයේය. කරවලයා විසින් මීට ප්‍රථම වැලිපැන්න පොලීසියේ නිලධාරියෙකුට පහරදී ඇත. නමුත් පහරදී දින තුනක් ගත වුවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලීසිය අසමත් වී තිබේ. මෙහි චෝදනාව ගම්මුන් විසින් එල්ල කරන්නේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට සහ බුද්ධි අංශ ඇතුළු නිලධාරීන් පිරිසකටයි. බැරැක්කය තුළට පැමිණෙන කරවලයා සාද දමන්නේ පොලීසිය තමන්ගේ නවාතැන්පලක් බව ප්‍රදේශවාසීන්ට ඒත්තු ගැන්වීමටයි. මීට ප්‍රථම කරවලයා පහරදුන් නිලධාරියා අද එම පොලීසියේම සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයායි. කරවලයා මෑතකදී ද සාදයක් අවසානයේ එම පොලීසියේම නිලධාරියෙකුට පහර දෙන්නේ පොලීසිය ඉදිරි පිටදීමයි. එයද පොලිස් පොත්වල සටහන්ව තිබේ. වැලිපැන්න සේම මතුගමත් මේ තත්ත්වය පටන් ගන්නේ බොහෝ කලක පටන්ය. එයෙත් පොලීසියට මුදල් ලබාදෙන පුද්ගලයෙකු වටා ගෙතුනු කථාවකි. ඔහු නමින් මතුගම ශාන්ය. ප්‍රබල දේශපාලනඥයකුගේ අනුග්‍රහයෙන් මොහු කරන අපරාධ නිසා ප්‍රදේශවාසීන් සිටින්නේ කර කියාගත හැකි දෙයක් නොමැතිවය. දැනට මසකට පමණ පෙර වැලිපැන්නේ ඩන්කන් නමැත්තකු කපා කොටා ඝාතනය කිරීමට චෝදනා ලබා සිටින මොහු ඩන්කන් තුවාල ලබා දැඩි සත්කාරයේ සිටින විට ඔහුගේ අසාධණය තත්ත්වය ඡායාරූප ගතකොට එය තමන්ගේ මුහුණුපොතේ දැමීමට තරම් මානසික රෝගියකු විය. මෙම දොඩම්ගොඩ ලියනගේ ශාන් අරෝෂ් ජයසිංහ නමැත්තා මතුගම අලුත්ගම පාරේ ජීවන් විතාන මාවතේ පදිංචිකරුවෙකි. ඔහුගේ කෙරුවාව පොලිස් පොතේ ලියවෙන්නේ මේ අයුරිනි. 2008 වසරේ ටී පනස් හය ගිනිඅවි ළග තබා ගැනීම යටත් පොලිස් අත්අඩංගුවට පත්වී රුපියල් දසදහසක දඩ මුදලක් සහ අවුරුදු 20ක අත්හිටවූ සිරදඩුවම් නියමවීම. එම වර්ෂයේම මතුගම යටදොල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, මතුගම ක්‍රීඩාපිටයේදී සිගිති නමැති පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, වෑත්තෑව මහරෝහලෙහි වෛද්‍යවරයෙකුට පහර දී මරණ තර්ජනය කිරීම, එම ප්‍රදේශයේම ජීවත්වන කාන්තාවක් මොහුට විරුද්ධව නැගීසිටි නිසා ඇයගේ පියයුරක් වෙන්වන ලෙස කපා දැමීම තෙබුවන පොලිස් වසමේදී මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් සහ ගල්කඩස් වර්ගයේ ගිනිඅවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වීම, මතුගම සිට කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු යටදොල නවුත්තුඩුවේදී කපාකොටා ඝාතනය කිරීම. මෙවැනි චෝදනා රැසක් මොහුගේ නම ඉදිරියෙන් පොලිස් පොත්වල ලියවී තිබේ. එහෙත් ඒවා ලියවී ඇත්තේ මතුගම පොලීසියේ නම් නොවේ. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේය. මේ වන විට ශාන්ගේ ප්‍රධාන අභිප්‍රාය වී ඇත්තේ දේශපාලන කරලියට පිවිසීමටයි. එයට එම ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල දේශපාලකයකු අතහිත ලබා දෙමින් සිටී. මතුගම පොලීසිය අල්ලේ නැටවිය හැික පුද්ගලයෙකු ලෙස මොහු කා අතරත් ප්‍රසිද්ධය. මොහුගේ දේශපාලන බලය නිසා තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙන ඕනෑම පොලිස් නිලධාරියෙකු ලංකාවේ එහා කෙළවරට මාරු කොට යැවීමට මොහුට හැකි බව පවසයි. මෙම ප්‍රදේශයේ තිබෙන්නාවූ පොලීසියක සිටිනා නිලධාරියකු මේ දිනවල අතිසුඛෝපභෝගී වාහනයක් භාවිතා කරයි. තවත් වාහන දෙක්ක ඔහුගේ නිවසෙහි මිදුලේ ගාල්කර ඇති බවද පැවසෙයි. මෙවැනි නිලධාරීන් ගැන සොයා බලා පියවර නොගතහොත් ඉන් අපහසුතාවයට පත්වෙන්නේ රටේ ජනතාවයි. හේමන්ත ලියනපතිරණ
 

More News..