brand logo

දේශපාලන උණුසුම මැද්දේ පාතාලය එළිබහී - රට පැන්න පාතාලයන් මෙරටට

15 September 2019

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයන්ටත් පෙරාතුව කරළියට එන්නට පටන් ගෙන ඇත්තේ පාතාල කෙරුමන්ය. ජනාධිපතිවරණය ළංවෙත්ම දේශපාලන උණුසුමේ පිනුම් ගසන්නට පාතාල නායකයන් ලහි ලහියේ සූදානම් වන වග බුද්ධි අංශ තොරතුරු හෙළි කරගෙන ඇත්තේය. ඇතමෙකුගේ සූදානම හිරගෙදර ඇතුළේ සිට ඡන්ද මෙහෙයුම් කරන්නටය. බහුතරයක් පාතාලයන් රටින් පිටත සිට මෙහෙයුම් කරන්නන්ය. පසුගිය සතිවල එසේ විදෙස්ගතවූවන් කිහිප දෙනකුම ලංකාවට පය තැබූහ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කරළියට ඒමෙන් රටින් පිටත සිටින පාතාලයන් බියෙන් තැති ගෙන ඇත. ඒ ඔවුන් බහුතරයකට ඩුබායිවලට පැන ජීවිතය රැක ගන්නට වූයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සමයේ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇරඹූ පාතාල මර්දන මෙහෙයුම් නිසාය. රටටම පිළිලයක් වූ පාතාල ලෝකය මර්දනය කරන්නට සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මුරුත්තෙට්ටුවගම හා එවකට පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර යටතේ ඇරඹුණු පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය නිසා එස්.ටී.එෆ්. අකුරු තුනටත් බිය වී රටින් පැන්න පාතාලයන් අතරේ කොස්ගොඩ සුජී, මාකඳුරේ මධුෂ්, රත්ගම නඳුන් ඇතුළු පාතාල කෙරුමන් බොහෝමයක් වූහ. මේ වන විට මාකඳුරේ මධුෂ් ඉන්නේ ඩුබායිවලින් මෙරටට ගෙනවිත්ය. මාකඳුරේ මධුෂ් නීතියේ හිඩැස්වලින් ගලවා ගන්නට පාතාල ලෝකයේ මැර බලයෙන් උපයාගත් මුදල් ලක්ෂ ගණනින් වියදම් කරන්නට පටන් ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මධුෂ් ගලවා ගන්නට මධුෂ්ගේ නීතිඥවරුන් තර්ක පිට තර්ක ගෙන එමින් සිටින්නේය. මාකඳුරේ මධුෂ්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය හමුවේ කට නොඅරින්නැයි නීති උපදෙස් දෙන්නට ආ නීතිඥවරුන්ව පැත්ත පළාතට ගෙන්වා නොගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තනේතුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නියෝග කර තිබුණේද මේ නිසාය. මේ අතර මධුෂ්ගේ බිරිඳ ලෙස ඩුබායිහි සිටි කාන්තාව ඉන්දියාවට පැමිණ ඇත්තේද මධුෂ් මුදාගන්නා මෙහෙයුමටය. මාකඳුරේ මධුෂ්ගේ සහායගෙන කළුතර, එතනමඩලදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා කඩුවෙල රණාලේ සමයං ඇතුළු පාතාලයන් පස් දෙනකු ඝාතනය කළ පසු ඉන්දියාවට පැනගත් අංගොඩ ලොක්කා සොයා මෙම කාන්තාව මෙරටට පැමිණි බව හෙළිවිය. පාතාල නායක අංගොඩ ලොක්කාගේත් සහාය ගෙන මධුෂ්ගේ නඩුවලින් මධුෂ් මුදාගැනීම ඇගේ අරමුණ බවට කියවුණේය. මෙම කාන්තාව කලින් පාතාල නායක මහරගම කළු තුෂාරගේ බිරිඳය. කළු තුෂාර වැලිකඩ කැරැල්ලේදී මියගිය පාතාල කණ්ඩායමේ සිටි අයෙකි. මාකඳුරේ මධුෂ්ට ඩුබායි සිට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ගෙන්වා ගැනීමට රජය සූදානම් වෙද්දී මාකඳු​රේ මධුෂ් උත්සාහ ගෙන තිබුණේ ස්විට්සර්ලන්තයට පැනගැනීමටය. වරෙක මාකඳුරේ මධුෂ් ඩුබායි සිට ඉතාලියට ගිය ඡායාරූප ද බුද්ධි අංශ වෙත ලැබී තිබුණේය. මධුෂ්ගේ සැලසුම් දියාරුවන්නේ ඩුබායිවලදී අත්අඩංගුවට පත්වීමත් සමගය. මධුෂ් කොටුවීමත් සමග පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස රඟන්නට කොස්ගොඩ සුජීට දැන් ඉඩ ලැබී තිබෙන්නේය. සුජීගේ සැලසුම් අතරේ ජනාධිපතිවරණයට පෙර කල්තියාම ඌරගහ මයිකල් මෙරටට එවා තිබුණේ ඉදිරි ඉලක්ක ගැනීමටය. ඒ තමන්ට දැන් සිටින ප්‍රබලම අභියෝගය වන කොස්ගොඩ තාරක අහවර කරන්නටය ඉතාලියේ සිටින රත්ගම සඳුන්ගේ සහාය මැද කොස්ගොඩ සුජී මෙරටට ආර්.පී.ජී. අවි දෙකක් හා ටී 56 දහයක් කුඩු රැගෙන එන බෝට්ටුවලින් රැගෙන ආ වග බුද්ධි අංශවලට තොරතුරු ලැබුණේ ඌරගහ මයිකල්ගේ හදිසි ආගමනයත් සමගය. ඌරගහ මයිකල් මේ සඳහා පැමිණි බවට බුද්ධි අංශ කළ අනාවරණයක් සමග ‘‘අරුණ’’ පුවත්පතින් මුල් වරට හෙළි කරන්නට හැකිවිය. ඉන්පසු යළිත් ඩුබායි බලා ගිය බව කියන ඌරගහ මයිකල් යළිත් මෙරටට පැමිණි ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ඇත. ඌරගහ මයිකල් රට තුළ සිටින බවට තහවුරු වන්නේ ඇල්පිටියෙන් මෙම සතියේ යළිත් පාතාල ඝාතනයක් සිදුවීමෙන්ය. අලුත්ගම සිට ඇල්පිටිය බලා ගමන් ගත් ලංගම බස් රථයකට නැගගත් වෙඩික්කරුවන් රංජිත් ජයවර්ධන නමැති අයව ඝාතනය කරන්නේ පසුගිය 06දාය. ඇල්පිටියේ පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම ඝාතනය සිදුවන්නේ කොස්ගොඩ සුජීගේ අණින්ය. ඇල්පිටිය, රත්තොටුවිලදී චමිල දීපාල් හා සමන් සුරේෂ් දෙදෙනා ඝාතනය කර සමන් සුරේෂ්ගේ බෙල්ල කපාගෙන ගොස් රත්තොටුවිල සමුපකාරය අසල තබා​ ගොස් තිබුණේය. ඒ සුජීගේ කල්ලියත් මේ ආකාරයට තම ප්‍රතිවිරුද්ධ කල්ලියේ අයකුගේ ගෙල කපා විත් මෙම ස්ථානයේ දමා යෑමෙන් පසුය. එයට පලියක් ගන්නට චමිල දීපාල් හා සුරේෂ් ඝාතනය කරන්නේ ඌරගහ ඉන්දිකගේ මෙහෙයවීමෙන් බව කියන්නේය. කොස්ගොඩ තාරකට පසුව කොස්​ගොඩ සුජීට එරෙහිව එළිපිට සටන් වැදුණේ ඌරගහ ඉන්දිකය. ඉන්දිකගේ ආධාරකරුවකු වූ රංජිත් ජයවර්ධන නමැති අයව රත්තොටුවිල ඝාතනයේ පලියගන්නට මෙසේ ඝාතනය කළ බව දැන් හෙළිවන්නේය. මෙම ඝාතනය මෙරටට පැමිණි ඌරගහ මයිකල්ගේ මෙහෙයවීමෙන් කොස්ගොඩ සුජී කළ දෙයක් බවට බුද්ධි අංශ හෙළි කරගෙන තිබෙන්නේය. ඉදිරි කාලය තුළ මැතිවරණ උණුසුමත් සමග මෙම කල්ලියේ ක්‍රියාකාරකම් තවත් වැඩිවීමට ඉඩ ඇති බව බුද්ධි අංශ අනතුරු හඟවමින් ඇත. ඌරගහ මයිකල් ඩුබායි සිට පැමිණෙද්දී ඔහුගේ අනුගාමිකයකු ලෙස සිටි කෙනඩි හෙවත් බුම්මාත් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණේය. නමුත් එය තහවුරු කරන්නට තරම් සාක්ෂි නොවීය. බුම්මා හෙවත් කෙනඩි එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශ සාමාජිකයකු ලෙස සිට පාතාලයට එක්වී කොළඹ හා දකුණු පළාතේ අබිරහස් ඝාතන රැසක් මෙහෙය වූ දක්ෂ වෙඩික්කරුවෙකි. කෙනඩි නමැති පාතාල කෙරුමා කුඩු සෙල්විගේ කල්ලියේ පිරිස් සමග දිගින් දිගටම ගැටී ඉන්දියාවට පනින්නේ පාතාල මර්දන ඒකක හඹා යද්දීය. බ්ලූමැන්ඩල් පාතාලයේ නායකයකු වන බ්ලූමැන්ඩල් සංඛ මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශවලට ලද තොරතුරු මුල්වරට හෙළි කළේත් පසුගිය 03දා ‘‘අරුණ’’ පුවත්පතිනි. ඉන්දියාවේ රාමේෂ්වරම්හිදී අත්අඩංගුවට ගැනුණු සංඛ ඇතුළු තිදෙනකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබියදී පැනගොස් බෝට්ටුවකින් මෙරටට පැමිණි බව හෙළිවන්නේ ඉකුත් 01දාය. ලංකාවට පැමිණි සංඛ රාත්‍රි සමාජ ශාලාවකට ගොස් තම මිතුරන් සමග කාබී ග්‍රෑන්ඩ්පාස් හැත්තෑපහ වත්තට යන්නේ කුඩු පොඩ්ඩි සොයාගෙනය. කුඩු පොඩ්ඩි හා බ්ලූමැන්ඩල් සංඛ අතර විරසකය ඇත්තේ කුඩු ජාවාරම්වලටය. පොඩ්ඩිගේ ගෙදරට පොඩි සද්දයක් දැමූ නිසා සංඛ මෙරටට පැමිණි බවට පාතාල මර්දන ඒකකවලට මුලින්ම තොරතුරු ලැබුණේය. එම කරුණු කාරණා සමග එළිපිට සිටින්නට බිය වූ බ්ලූමැන්ඩල් සංඛ නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට භාරවන්නේ මෙම සතියේය. ඔහුගේ නීතිඥවරිය අධිකරණයට පවසා තිබුණේ එදින මොහු ඉන්දියාවේ සිට පැමිණි වගකි. නමුදු ඒ වන විටත් මෙරට බුද්ධි අංශ සංඛ මෙරටට පැමිණි කලින්ම ආගිය තැන් පවා සොයා ගෙන තිබුණේය. ගිය වසරේ දෙසැම්බර් 26 දා කළුබෝලේ නමැත්තකු ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ලේදී ඝාතනය කළ පසුව ඉන්දියාවට පැනගත් බ්ලූමැන්ඩල් සංඛ ඉන්දියාවේ සිට තම ජාවාරම් කරගෙන ගොස් තිබුණේය. ඉන්දියාවට ඇතුළු වු අන්තවාදී කණ්ඩායම් සොයා කරන මෙහෙයුම්වලදී එයට බියෙන් සංඛ මෙරටට පැනගත් බව කියන්නේය. බන්ධනාගාරයේ සිට ඉදිරි මෙහෙයුම් කරන්නට සංඛ සූදානම් වන බව බුද්ධි අංශ සැකකරන්නේය. බ්ලූමැන්ඩල් පාතාලය පසුගිය මැතිවරණයේදී එළිපිටම මරාගන්නට වූහ. ඒ කොළඹ බ්ලූමැන්ඩල්හි ප්‍රබල දේශපාලනඥයකුගේ රැස්වීමකදීත් වෙඩි තබා ගෙනය. බ්ලූමැන්ඩල් පාතාලය යළි කරළියට එද්දී මට්ටක්කුලියේ පාතාල කණ්ඩායමද කරළියට ආවේය. ඒ කුඩු රොෂාන්ගේ නායකත්වයෙනි. චූටි උක්කුංගේ කල්ලිය හා කුඩු රොෂාන්ගේ කල්ලිය අතර ​දෝලනය වූ මට්ටක්කුලියේ ඝාතන රැල්ල යළි අහවර වූයේ දෙදෙනකුව මාදම්පිටිය කනත්තේදී මරු තුරුලට යවමිනි. එම ඝාතන රැල්ලට සම්බන්ධ කුඩු රොෂාන් සමග හය දෙනකු පසුගිය 04දා අත්අඩංගුවට ගන්​නේ පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා යටතේ වූ කණ්ඩායමකින්ය. ඒ සමග මාදම්පිටිය ද්විත්ව ඝාතනයට සම්බන්ධ පහළොස් දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායට කොටු වී සිටියහ. තමන් පසුගිය වසරේ ඔක්තෝබර් 23 දා චූටි උක්කුං ඇතුළු ප්‍රතිවිරුද්ධ කල්ලියේ පස් දෙනකු ඝාතනය කර හිරේට ගියත් සාක්ෂි අතුරුදන් කරමින් නඩුවෙන් ගැලවුණු හැටි කුඩු රොෂාන් පොලිස් විශේෂ කාර්ය බළකායට හෙළි කර තිබිණි. රුපියල් කෝටි දෙකක් පමණ නීතිඥවරුන්ට හා අනෙකුත් වැඩවලට වියදම් කර නඩුවෙන් බේරුණ බව කුඩු රොෂාන් හෙළි කර තිබිණි. මසකට ලක්ෂ දෙකක් පමණ තමන් හිරගෙදර නිලධාරීන්ට වියදම් කර දුරකථන පහසුකම් හා අනෙක් වරප්‍රසාද ලබාගත් බව කුඩු රොෂාන් පාපොච්චාරණය කර තිබුණේය. හිරගෙදර සිටින පාතාලයනුත් අත දිගහැර වියදම් කරමින් හිරගෙදරම සිට ආරක්ෂා වෙමින් සියල්ල මෙහෙයවන වන බව කුඩු රොෂාන්ගේ හෙළිදරව්වෙනුත් කියවිණි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ හා මැගසින් බන්ධනාගාරයේ පාතාල රාජධානියක් ලෙසින් දුරකථන භාවිත කරමින් සිටි දරුණු ගණයේ අපරාධකරුවන් පවා බූස්ස හා අඟුණකොළපැලැස්සට යවන්නට බන්ධනාගාර කොමසාරිස් ටී.එම්. තෙන්නකෝන් ඇරඹි මෙහෙයුමෙන් අපරාධකරුවන් කැලඹී ගියහ. කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට ඉක්මනින් හිරගෙදරට යන්න විවිධ සැලසුම් යෙදූ පාතාල නායක කන්ජිපානි ඉම්රාන් හිරගෙදරට ගෙන ආ දිනයේම බූස්සට මාරු කෙරුවේය. කන්ජිපානිගේ ජාවාරම්වලට වැට බැඳුනත් කෑම ගෙනියන බාල්දිවල දමා ජංගම දුරකථන දෙකක් රැගෙන යාමට උත්සාහ කළ කන්ජිපානිගේ පියා, සහෝදරයා හා ඥාතීන් සිව් දෙනකු බූස්ස බන්ධනාගාරයේදීම මෙම 12 දා කොටුවන්නේය. කන්ජිපානි මෙන්ම වෙලේ සුදා, පොට්ටු නවුෆර්, ගෞතම් ඇතුළු අපරාධකරුවන්වත් බූස්සට යවන්නේ ඔවුන් සිරගෙවල්වල සිට කරන අපරාධ රැල්ල නවතාලන්නටය. බූස්සේදීත් හිරගෙදර තුළම තිබී මොවුන්ගේ දුරකථන හමුවන්නේත් හිරගෙවල් තුළට ඕනෑම දෙයක් ගෙන යන තුරු ලොක්කන් බලා සිටින නිසාය. බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් වැලිකඩට ගෙනවිත් දෙන්නේ නම් එක් අයකුට රුපියල් ලක්ෂ පනහ බැගින් දෙන්නට බන්ධනාගාර භාර ඇමැති තලතා අතුකෝරලටත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තෙන්නකෝන්ටත් නීතිඥවරුන් කතා කරන්නේත් මෙය ධන උල්පතක් නිසාය. හිරගෙදර සිට මෙහෙයවන ජාවාරම් නැවතී යාමෙන් කුඩු මෝරුන්ගේ ධන උල්පත් වැසී ගොසිනි. ඔවුන් දැන් බලන්නේ කෙසේ හෝ යළි සුපුරුදු මගට බැසීමටය. අනෙක් පාතාලයන් සූදානම් වන්නේ සිරගෙදර සිටම ඡන්ද සටන් මෙහෙයවන්නටය. රජය පාතාල කෙරුමන්ගේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක වන්නට නොදී හිරගෙදර මාෆියාව අවසන් නොකළහොත් ජනාධිපතිවරණ කාල සීමාවෙත් අපරාධකරුවන්ගේ ඝාතන රැල්ල නොනවතිනු ඇත.
 

More News..