brand logo

එදා ගත්ත ඉක්මන් මෝඩ තීරණ අද ගන්නේ නැහැ

14 July 2020

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ හැමදාමත් එක වගේ රසික හිත් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විටෙක දේශපාලන වේදිකාව තුළිනුත් ඔබ අතරට ආ ඇය මේ දිනවල නම් සියලු දේශපාලන රාජකාරීන්ගෙන් ඈත් වෙලා කලාවට පමණක් මුල්තැන දෙමින් කටයුතු කරනවා. කොහොමද උපේක්ෂා මේ දිනවල වැඩ කටයුතු? දැන් අවුරුදු තුනහමාරක් මගේ දුවට. ඉතින් එයා එක්ක කාලය ගත කරනවා. ඒ එක්කම චරිත් අබේසිංහගේ නාට්‍යයක රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව ශෂිකා නිසංසලාගේ අලුත් ගීතයකට රූප රචනාවක් කළා. මගේ දුවට ගීතයක් කළා. ඒක ලිව්වේ ප්‍රංශයේ ජීවත් වෙන නාරද විජේසිංහ කියලා අයියා කෙනෙක්. සංගීතය කළේ සංඛ දිනෙත්. කවදද ගීතය එළිදක්වන්න ඉන්නේ අඩු පාඩු ටිකක් තියෙනවා. දැන් අවුරුදු 4ක් විතර තිස්සේ අඩුපාඩු හදනවා. ඒ කියන්නේ දුවගේ කීවෙනි උපන් දිනේටද අහන්න ලැබෙන්නේ ඒක තමා මමත් සංඛට කියලා තියෙන්නේ අඩු ගාණේ දුව කසාද බඳින්න කලින් හරි රිලීස් කරගන්න ඕනේ කියලා... සිනමාව පැත්තෙන් මොනවද එන්න තියෙන්නේ මුකුත්ම නැහැ. සින්ඩරෙල්ලා චිත්‍රපටය කොටස් දෙකකට කළේ, ඒකේ දෙවැනි එක තාම තිරගත වුණේ නැහැ. කවදා තිරගත වෙයිද දන්නේ නැහැ. මායා චිත්‍රපටයේ දෙවැනි කොටස කරන්නත් පුබුදු චතුරංග සූදානමින් ඉන්නවා. පිටපත ලියලත් ඉවරයි. මේ දවස්වල නිෂ්පාදකවරයෙක් හොයනවා. ඒකත් කොහොම කවදා වෙයිද කියන්න දන්නේ නැහැ. උපේක්ෂා කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. හැබැයි කලාව තරම් දේශපාලනය හරි ගියේ නැහැ නේද? දේශපාලනය ගැන දැනුමක් නොතිබීම නිසා මට වැරදුණා. දෙරණ 360 වැඩසටහනින් මිනිස්සු ඒක දැනගත්තා. ජීවිතේ හැමදෙයකම දෙපැත්තක් තියෙනවා කියන්නත් ඒ වැඩසටහන හොඳ උදාහරණයක්. මොකද ඒ තුළින් මට හානියක් වුණා වගේම හොඳකුත් සිද්ධ වුණා. මිනිස්සු මම කවුද, මගේ දේශපාලන පසුබිම මොකක්ද කියන එක දැනගත්තා. ඒ කාලය ජීවිතේට හොඳ අත්දැකීමක් වෙන්න ඇති... ඔව්. මම අවුරුදු පහක් පාර්ලිමේන්තු හිටපු එකත් එක්ක, මම ලැබූ අත්දැකීම් එක්ක මට යම් පරිණතකමක් ලැබුණා. විශේෂයෙන්ම පොතේ තියෙන දැනුම අදාළ නැහැ කියලා හිතෙනවා මේ දූෂිත දේශපාලනය තුළ මනාප ක්‍රමය එක්ක එන ගැටලු ගොඩක් තියෙනවා. මට ආසන සංවිධායක ධුරයක් හෝ අධීක්ෂණ ධුරයක්වත් තිබ්බේ නැහැ. මට ලැබුණු විමධ්‍යගත අරමුදල්වලින් මට පුළුවන් උපරිම දේ කළා. එතැනදී එක් කෙනෙක්ට විතරක් චෝදනා කරන්න බෑ. ඔතන ලොකු අරගලයක් තියෙනවා. හැමෝම පොරයක ඉන්නේ. ඒ පොරයට මම හරියට මුහුණ දුන්නේ නැහැ. ඒ වෙනුවෙන් කෑගහන්න තිබ්බා කියලා අද හිතෙනවා. නමුත් මැදපෙරදිග රටක ජීවත් වෙලා මම ඒ ජීවත් වුණු රටාව එක්ක ඒක මට හුරු නැහැ. මගේ හිතට එකඟව වැඩ කරන්න උත්සාහ කළා. පක්ෂය මාරු කරපු එකත් මට හානියක්. එහෙම ප්‍රතිපත්තියක නොහිටිය එක ගැන මම කනගාටු වෙනවා. ඒ කියන්නේ ආයෙ දේශපාලනය කරන්නෙම නැද්ද? ඔය කිව්ව කරුණු වගේම තව බොහෝ දේවල් තියෙනවා. ඒ සියල්ල නිසා අද මම දේශපාලනය කරන්නේ නැහැ. මොකද නිකරුණේ අපේ තියෙන පොඩි හරි ප්‍රසිද්ධිය නිසා දේශපාලනය වෙනුවෙන් කඩේ ගිහින් වැඩක් නැහැ. ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න ශක්තිය තිබිය යුතුමයි. එහෙමයි කියලා මම හැමදාම නිහඬ වෙන්න ආස නැහැ. නමුත් මේ කාලය මම යොදවලා තියෙන්නේ මගේ කලා නිර්මාණවලට. දේශපාලනය කරන්න ගිහිල්ලත් මට මගේ කලා කටයුතු මග හැරුණා. ඒක මගේ හැකියාවට වුණු පාඩුවක්. ඒ වගේම ක්‍රියාකාරී දේශපාලනය කරන්න ඕනේ කියන තැන මම නැහැ. ඒ කියන්නේ දේශපාලනය කිරීම ගැන පසුතැවෙන්නේ නැහැ නේද? අපි කරන සියලුම දෙයින් අපි උකහාගන්න යමක් තියෙනවනේ. දේශපාලනය කරපු එකෙන් මට නැතිවෙච්ච ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම තවත් පැත්තක් ඒ තුළ තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතරකම සහ ඒ තුළ කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියන එක මම දැක්කා. යකා කියන තරම්ම කළු නැහැ කියලා කියමනක් තියෙනවනේ. හොඳම ළඟම උදාහරණය කොවිඩ් 19. ලෝකයේ සියලු රටවල් එන්න එන්නම ප්‍රපාතයට වැටෙද්දී අපේ රට බේරා ගැනීම ගැන පවතින දේශපාලන අධිකාරියට පිං දිය යුතුයි. සහෝදර කලාකරුවන් රැසක් මෙවර දේශපාලනය තුළ දකින්න ලැබෙනවා. මොකද හිතෙන්නේ ඒ ගැන? කලාකරුවෙක් වීම දේශපාලනයට නුසුදුසුයි කියන තැන මම නැහැ. මොකද පරම්පරා ගත දේශපාලන චරිත ඕනේ තරම් ඉන්නවනේ. ඒත් අපි තාමත් මේ දේශපාලනයට බණිනවනේ. ඒ නිසා පැහැදිලි වෙනසක් අවශ්‍යයි. කලාව කියන එක බාධාවක් නෙවෙයි. මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන් එච්චරයි. දේශපාලනයට ඒම තුළ කලා රසිකත්වය තුළ යම් වෙනසක් වෙනවා. ඒක පෞද්ගලිකයි. ඒ නිසා ඒක ජාතික ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. අපිට වැදගත් වෙන්නේ මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන්. ශක්තියක් දැක්මක් තියෙන පුද්ගලයෙක් විතරයි. මේ ළඟදී ඕෂධී නාළිකාවක කතා කරනවා දැක්කා. හොඳට ඇය කතා කළා. නමුත් මට දැනුණේ ඇයගේ දැක්ම ගැන පැහැදිලි වුණා මදි කියලා. ඔතැනදි මම දකින දෙයක් තමා බහුතරයක් විරුද්ධ පක්ෂ ගැන කතා කරනවා මිසක් තමන්ගේ දැක්ම ගැන කතා කරනවා අඩුයි. අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? අද ඉන්න තැන ගැන සතුටුයි. හොඳ නරක දෙකම තියෙනවා. මම දික්කසාද වෙච්ච කෙනෙක්. එහෙම කියලා පසුතැවි තැවී ජීවත් වෙන්න මට පුළුවන්කමක් නැහැ. ඒ තුළින් මම පාඩම් ඉගෙන ගෙන තියෙනවා. එදා ගත්ත ඉක්මන් තීරණ, මෝඩ තීරණ අද ගන්නේ නැහැ. අනුෂා රණසිංහ
 

More News..