brand logo

දේශපාලනය කියන්නේ ලැජ්ජාව උඩම කරන දෙයක් නොවේ

22 June 2020

දශක ගණනාවක් වාමාංශික දේශපාලන කඳවුර නියෝජනය කරමින් සිටි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දැන් එජාප සාමාජිකයෙකි. ඔහු මෙවර මහ මැතිවරණයට කළුතරින් තරග කරන්නේ එජාප ලැයිස්තුවෙනි. මේ ඒ ගැන ‘සති අග අරුණ’ ඔහු සමග කළ සාකච්ඡාවකි. වික්‍රමබාහු සහෝදරයාට මෙතැනින් එහාට අපිට ‘‘බාහු සහෝදරයා’’ කියන්න බැරිවෙයිනේ? මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් මට කිව්වේ සහෝදරයා කියලා. ඒ නිසා මට සහෝදරයා කියන එක වෙනස් කරන්න අවශ්‍ය නෑ. මොකද මම වික්‍රමසිංහට සහෝදරයා කියන්න යන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ඔබට සහෝදරයා කියයිද? කියයි සමහර විට. නොකිව්වත් ප්‍රශ්නයක් නෑ. නෑ. මම අහන්නේ එජාපේ වගේ අන්ත දක්ෂිණාංශික ලිබරල් දේශපාලන පක්ෂ ඇතුළේ සහෝදරවරු නෑනේ වික්‍රමබාහු මහත්තයා? අන්ත දක්ෂිණාංශික කියන එක මොන ආකාරයටද ඔයා යොදා ගන්නේ? මට නං හිතෙන්නේ මේ රටේ තියෙන අන්ත දක්ෂිණාංශික ෆැස්සිට්වාදී පක්ෂය තමයි ගෝඨාභය නියෝජනය කරන්නේ... ඔව් ඒක අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට් නම් මේක අන්ත දක්ෂිණාංශික නියෝ ලිබරල් කියලා ඔබ පිළිගන්නේ නැද්ද? නියෝ ලිබරල් නෙවෙයි. ලිබරල්. මෙයා ලිබරල් ධනපති නායකයෙක්. එතකොට ඔබේ දේශපාලන දර්ශනේ මොකද්ද? මම ඉතිං මාක්ස්වාදියානේ. මාක්ස් වාදයයි, ලිබරල් වාදයයි සමතුලිත වෙන්නේ මොන සිද්ධාන්තය ඇතුළේද බාහු මහත්තයා? ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි. මම තමයි මේ රටේ සම සමාජ නායකයා. මට තියෙන ප්‍රශ්නය තමයි මේ රට ෆැසිස්ට්වාදයෙන් බේරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙනයාම. එතැනදී සම සමාජකාරයින්ට විතරක් තනියම ෆැසිස්ට්වාදීන්ට මූණ දෙන්න බෑ, කාල්මාක්ස්ගේ ඉඳලා රෝසා ලක්සම්බර්ග් දක්වාම අපිට කියලා තියෙන දේ තමයි ෆැසිස්ට් විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදී ධනපතීන් ඉන්නවා නම් ඔවුන් සමග අත්වැල් බැඳගෙන සටන් කරන්න කියන එක. දැන් එහෙම එක්කෙනෙක්ද රනිල් වික්‍රමසිංහ? අන්න හරි. රනිල් වික්‍රමසිංහ ෆැසිස්ට්වාදයට විරුද්ධ, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න කෙනෙක්. 2008 ඉඳලා මම එයත් එකක් එකතු වෙලා සටන් කරලා තියෙනවා. ඉතිං ඔබට ඔය ගනුදෙනුව ඔයිට වැඩිය හොඳට කරගන්න තිබුණානේ චන්ද්‍රිකාත් එක්ක. රනිල්ගෙයි, චන්ද්‍රිකාගෙයි ප්‍රතිපත්තිවලත් ලොකු වෙනසක් නෑනේ. අනිත් එක චන්ද්‍රිකායි, ඔබයි, විජයයි එකට දේශපාලනේ කළ උදවියනේ? ඔව්, එයත් එක්කත් කාලයක් එන්න පුළුවන් උපරිම දුරක් ආවා. එහෙම එන අතරවාරෙදී විජය කුමාරතුංග ආරම්භ කරපු පක්ෂයෙන් ඉවත් වෙලා එයා බණ්ඩාරනායක ගිය මාර්ගයේ ගමන් කරන්න ශ්‍රීලනිපේ හදන්න ගියා. එදා මම බිහිසුණු ලෙස එයත් එක්ක හැප්පුනා. මම එදා කිව්වා ඔයා යන්නේ වැරදි ගමනක් කියලා. එයා කවදාවත් එයාගේ දේශපාලන අභිමතාර්ථය හරියාකාරව එකට එකලස් කරගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි එයාගේ තිබුණා එක ඉතාම වැදගත් අදහසක්. 87- 88 කාලේ විතර එයා කිව්වා මේ රට කොටස් තුනකට කඩලා ෆෙඩරල් ක්‍රමයකට පාලනය කරන්න ඕන කියලා. නමුත් එයා ඒක ඉස්සරහාට ගෙනිච්චේ නෑ. ඉතිං ලිබරල් ධනපතියෙක් එක්ක එකතුවෙලා රට හදන්න ඔච්චර ම වුවමනාවක් තිබ්බනං මේ නහින දෙහින කාලේ වෙනකං හිටියේ ඇයි. ජොන් කොතලාවල කියන්නේ ඔබේ මමා නේ. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා ඉන්න අවදියේමනේ ඔහු ඔබට එජාපෙත් එක්ක එකතු වෙලා දේශපාලනේ කරපං කිවේවේ. එදා ඇයි ඒක කෙරුවේ නැත්තේ? ඒ කාලේ මගේ එජාපය ගැන තිබ්බ තක්සේරුව අද වගේ එකක් නෙවෙයි. එදා මාමා මට ඒ ආරාධනාව කරනකොට මම සම සමාජ පක්ෂෙට බැඳිලා හිටියේ. මම කිව්වා මාමට මම දැන් සම සමාජ පක්ෂෙට බැඳිලා ඉන්නේ ඒකේ මට ඉදිරි ගමනක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා මට ඔයා කියන දේ කරන්න බෑ කියලා. ඔබට දැන් හිතෙන්නේ නැද්ද එදා එජාපෙට බැඳුනා නම් ඔබට යන්න තිබුණු දුර කොච්චරද කියලා? මම අදත් හිතනවා එදා ඒ තීරණය ගත්තා නම් වැරදියි කියලා. මොකද මම වමේ වැඩ කරලා අද මම වමේ නායකයා වෙලා විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඉන්නවා. දැන් ඔබ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ කවද්ද? නාම යෝජනා අත්සන් කරන්න කලින්. පක්ෂයක සාමාජිකත්වය ගන්නකොට ඔබ දන්නවා නේද ඒ පක්ෂයේ නීති රීති හා ප්‍රතිපත්තිවලට එකඟ වෙන්න ඕන කියාලා? ඔව් ඉතිං ප්‍රතිපත්ති කිව්වාම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට තමයි මම එකඟ. ඒ වගේම මාක්ස්වාදී ප්‍රතිපත්ති මගේ ඔළුවේ තියෙන ඒවා. ඒවා එහෙම නිකන් බාලා දාන්න බෑනේ. මම සම සමාජකාරයෙක්. ඉතිං එහෙනං ඔබට තිබුණානේ පක්ෂ නායයෙක් විදිහට ඉඳගෙන එජාපයත් එක්ක පෙරමුණක් හරි සන්ධානයක් හරි හදාගෙන ඔබේ අනන්‍යතාවත් රැකගෙනම ඡන්දෙට යන්න? ඔව්, ඒ දුර ඇවිල්ලා තමයි මම මේ හිටියේ. ලංකාවේ සම සමාජ නායකයා බවට පත්වෙලා මම හිටියේ. ඒ ඉදීම පමණක් ප්‍රමාණවත් නෑ. දැන් මෙතැනදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් වෙන්න ඕන. එතැනදී ඉතාම පැහැදිලිව හොඳම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුගේ ශක්තිය ලැබිලා තියෙනවා එජාපෙට. මේ තත්ත්වය තුළ අපි එකතු වුණොත් ඉදිරියට යන්න මාර්ගයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔය කියන විදිහට ඔය ගමනේ අවසානෙදි වික්‍රමබාහු ලිබරල් වෙයිද? වික්‍රමසිංහ සමාජවාදී වෙයිද? රනිල්ට දැනටමත් සමාජවාදී අදහස් තියෙනවා. එයාගේ තාත්තා ඒ කියන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ තමයි ලංකා සම සමාජ පක්ෂයේ හිටිය න්‍යායාචාර්යවරයා. එයා තමයි සමසමාජෙට අපිවත් ගත්තේ. රනිල් වික්‍රමසිංහ දවසක් මට කිව්වා ‘‘මේ මගේ පුස්තකාලයක් තියෙනවා. ඒ පුස්තකාලේ වැඩි හරියක් තියෙන්නේ සමසමාජ අදහස් කොමියුනිට්ස් අදහස් තියෙන පොත්. ඒක මගේ තාත්තාගේ කාලේ ඉඳලාම පැවත එන විශාල වස්තුවක්’’ කියලා. ඉතිං ඒ නිසා ඔහු වාමාංශික අදහස දන්න කෙනෙක්, ඒකට ලැදියාවක් නැති වුණාට. ඒක අවශ්‍ය වෙලාවට ඔහුට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා.‍ දැන් මේ එජාපයත් එක්ක එකතු වුණේ මොකක් කරන්න හිතාගෙනද? මට ඕන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙනියන්න. මොකද්ද ඔබ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය? බලය බෙදීම තුළින් සිංහල, දෙමළ ,මුස්ලිම් ආදී සියලු ජනතාවට එක සමාන අයිතීන් ලැබෙන, කුල භේදය හා වංස භේදය නොතකන සියල්ලෝම එකම මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සලකන සමාජයක් ගොඩ නැගීම. ඉතිං ඒක ඔබට පහසුවෙන් කරන්න තිබුණානේ සජිත් එක්ක එකතු වුණා නං. සජිත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක්නේ. ඒක ඔබේ දේශපාලන දර්ශනයටත් බොහෝම ළඟයිනේ? මම තමයි සජිත්ගේ ජනාධිපතිවරණ වේදිකාවේ වැඩියෙන්ම කතා කරපු පක්ෂ නායකයා. මම එයාගේ රැස්වීම් 120කට වැඩියෙන් කතා කළා. මම හුඟාක් උත්සහා කළා ඔහුට ඒත්තු ගන්වන්න ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය තුළ ඉදිරියට ගිහිල්ලා පක්ෂ නායකයා වෙලා ඉස්සරහට යන්න ඕන කියලා. නමුත් ඔහු ඒ ගමන යන්න ලෑස්ති නෑ. දැන් ඔහු හදන්නේ ගෝඨාභයට වඩා හොඳ ජාතිවාදී නායකයෙක් වෙන්න. නමුත්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රිෂාඩ් බදුයුදීන් වගේ සුළු ජාතික නායකයින් ඔක්කොම අද ඉන්නේ සජිත්එක්කනේ? ඒක තමයි ඒ අයගෙන් අහන්න ඕන ඇයි ඔය ගොල්ලෝ ඔහෙම ඉන්නේ කියලා. සමහර විට ඒ අය හිතනවා ඇති මෙයා එක්ක ආවම ඡන්ද ටිකක් වැඩිවෙයි කියලා. ඒ විතරක් නෙවෙයි ඒ ගොල්ලෝ ගෝඨාභයට බයයි. නමුත් සජිත් ඒ ගොල්ලෝ දන්න කෙනානේ. ඉතිං ඒ ගොල්ලෝ හිතනවා ඇති මෙයා ආවොත් ඒ අයව ගෝඨාභයගෙන් බේරගන්න පුළුවන් මහා කළු සිංහලයා මෙයා කියලා. නමුත් සිදුවිය යුතු දේ නම් පැහැදිලිවම UNP කියන එක කරන්න ඕන. මොකද්ද ‘‘යුනයිටඩ් නැෂනල් පාර්ටි’’ කියලා කියන්නේ. ජාතීන්ගේ සමගිය කරන පක්ෂය. ඉතිං ඒක කරන්නේ නැතිව වඩා හොඳ පොහොට්ටුවක් ගොඩ නැගීමට ගිය ගමන මට නම් පිළිගන්න බෑ. සාමාන්‍යයන් ඡන්දයක් කරන්න කොච්චර මුදලක් ඕනද මේ කාලේ? රුපියල් දහයටත් කරතෑකි. සීයයටත් කරතෑකි, දාහටත් කරතෑකි, ලක්ෂෙටත් කරතෑකි. ඔබේ ඡන්ද බජට් එක කීයද? මා ගාව රුපියල් 50,000 විතර තියෙනවා. රුපියල් පනස්දාහක් තියාගෙන එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂයකින් කළුතර වගේ ආසනයක මහා ඡන්දයක් කරන්න පුළුවන් කියලාද හිතන්නේ? නෑ ... මම තව තව අයගෙන් ආධාර ඉල්ලලා තියෙනවා. මම හිතනවා ඒ ආධාර ලැබෙයි කියලා. මම තාමත් ඉන්නේ මාර උභතෝකෝටිකයක, රනිල් කියන්නේ ඔබේ රස්සාව නැති කරපු අධ්‍යාපන ඇමැති .අද ඔබ ඔහුගේ නායකත්වයෙන් ඡන්දෙට යනවා. නන්දන ගුණතිලක කියන්නේ එජාපේ කළුතර ඔබේ සටන් සගයා. ඔය නන්දනගේ දේශප්‍රේමී ව්‍යාපාරය තමයි 88 දී ඔබේ බඩ හරහා පිට පසාරු කරගෙන යන්න වෙඩි තියන්නේ. කොහොමද මෙහෙම ලැජ්ජ නැතුව හිටගන්නේ කට්ටියම? දේශපාලනේ කියන්නේ ලැජ්ජාව කියන එක උඩ කරන දෙයක් නෙවෙයි. ඒක මොළෙන් කරන වැඩක්. වික්‍රමසිංහ මහත්තයා මාව විශ්වවිද්‍යාලන් ඉවත් කළේ ඒ කාලේ තිබ්බ ව්‍යවස්ථාවට විරුද්ධ වෙච්ච නිසා. දැන් එතුමාත් ඒ ව්‍යවස්ථාවට විරුද්ධව 13 වැනි ව්‍යවස්ථාව අරවා මේවා ගෙනැල්ලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කතා කරනවා. ඒ කියන්නේ දැන් එතුමා පිළිගන්නවා එතුමා වැරැද්දක් කළ බව. ඒ නිසාම තමයි මම ගිහිල්ලා එතුමාට කිව්වාම මාව මෙහෙම එළියට දැම්ම තමුන්නාන්සෙගෙ කාලේ දැන් මේක හදන්න කියලා. එතුමා ටක් ගාලා පැනලා ඔව් අපි ඒ ඉතිහාසේ හරි ගැස්සවිය යුතුයි කියලා. මට මිලියන 3ක හිඟ පඩිත් විශ්ව විද්‍යාලේ ලැබිය යුතු සියලුම පට්ටම් තානාන්තරත් ලබා දීලා මාව මහාචාර්යය ධුරයට උසස් කළා. ඉතිං ඕක ඊට කලින් කරගන්න තිබුණානේ මහින්දට හරි චන්ද්‍රිකාට හරි කිව්වා නං? කොච්චර කිව්වාද. නමුත් ඒක කරන්න මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වුණෙත් නෑ, චන්ද්‍රිකා ඉදිරිපත් වුණෙත් නෑ. ඇයි මහින්ද ඔබට එහෙම කළේ. මහින්දත් එකක් කතරගම පාද යාත්‍රාවට බය නැතුව ගිය එකම කොමියුනිස්ට් නායකයා ඔබ නේද? ඒක ඉතිං එයාගෙන් අහන්න. කොහොම හරි මම ගිහිල්ලා කීප සැරයක් කිව්වා නමුත් එයා ඒක කරලා දුන්නේ නෑ. ඒ වෙනකොට මමයි, එයයි අතර ඒ තරම් ලොකු සම්බන්ධයක් තිබුණෙත් නෑ, දේශපාලන වශයෙන් එයා ගිය ගමනේ තිබුණු ප්‍රශ්න නිසා. පැරණි සටන් සගයෙක් වෙච්ච මහින්දගේ පසුකාලීන දේශපාලන භාවිතාව නිසා ඔබ ඔහුගෙන් ඈත් වෙනවා. නමුත් කවදාවත් එකඟතාවක් තිබ්බේ නැති ජවිපෙ නන්දනලාත් එක්ක එකම කඳවුරක් හදාගෙන තරග කරනවා. කොහොමද මෙහෙම ඔබේ වෙස් පෙරළෙන්නේ? නන්දන ගුණතිලක ජනාධිපතිවරණයට ඉල්ලන වෙලාවෙත් මම තමයි ඒ පැත්තේ ප්‍රධාන කථිකයා. ‍ ඉතිං කොහොමද එහෙම වෙන්නේ ඔබට බෙදුම්වාදියා කියලා වෙඩි තියලා මරන්න හැදුවේ ජවිපෙ නේද? ඔව්, ඒක තමයි දැන් ඒ ගොල්ලන්ට පිළිගන්න වෙලා තියෙනවා. ඒ ගොල්ලෝ දරපු මතයත් වැරදියි කියලා. දැන් ඒ ගොල්ලෝ කියන්නේ නෑනේ බලය බෙදීම වැරදියි කියලා. නමුත් එදා ඒ ගොල්ලෝ කිව්වේ මේක රට දෙමළුන්ට බාර දීමක්, රට කැඩීමක්, වඳුරු හමුදාවට භාර කිරීමක්ය කියලනේ. එදා ඒ ගොල්ලන්ගේ සටන් පාටය වුණේ බලය බෙදිම පිළිබඳ‘ පලා බබා අපට එපා!. පලා බබා අපට එපා!‘ දැන් හැබැයි පළාත් සභා වඩා හොඳට කරන්න ඕන කියලා පිළි අරන් තියෙනවා. කොළඹ නේද ඔබේ බලකොටුව, දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද, ඉගෙන ගත්තේ ආනන්දේ, කොළඹ නගර සභාව නියෝජනය කළා. ඉතිං මෙච්චර පහසුවෙන් දිනාගන්න තිබුණු ඡන්ද අතඇරලා ඇයි ඔබ කළුතරට යන්න හිතුවේ? එකක් කළුතර තමයි මගේ අම්මාගේ ගම. මම ඉපදුනෙත් කළුතර දිස්ත්‍රික්කේ. මම 6 ශ්‍රේණියට යනකල් ඉගෙන ගත්තෙත් කළුතර. මගේ ගෙදර තියෙන්නෙත් මතුගම. එතකොට මම කොළඹ තරග කළේ වැඩියෙන්ම දෙමළ ඡන්ද හා මුස්ලිම් ඡන්ද බලාගෙන. නමුත් මේ වෙලාවේ කොළඹ විශාල ආරවුලක් තියෙනවා දෙමළ මුස්ලිම් පක්ෂ අතර. අනිත් අතට මම කල්පනා කළා මම දෙමළ මුස්ලිම් ඡන්දවලින්ම එන්න ඕන නෑ කියලා. මොකද දෙහිවල තරග කරනකොට මට පෙනුනා ඒක අවශ්‍යම දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා මගේ මවුට තියෙන බලයත් බලන්න එක්ක මම ගමට ගිහිල්ලා ඡන්දේ ඉල්ලන්න තීරනේ කළා. ඇත්ත වශයෙන්ම ඒකෙත් දෙමළ හා මුස්ලිම් විශාල ඡන්දයක් තියෙනවා. දැන් අවුරුදු 78ක් විතර වෙනවනේ? ඔව්. මෙච්චර වයසට යනකල් හිටියේ ඇයි පාර්ලිමේන්තුවට එන්න? මීට කලින් අවනං ඇමැතිකම් කැබිනට් ඇමැතිකම් විතරක් නෙවෙයි අගමැති වෙන්නත් අවස්ථාව තිබුණා කියලා හිතෙන්නේ නැද්ද? නෑ නෑ මට එහෙම හිතෙන්නේ නෑ, මම සමසමාජ නායකයා වෙලා තමයි ඔය ගමන යන්න ඕන. සම සමාජ නායකයා හැටියට එන්න ඕන දුර එන්නේ නැතුව මම ඒ ගමන යන්න හිතුවේ නෑ. දැන් ඔබ හිතනවාද සම සමාජ නායකයා විදිහට ඔබ ආව දුර හා ඒ කටයුත්ත අවසන් කියලා? අවසන්. දැන් කව්ද සම සමාජ නායකයා? ඒත් සම සමාජ නායකයා මම තමයි. එහෙම වෙන්න බෑනේ මහත්තයෝ. එජාප ව්‍යවස්ථාව අනුව එහි සාමාජිකයකුට පක්ෂ දෙකක සාමාජිකත්වය දරන්න බෑ? දැන් ඔබව විනය පරීක්ෂණයක් තියලා එළියට දායි? පිස්සුද? පක්ෂ ව්‍යවස්ථාව එක දෙයක් තමයි ඒත් මගේ ඔළුවේ තියෙන එක වෙනස් කරන්න බෑනේ. ඔබ වලව්කාරයෙක් නේ? මම වලව්කාරයෙක් නෙවෙයි. වලව්කාරයෙක් නොවෙන්නේ කොහොමද? වලව්කාරයෙක් කියන්නේ මොකක් හන්ද ද? මගේ පරම්පරාව ඇවිල්ලා... ඔව් ඔව් රදලනේ? ඔව් කියන්න පුළුවන් රදල කියලා. කසාද බැඳලා ඉන්නෙත් අලි ඇත්තු ඉන්න වලව්වක කුමාරිහාමි කෙනෙක්නේ? වලව්කාරයන්ගේ සම්ප්‍රදායේ ඉපදිලා තමයි ඉන්නේ. හරි. ඉතිං දැන් මොකද්ද? නෑ මම කියන්නේ කැරකිලා කැරකිලා රදල වලව්කාරයෙක්ට අන්තිමට එන්න තියන කඳවුරට ඔබත් ආව නේ? පිස්සුද මම ඒ සම්ප්‍රදායේ නෑ. ඒ සම්ප්‍රදාය මගේ දෙමාපියන්ගෙන් හා මගේ විවාහයෙන් ආවා තමයි. නමුත් මගේ අදහස මගේ ප්‍රතිපත්තිය හා මම කරගෙන යන වැඩ කොටස සම සමාජ, මාක්ස්වාදය.. ඔබ ඔබේ ජීවිත කාලෙම කැප කළේ සම සමාජය වෙනුවෙන්. වෙඩි කෑවේ, කථිකාචාර්ය ධුරය වගේ විශිෂ්ට රැකියාවක් නැති කරගත්තේ, හත් අට පාරක් හිරේ විලංගුවේ වැටුණේ විශ්වාස කරපු ඒ දර්ශනය වෙනුවෙන්. ඔබට පෙර කොමියුනිස්ට් දහමේ පිහිටලා හිටිය කොල්වින් ආර්. ද සිල්වලා, ඇන්. එම්. පෙරේරලාට සිද්ධ වුණෙත් අන්තිමේ ධනපති පක්ෂවල සාමාජිකයෝ වෙලා මිය යන්න. දැන් ඔබත් කවදා හරි මැරෙන්නේ සමා සමාජ පක්ෂයේ බාහු සහෝදරයා විදිහට නෙවෙයි. අන්ත දක්ෂිණාංශික එජාපයේ සර් කෙනෙක්, අප්පෝ කෙනෙක් එහෙමත් නැතිනම් හාමු කෙනෙක් විදිහට. ඔබට දුක නැද්ද මේ ඉඳලා ඉඳලා කරගත් දේ ගැන? එහෙම දුකක් නෑ මට. මම මැරෙන්නේ සම සමාජ නායකයා හැටියට. කොල්වින් ආර්. ද සිල්වලා ඇන්.ඇම්. පෙරේරලා ඉතාම හොඳට මාක්ස්වාදී අදහස් ඉදිරිපත් කරමින් මේ රටේ භාෂා ප්‍රශ්නය එනකොට ඒගොල්ලෝ කිව්වා කවදාවත් සිංහල භාෂාව විතරක් රාජ්‍ය භාෂාව කරන්න එපා කියලා. ඒක කිව්වේ එක භාෂාවයි රටවල් දෙකයි. භාෂා දෙකයි එක රටයි කියලා. එහෙම කිව්ව අය අවසානෙදී මේ රට සිංහල කරලා බෞද්ධ කරලා විශාල ජාතිවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරපු පක්ෂත් එක්ක සම්බන්ධ වෙලා සමාජවාදයට යන්න කියලා ගිවිසුම් ගහලා ආණ්ඩුවට ගියා. එතැන තමයි එයාලගේ විනාශ මුඛය වුණේ. කොහොමද සමාජවාදයකට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැති රටක. මම එහෙම නෙවෙයි. මම සම්බන්ධ වුණේ මේ රටේ සියලු ජාතීන්ට, සියලු භාෂාවන්ට, සියලු දෙනාටම එක හා සලකනවා කියන යුනයිටඩ් නැෂනල් පාර්ටි එකත් එක්ක. දැන් බැරිවෙලාවත් ඔබ පාර්ලිමේන්තුවට තේරුණොත් මොකද්ද අදින්නේ. මොකද දැන් පවතින ජාතික ඇඳුම හොරුන්ගේ ඇඳුම කියලානේ ඔබ හඳුන්වන්නේ. එහෙම වුණොත් ඔබ පාර්ලිමේන්තු යන්න හිතං ඉන්නෙත් ඔය ඇඳන් ඉන්න බාච්චු ඇඳුමින්ද? කමක් නෑ මම මේකම අඳිනවා. ඕක ඇඳන් ගියාම පාර්ලිමෙන්තුවට වැද්දගනියි කියලා හිතනවාද? ඇයි මේකේ තියෙන වැරැද්ද මොකද්ද? සෙරෙප්පු දෙකක් දාන්න පුළුවන් විදිහට කලිසමක් තියෙනවා. උඩට සුදු ඇඳුමක් තියෙනවා. ඊට උඩින් කබායක් තියෙනවා. මේකනේ රාජසිංහ රජ්ජුරුවොත් ඇඳගෙන ඉන්නේ. සමන් සමරක්කොඩි
 

More News..