brand logo

දේශපාලනය කරන්න තරං හොඳ වාතාවරණයක් රටේ නෑ

12 August 2019

දැන් ඔබ නියෝජනය කරන්නේ කුමන දේශපාලන කණ්ඩායමද? මේ මොහොතේ කිසිම කණ්ඩායමක් නියෝජනය කරන්නේ නැහැ. ස්වාධීනව කටයුතු කරනවා. 2007 ඉඳල 2010 දක්වා කාලය තුළත් මම එහෙම තමයි හිටියේ. තමන්ගේ හෘදසාක්ෂියට ගැළපෙන්නේ නැති වැඩ තමන් නියෝජනය කරන පක්ෂය කරනවා නම් මන්ත්‍රීවරයකුට අයිතියක් තියෙනවා ස්වාධීනව වැඩ කරන්න. හොඳ දෙයට හොඳයි කියන්නත් නරක දෙයට නරකයි කියන්නේ අපට ශක්තියක් තියෙනවා. ඕක හරිම ජනප්‍රිය කතාවක්නෙ? වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේදී මහජන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සත පහක දායකත්වයක් නොදුන් අයත් ඔය ජනප්‍රිය කතාව කියනවා. හැබැයි මම එහෙම නොවෙයි කියන්නේ. අපි කරපු සේවය අපි පෙන්නලා තියෙනවා. මේ රටේ අගමැතිවරුන්ට, ජනපතිවරුන්ට කරන්න බැරි දේවල් මම තනියම කරල තියෙනවා. මේවා කියන කොට ආත්ම වර්ණනා කියලත් හිතන්න පුළුවන්. එදා මම තනියම නඩු කිව්වෙ නැත්නම් අද රජයට ලංගම කියලා ප්‍රවාහන සේවයක් නැහැ. මරණීය තර්ජන තියෙද්දිත් කෝප් කාරක සභාව හරහා වාර්තා හදල තනි සටනක් කරලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඇපලෝ රෝහල සහ වරායේ ඉඩම් ටික අත්කරගත්තේ නැත්නම් අද ඒවාත් නැහැ. පාර්ලිමේන්තුවට අලුත් ආදර්ශ මම ඇතිකළා. කෝප් කාරක සභාව කියන නමවත් 2007 දී මේ රටේ මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ හරහා රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා දූෂණ වළක්වන්න ක්‍රමවේදයක් හැදුවා. අවුරුදු 70ක පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුමත කරපු කෝප් කාරක සභා දෙකයි අදටත් තවම තියෙන්නේ. ඒ දෙක තමයි 2007 ජනවාරි 12 සහ අගෝස්තු 27 මම ඉදිරිපත් කරපු වාර්තා දෙක. අද කෝප් කමිටුවට ඒකමතිකව වාර්තාවක් හදාගන්නවත් බැහැ. ඔබ කතා කරන්නෙ කනගාටුවෙන්ද? නැහැ. සිදුවූ දේවල් කියන්නයි උත්සාහ කරන්නෙ. 2013 දී දින 6ක් පුරා අපි ලංකාවේ සියලු අධිකරණ ක්ෂේත්‍ර වසා තිබ්බා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. එදා එක්සත් ජාතික පක්ෂය ඔක්සිජන් නැතිව පණ ඇද ඇද හිටියේ. නමුත් ඒකට ගිහිල්ලා පණ ගහලා ගන්න කටයුතු කළා. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට පාරේ ඉන්න කම්කරුවෙක්වත් බැඳෙන්නේ නැති කාලයක්. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව අපි දැක්ක නිසා එය ශක්තිමත් කළා. ඒ වෙලාවේ හිටිය නායකයා ආරක්ෂා කළා. අවුරුදු 4ක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ආරක්ෂා කරන්න මම තනිවම සටන් කළා. ඒක අද මට හිතෙන්න පුළුවන් එදා කළ දේ වැරදියි කියලා හැබැයි එදා අවශ්‍යතාව අනුව එය නිවැරදියි කියල මම පිළිගන්නවා. දැන් ඔබට තියෙන්නේ අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ වගේ තත්ත්වයක් නේද? ඒ මට නෙවෙයි ජනතාවට. මට අල්ලගන්න දෙයකුත් නැහැ. අත්හරින්න දෙයකුත් නැහැ. මම අල්ලගන්න දෙයට වැඩිය අත්හැරීම හොඳට පුරුදු කරපු කෙනෙක්. දේශපාලනයේදී මට ලැබුණු කොතෙකුත් අවස්ථා මම ප්‍රතික්ෂේප කරලා තියෙනවාද? චන්ද්‍රිකා මැතිනිය 2000 වසරේදී මට අත්තනගල්ල ආසනය පවා පිරිනැමුවා. එතුමිය කැබිනට් ඇමැතිකමක් එක්ක දුන් මන්ත්‍රීකම මම ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා දුන් ඇමැතිකම් ගත්තෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙනම හම්බන්තොට විකිණීමට විරුද්ධව සටන් කළා. වචන දෙකක් වෙනස් කරලා මගේ ඇමැතිකම තියාගන්න කියලා නායකයෝ යෝජනා කළත් මම ඒක කළේ නැහැ. මම හෘද සාක්ෂියට එකඟව ගන්න තීරණ වෙනස් කරන්න සක්‍ර දෙවියන්ටවත් බැහැ. ඔක්තෝබර් 26 වෙනසත් එක්ක ගත් තීරණය ගැන දැන් කනගාටු වෙනවද? මට කනගාටු වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒක මම දැනගෙන ගත් තීන්දුවකුත් නෙවෙයි. ඒක ජනාධිපතිවරයා ගත් තනි තීන්දුවක්. හැබැයි ඊට පෙර තිබුණු කැබිනට් රැස්වීමේදී මම තර්ජනය කරලා ආවේ මේ ආණ්ඩුව නම් විනාශ වෙන්නට ඕන කියලා. ඒ නිසා සමහරු හිතුවා මම ඒ තීරණයට ජනාධිපතිවරණයට උපදෙස් දෙන්න ඇති කියලා. හැබැයි මම උපදෙස් දුන්නා නම් හොලවන්න බැරිවෙන්න උපදෙස් දෙන්නේ. මම 2003දී එහෙම චන්ද්‍රිකා මැතිනියට උපදෙස් දුන්නා. රනිල් මහත්තයාගේ ආණ්ඩුව ගෙදර යවන්න ගෙදර යැව්වා. කෝ ආවද? මේ සැරෙත් ජනාධිපතිතුමා නිකන් හරි අපිට කතා කළා නම් අපි ළඟ ඒවාට බෙහෙත් තිබුණා. ඒ නිසා මට දුක්වෙන්න දෙයක් නැහැ. ඔබ ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා කියලා දැනුත් කතා බහක් තියෙනවා? අනේ නැහැ. මම හිතන්නේ නම් ජනාධිපතිතුමාට ට්‍රම්ප්ටත් වැඩියෙන් දේශපාලනික අත්දැකීම් හා ඥානයක් තියෙනවා කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් තේරෙන්නේ නැහැ ජනාධිපතිතුමාට තරම්. මගෙන් නම් අවුරුදු තුන හතරකින් මුකුත් අහල නැහැ. උපදේශකවරුන්ගෙන් මුකුත් අහන්නෙ නැහැ කියල තමයි ඒ අයත් කියන්නේ. ඔබ මෛත්‍රී එක්ක වගේම මහින්දත් එක්කත් ඩීල් දානව කියල සමහරු කියනවා? මොකක්ද මම දාපු ඩීල් එක. ඔය මිනිස්සු දෙන්නාගෙන්ම මට සහ පහක ප්‍රයෝජනයක් වෙලා තියෙනවද අද වනතෙක්. ඔය මිනිස්සු දෙන්නට මම ප්ලේන් ටී එකකට තරම්වත් ණයක් නැහැ. මම මහින්දට උදව් කළා. 89 භීෂණ කාලේ එයාගේ නාමයෝජනා දෙන්න මිනිහෙක් හම්බන්තොටට යන්නේ නැති වෙලාවක මම ගිහිල්ලා නාම යෝජනා භාර දුන්නා. විපක්ෂ නායකකම මහින්දට දෙන්නේ නැති වෙන කොට චන්ද්‍රිකා එක්ක සටන් කළා. අගමැතිකම දෙන්නෙ නැතිකොට චන්ද්‍රිකා එක්ක රණ්ඩු කළා. ජනාධිපති අපේක්ෂකකම මහින්දට දෙන්නේ නැති වෙනකොට මහා ලොකු ජ්‍යෙෂ්ඨයෝ 20-30ක් චන්ද්‍රිකාට බයේ කට ඇරියේ නැහැ බණියි කියලා. මම එතැනදීත් කතා කළා. මහින්දගේ නීතිඥවරයා විදිහටත් කටයුතු කළා. ඉදිරි ජනාධිපතිවරණයේදි ඔබේ සහාය කාටද? රටට ආදරය කරන ජනතාවට ආදරය කරන දූෂණයට වංචාවට විරුද්ධ කෙනෙක් කවුද ඉදිරිපත් වෙන්නේ මට පක්ෂය අදාළ නැහැ. හිතට එකඟව සහාය දෙන්න පුළුවන් චරිතයක් ආවොත් මම සහයෝගය දෙනවා. ඔබේ යටි හිතේ එවැනි චරිතයක් ගැන ඉඟියක් තියෙනවද? මම උපකල්පන මත අදහස් ප්‍රකාශ කරන්න කැමැති නැහැ. අපේක්ෂකයෝ එනකන් විශ්වාසයකුත් නැහැ. එක පැත්තකින්වත් කවුරු එයිද කියලා. අපිට හැමදාම මහජන සේවය කරන්න බැහැ. මන්ත්‍රීකමේ හැමදාම එල්ලිලා ඉන්න වුවමනාවකුත් මට නැහැ. ජනතා අවශ්‍යතාව මත පමණයි මම දැන් ඉන්නේ. අනික දැන් රටේ තියෙන මතය අනුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑම තක්කඩියෙකුත් මාත් එක ගානට සලකලා තමයි මාධ්‍ය වුණත් කතා කරන්නේ. ජනතාවත් එහෙම තමයි හිතන්නේ. 225ටම බෝම්බ ගහ ලා මරන්න කියලා කියන්නේ. එහෙම සාපලත් තැනක මොකටද ඉන්නේ කියලා මගේ හෘද සාක්ෂියත් එක්ක මට සටනක් තිබෙනවා. ඔබ ඇවන්ගාඩ් සිද්ධියට පක්ෂව කතා කළා. අද ඔවුන්ට එරෙහිව නඩු පවරලා. ඇයි වරදකරුවන් ආරක්ෂා කළේ? ඇවන්ගාඩ් එක වෙනුවෙන් මම කවදාවත් කතා කරලා නැහැ. මාධ්‍යයත් මේක අවුල් කරගෙන තියෙන්නේ. එදා තිබුණේ ගාලු වරායේ ආයුධ නෞකාවක් සම්බන්ධව තිබුණු කාරණයකට ගෝඨාභය අත්අඩංගුවට ගන්න ඕනද කියන කාරණය විතරයි. ඇවන්ගාඩ් ප්‍රශ්නය සේනාධිපති බේරගන්න ඕනේ. ඒක අපේ ප්‍රශ්නයක් නෙවේ. නමුත් මේ ගිවිසුම අත්සන් කිරීමේ වරදට ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුද කියන කාරණය විතරයි අපි නිරාකරණය කළේ. මම බොහොම පැහැදිලිව එතැනදි කිව්වා ඔහු අත්අඩංගුවට ගන්න බැහැ කියලා. හේතුව ඔහුව අත්අඩංගුවට ගන්නවා නම් එදා ආරක්ෂක කවුන්සිලයේ සිටි සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුයි. ගිවිසුමට අනුමැතිය දීලා තියෙන්නේ ආරක්ෂක මණ්ඩලය. එහෙමනම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පවා අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද ඒකෙනුත් මෙයට අනුමැතිය දීලා තියෙන නිසා. අනික දැන් තියෙන නඩුව ඒකට අදාළ නැහැ. හැබැයි මම ගෝඨාභය වෙනුවෙන් කතා කළා. ගෝඨාභය කියන්නේ රජයේ නිලධාරියෙක්. අමාත්‍යාංශ ලේකම්වරයෙක්. වගකිව යුතු සේවයක් කළ කෙනෙක්. අපිට බලාපොරොත්තු වෙන්න බැරි තරමේ සේවයක් වුණා යුද්ධය සම්බන්ධයෙන්. ආරක්ෂක අමාත්‍යාංශයට බලයක් නැත්නම් ආණ්ඩුවේ ගිවිසුම් අත්සන් කරන්න කාටද බලය තියෙන්නේ. ඒ ගිවිසුම නීත්‍යනුකූල නැත්නම් ඇයි 2015 නොවැම්බර් 05 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත අවුරුදු පහකට ඒක දුන්නේ. ගිවිසුම නීතිවිරෝධී නම් ඇයි දැන් තලතා ඇමැතිතුමිය ගෝඨාභය කුදලාගෙන ගෙනත් එල්ලන්නේ නැත්තේ. මම ගියාට පස්සේ එහෙම කවුරුවත් ගෙනාවද? ත්‍රිපුද්ගල මහාධිකරණය කියලා විහිළුවක් කරනවා. ඔය විහිළුව මේ ආණ්ඩුව කරන්න ඕන නැහැ. ඒක අවුරුදු 100කට පෙර ඉඳලා පනතේ තියෙනවා. 1978 අංක 2 දරන නැවත පණගැන්වුණු අපරාධ විධි විධාන සංග්‍රහයක් තියෙනවා. උඩතලවින්න නඩුව, යාපනයේ විද්‍යා දැරියගේ නඩුව, ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඇහුවේ. ඒක නීති පොතේ තියෙනවා. අලුතින් පනත් ගෙනාවා කියලා නීතියේ කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. අගවිනිසුරුගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලූ කිසිම අවස්ථාවක නීතිපතිවරයා එය ප්‍රතික්ෂේප කර නැහැ. ඔබ එකපාරටම ගෝඨාභය ගැන හොඳ කියන්න පටන් අරන්.? මම කවදාවත් විශේෂ වර්ණනාවක් කරලා නැහැ කළ හොඳ දේවල් ගැන කතා කළා. ඇයි ගෝඨාභය ගැන වැඩියෙන් කතා කරන්නේ? වැඩියෙන් ගෝඨාභය ගැන අහපු නිසා. ගෝඨාභය ගැන ඔබ ඇහුවේ නැත්නම් මම ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඔබ මාධ්‍යවේදිනියක් විදිහට ඒ ගැන අහන එක සාධාරණයි. කොහොම වුණත් අවසානයේදී ඔබ තමයි ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළක්වලා තියෙන්නෙ? ඒක වුණේ මෙහෙමයි. මේක කවුරුත් නොදන්නවා වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව ඇතුළේ තිබුණා දූෂණ විරෝධී ඔස්තාර්ලගේ කමිටුවක්. ඒකේ නායකත්වය දැරුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මමත් ඒකේ සාමාජිකයෙක්. ඒ කියන්නේ මමත් එක ඔස්තාර් කෙනෙක්. ඒකේ හිටියා මංගල සමරවීර, රවී කරුණානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික හා අනුර කුමාර. එදා ඔය තීරණය ගන්න රැස්වූ කමිටුවට සහභාගි වුණා චන්ද්‍රිකා මැතිනිය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු තවත් එන්.ජී.ඕ. නඩයක්. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාකච්ඡා කරලා සියලු දෙනා ඒකමතිකව තීරණය කළා මේක රත්තරන් අවස්ථාවක් ගෝඨාභය අත්අඩංගුවට ගන්න. ඒ නිසා නඩුව මොකක් වුණත් ඔහුව අත්අඩංගුවට ගත යුතුමයි කියලා. එතැනදි මම පෙන්වා දුන්නා ගිනි අවි ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභයව අත්අඩංගුවට ගන්න බැහැ කියලා. ඒ නිසා තමයි මට ඔය චෝදනාව එල්ල වුණේ. අවි ආයුධ රජයේ ඒවා නම්, පුපුරන ද්‍රව්‍ය රජයේ ඒවා නම්, ගිවිසුමට ආරක්ෂක මණ්ඩලය අනුමැතිය දීලා නම්, ඒවයේ ලාභයෙන් 30%ක් ආණ්ඩුවට දුන්නා නම් ගිවිසුම නීති විරෝධී වෙන්නේ කොහොමද? ආණ්ඩුව ලාභ ලබනවා. හැබැයි ගිවිසුම නීති විරෝධීයි කියනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අවුල ගැන ඔබට හිතෙන්නේ කුමක්ද? ගිය පාරත් ඔය අවුල නිරාකරණය කරන්න මම තමයි වැඩිම දායකත්වයක් දුන්නේ. දැන් කරන සෙල්ලම් ටික ඔක්කොම එදත් කළා. නායකත්ව මණ්ඩල දැම්මා. ව්‍යවස්ථා හැදුවා. මමම යෝජනා කරලා අවුරුදු 6කට රනිල් නායකයා කළා. ඊට පස්සේ මෛත්‍රීපාල මහත්තයා මේ පැත්තට ගේනකොට ඇතිවුණ ආරවුල් හුඟාක් නිරාකරණය කළේ මම. ඒ නිසා පක්ෂ අභ්‍යන්තරය ගැන මට තියෙන අත්දැකීම අවුරුදු 30-40ක් පක්ෂය හිටපු අයටවත් ඇති කියලා මං හිතන්නේ නැහැ. පක්ෂයේ අලුත් ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න එදා සාමාජිකයෙක් හිටියේ නැහැ. ඒ වගකීම භාර අරගෙන මම ඒකත් කළා. මම අද කිව්වා කියලා ලියන්න එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විදිහට සක්‍ර දෙවියෝ ආවත් 30%ක් ඡන්ද ගන්න බැහැ. මුළු රටේම ඇවිදින අපිට මහජන මතය තේරෙනවා. නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමක් නැද්ද? එක්සත් ජාතික පක්ෂය කියලා ක්‍රියාකාරී දේශපාලන පක්ෂයක් ඇත්තටම දැන් මහපොළොවේ නැහැ. 1977න් අවුරුදු ගණනකට පස්සේ එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් විදිහට ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවා ගත්තා. ජේ.ආර්.ගෙන් පස්සේ බලය දියවෙලා ගිහිල්ලා 93 දී නැත්තටම නැතිවෙලා ගිහිල්ලා නැවත ඒ වගේ බලයක් ගොඩනගා ගත්තා. ජනාධිපති ආවෙත් යූඑන්පී අපේක්ෂකයා විදියට. හැබැයි ඒ වගේ බලයක් තියෙද්දි තිබුණු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගත් ඡන්ද ප්‍රතිශතය 30%යි. පසුගිය කාලයේ සිදුවුණු පිරිහීමත් එක්ක ඔබ හිතනවද එක දශමයක් වත් ඡන්ද පදනම වැඩි වෙලා කියලා. මේ මැතිවරණයේ තවත් තීරණාත්මක සාධකයක් වෙන්නේ එජාපයට තිබුණු නියත ඡන්ද පදනමත් 8%කට වඩා තිබුණු කතෝලික ක්‍රිස්තියානි ඡන්ද පදනමත් ගැලවිලා යාම. ඔබ දේශපාලනයෙන් සමු ගන්නවද? මගේ පළමු කැමැත්ත තමයි සමු ගැනීම. මම විශ්‍රාම වයසට කිට්ටු වෙලා ඉන්නේ. ඕනෑම වගකීමක් දැරීමට පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පස්සේ නිදහසේ ඔළුව තියාගන්න එක මගේ ප්‍රාර්ථනයක්. නීතිඥ වෘත්තියේ යෙදෙනවා එය මගේ ජීවිතය හා බද්ධ වූ දෙයක් නිසා. ඒ වගේම ජාතියේ සංවර්ධනයට තරුණ නීතිඥවරුන්ට මග පෙන්වීමට විශාල දායකත්වයක් එයින් ලබා දෙන්න පුළුවන්. ඒ සේවය මම පුළුවන් තරම් කාලයක් ලබා දෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු රට ශීඝ්‍රයෙන් ගොඩනැගෙනවා නේද? කොහොමද එහෙම වෙන්නේ. අපේ දවසක වියදම බිලියන 7යි. දවසේ ආදායම බිලියන 5යි. හැම දවසකටම බිලියන 2ක් ණය වෙන ජාතියක් අපි. ඒ නිසා අපි කොයි පැත්තකින්වත් ගොඩ ඇවිල්ලා නැහැ. 2016 නොවැම්බර් 18 මම කිව්වා අයි.එස්. කාරයෝ 32ක් පුහුණුව ලබල ඒ අය මේ රට පුපුරවන්න බලාගෙන ඉන්නවා කියලා. එදා ඉඳලා පක්ෂයේ මට ගැහුවා. පක්ෂය ආයුෂ තියෙන්නේ මුස්ලිම් කොංග්‍රසයේ සහාය තියෙන තුරු. ඔය බෝම්බය පිපිරුවේ නැත්නම් මම තවමත් ත්‍රස්තවාදියෙක් සහ ජාතිවාදියෙක්. ඔබේ පවුලේ කිසිවෙක් දේශපාලනයට එයිද? කවුරුත් නැහැ දේශපාලනය කරන්න තරම් හොඳ වාතාවරණයක් අපේ රටේ නැහැ. ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් තියෙන්නේ. මේවාට කිසිම කෙනෙක් සම්බන්ධ කරන්න මගේ කිසිම කැමැත්තක් නැහැ. ඉදිරි දේශපාලන වාතාවරණය ඔබ දකින්නේ කොහොමද? මේ රටේ මෙපමණ කලක් තිබුණේ වමේ කඳවුරයි දකුණේ කඳවුරයිනේ. හැබැයි ඒ වුණාට දැන් මේ නව ලිබරල් ක්‍රමය යටතේ අවුරුදු 40ක් පුරා වම දකුණ මිනිසුන් දන්නෙත් නැහැ. අඩුම ගණනේ ජවිපෙ අයවත් දන්නේ නැහැ වම කියන්නෙ මොකක්ද කියලා. ඇත්තම කතාව නම් මේ මැතිවරණයේදී කඳවුරු 2ක් තියෙනවා. මම මේ කියන දේ දැන් කවුරුත් පිළිගන්න එකක් නැහැ. ඒත් අවසානයේදී තේරුම් ගනීවි. ඒ කඳවුරු දෙකම අපේ නෙවෙයි. ඔයගොල්ලන්ගෙත් නෙවෙයි. ඒ කඳවුරු දෙක චීනයයි, ඇමෙරිකාවයි, මැතිවරණයට සල්ලි එන්නේ ඒ රටවලින්. ඒක හොඳට මතක තියාගන්න. දීප්ති ප්‍රමිතා අධිකාරී
 

More News..